දූවිලි

මට හරි යන කර පටියක් ගන්න බැරි වුන නිසාම සුපිරි වෙළද සැලෙන් එලියට බැහැලා වට පිටේ කඩ වල කර පටි බල බලා ආවා. පාර අයිනෙ පඩිපෙලක් යට පුංචි කඩයක මට ඕන දේ තියනවා මන් යන්තන් දැක්ක නිසා ගොඩ වැදුනා. ඕන දේවල් අරගෙන එලියට බහිනකොට ඇගේ වැදුනෙ පුංචි කෙලි පැටියෙක්. මගෙ හිත අතීතයට ගියා. මගේ අතීතය ඇගේ වර්තමානය වෙලා. සෙල්ලම් බත් උයන්න බෝනික්කො නලවන්න ගෙදරට වෙලා ඉන්නෙ නැතිව ඇය පාරෙ වාහන දිහා බලන් ඉන්නවා. වාහන වල යන පොඩි උන් දිහ බලන් ඉන්නවා. ඇගේ අනාගතය ගොඩ දාන්න අම්මයි තාත්තයි පාරෙ මිනිස්සුන්ට බාල්දු වෙනවා. දුවේ! උඹ කවදා හරි ලොකු වේවි. උඹේ වයසෙ වුන් පාසල ඇරිලා ගෙදර යනකොට උඹට කඩයට එන්න වේවි. අම්මා තාත්තා නැති වෙලාවට වෙළදම් කරන්න වේවි. අනිත් වුන් සෙල්ලම් කරනකොට උඹට වාහන ගනින සෙල්ලම විතරක් කර කර ඉන්න වේවි. වේලක් දෙකක් නොකා ඉන්න වේවි. දස බිම්බර මාර සෙනග උඹව කන්න හදාවි. පාරෙ දූවිල්ලෙක් උඹ වැහිලාම යාවි. ඒ දූවිල්ල පිහගෙන ඉගෙනගෙන ලෝකය දිණුවොත්. උඹේ ළමයින්ට ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා සෙල්ලම් කරන්න පුලුවන් වේවි. අද උඹ බලන් ඉන්න වාහනේක යන්න පුලුවන් වේවි. ඒ වාහනෙන් සුපිරි වෙළද සැල් වලට යන්න පුලුවන් වේවි. ඒකට ගියාම තමන්ගෙ කඩේ ආයෙත් මතක් වුනොත් දුවගෙන වරෙන් ඒ ලෑලි කඩයකට.

ප.ලි – ආදරය කරපන් උඹ හුස්ම ගත් දූවිල්ලට.

ශාන්තිකර්ම වලින් ඉතිහාසය

ලංකාවේ ශාන්තිකර්ම වල උපත් කතා බොහොමයක් තොරතුරු ඓතිහාසික සංසිද්ධීන්ට අදාළ භාරතයට සම්බන්ධකම් ඇති ඒවාය.

පත්තිනි දෙවඟනගේ උපත මධුරාපුරය හා සම්බන්ධ වී ඇත. සූනියම් යාගයේ උත්පත්තියට මුල් වූ මහ සම්මත රජු භාරතීය සම්භවයක් ඇති රජෙකි.

දෙවොල් මඩුවේ පුරාවෘත්තයට අනුව රුවන්වැල්ලේ ප්‍රථමයෙන් පවත්වන ලද මඩු යාගය හිස රුජාවක් සංසිඳවනු සදහා කේරළයේ රජ කළ සේරිමාන් රජුට කරන ලද්දකි. මේ යාගයේම පුද ලබන දෙවොල් දෙවි දක්ෂිණ භාරතයේ ස්වර්ණ කුදුප්පර නුවර සිට නැව් නැග පැමිණ, සිය තෙද බල පා සීනි ගම් තොටින් ගොඩ බැස්සේය. ස්වර්ණ කුදුප්පර නුවර පිහිටියේ කාලිංගයේ බවත්, දෙවොල් සත්කට්ටුව යනු බොළඳ සිටාණන් හට දාව සිරීමා කුමරියගේ කුසන් උපන් දරුවන් සත් දෙනා බවත් පැවසේ.

සන්නි යකුට උත්පත්තිය ගෙන දුන් ලිච්ඡවී රාජ පරම්පරාව බෞද්ධ සාහිත්‍යයට සම්බන්ධකම් ඇති භාරතීය රජ පෙළපතකි. සංඛපාල රජු යනු ලිච්ඡවී පරම්පරාවේ රජකි. රිද්දි යාගයේ පුද ලබන රිද්දි බිසෝවරු විල්ලෝඩි දේශයේ ඉපිද ලංකාවේ වලවේ ගංතෙරට ආසන්න උසන්ගොඩින් ගොඩබට පිරිසකි. මහාසෝන් සමයමට පසුබිම් වූ පුරාවෘතිය භාරතීය හින්දු සාහිත්‍යය සමග මිශ්‍ර වී ඇත. බස්ම අසුරයා දවා පුළුස්සන ලද සොහොනෙන් මහාසෝනා උපන් බවට විශ්වාසයක් ඇත.

කොහොඹා කංකාරියට සම්බන්ධ මලය රජුගේ උත්පත්තිය රාමායණයට සම්බන්ධව ගෙතී ඇත. මලය රජු තුන්කට්ටුව ලෙස හදුන්වන්නේ සීතාගේ කුස උපන් සඳලිඳුත් තවුසා විසින් මලකින් හා ඊතණ ගසකින් මවන ලදැයි පැවසෙන මල රජ හා කිත්සිරුත් යන තිදෙනාය. කළුයාකාගේ මව හිමාලයේ විල් තෙරකට අධිපති කුවේණි නැමැත්තියක් බව පැවසේ. ඊරා යකා උපන්නේ ශයිරාෂ්ඨ දේශයේය.

වඩිගපුර නුවර වඩිග රජුන්ටත් තුසරි බිසවුටත් උපන් ඔඩ්ඩි කුමාර හෙවත් සූනියම් යකාය. කාසි රටෙහි අඬිගුරා දාව ආඬි මවගේ කුසයෙන් අභිමාන යකා උපනී. තොට යකාගේ උපත්තිය මහා සම්මත රාජ පරම්පරාවට සම්බන්ධය. කළු කුමාරයාගේ එක් උත්පත්තියක් නීල මහා යෝධයා සමග ගජබා රජු සොලී රටේ ආක්‍රමණය සදහා පිටත්ව ගිය බවත් සොලී රටේදී ස්ත්‍රී පුරයට ගිය නීල එහිදී මරුමුවට පත්ව කළුකුමාර නමින් උපන් බව කියැවේ.

මේ අනුව පැහැදිලිව සිංහල යාගකරනයට සම්බන්ධ පුරාවෘත්ත යක්ෂ දේව උපත් බොහෝමයකට භාරතීය සම්භවයක් ඇති බවකි. ඈත අතීතයේ පටන් සමීප සම්බන්ධතා පැවුත්වූ රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව හා භාරතය අතර ඇතිවූ මෙවන් සබදතා ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. මහා සම්ප්‍රදායක් වූ භාරතීය සංස්කෘතියේ බලපෑම් චූල සම්ප්‍රදයක් ලෙස සැලැකිය හැකි ශ්‍රී ලංකාව කෙරෙහිද ඇති වීම වැළැක්විය නොහැකි කරුණකි.

ඇබෑසිය – චූල සම්ප්‍රදායේ ඇති නැටුම් හා ජන ගායනා භාරතයේ මහා සම්ප්‍රදායේ නැටුම් හා ජන ගායනා සමග විමසන්න.

ප.ලි – මෙය ජයසේන කෝට්ටගොඩ මහතාගේ පහතරට ශාන්තිකර්ම සාහිත්‍ය පොතේ පිටු 254 – 256 තිබූ විස්තරයක අනුවාදයකි. මෙහි තද අකුරින් දක්වන නම් ඇත්තන් ලංකාවේ සිටි බව හා ස්ථාන ලංකාවේ බවට ඔප්පු කිරීමට, අදාළ ශාන්තිකර්මයේම උපත් කවි හා ඔබේ සාමන්‍ය දැනුම ප්‍රමාණවත් වනු ඇත.

ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න…

සංචාරකයෙකි.
ගවේෂකයෙකි.
රට පුරා කඳු තරණය කරන්නෙකි.
සුන්දර කඳු මුදුනක, දිය ඇල්ලක මුදුනකට ගිය හැන්දෑවක
මුලු පරිසරයම මී දුමෙන් වැසී යාමට මොහොතකට පෙර
ඔහුට මතක් වන්නේ ඇයයි.
මිතුරන් සමග නොව ඇය සමග තනීවීමට ඇත්නම්…
දුර්ග ගෙවා ආ මග අමතක කර
නෙළු මල් පිපුණු පිනි වැටුණ තණ පත් මත ඇවිදින්න
මගේ සිහින සානුවේ
වලාකුළු වලින් වැහුණු තැනක
කූඩාරමක් ගහගෙන
සීතලට තුරුල් වෙලා ඉන්න
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න…

මීදුම් දුමාරයේ
සීතල හැන්දෑ යාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැළුණු ඈත නිම්නයේ

නිශා නින්ද ඇහැරවා
මල් බිඟුන්ටත් හොරා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැළුණු ඈත නිම්නයේ

වලාවකින් හැඩ දමා
කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැළුණු ඈත නිම්නයේ

බාගන්න

ප.ලි – තේරුමක් නැහැයි කියූ ගී පදවලට මා දුන් තේරුමයි. සැබෑ තේරුම මමද නොදනිමි. පද මෙන්ම සින්දුවේ සංගීතයත් මතක් කර දෙන්නේ ඒ සංචාරකයායි.

මා එකෙක් පමණි

මා උපන්නේ තනියමය.
හෙට මිය යන්නේද තනියමය.
සුදු පාට මල් ගහ පුරා පිපී සිනාසුනත්,
පැණි බොන්න අරුන් ආවත් ,
මුන් ගියේ නහය පුලුටු කරගෙනය.
ඉදුණු ගෙඩි ඇපල් දොඩම් තරම් රස නැත.
ඒ නිසා කවුරුත් දැන් කන්නේ නැත.
පැහිච්චා ලුණු සමග, කියනකොට කටට කෙල ඉනුවත්
එය දැන් බඩදරුවන්ට පමණි.
තම්බා වෙරළු අච්චරු හදන්න මුන්ට වෙලාවක් නැත.
මුන්ට මගෙන් වැඩක් නැත.
ඕවයින් මක් කරන්නද, කවදා හරි දරට තමා
එකෙක් කියනවා ඇසුනි.
නමුත් මට දැන් ආඩම්බර විය හැක.
හදා වඩා ගන්න මවෙක් පියෙක් නොසිටි මා
මුන්ගෙන් වතුර බිඳක්වත් නොමැතිව තනිවම වැඩුනෙමි.
දූවිලි කකා මුන්ට හෙවන දුන් මම දැන්
විදුලි රැහැනටත් වඩා උසය.
එයම හේතුව කොටගෙන හෙට මාව කපා කොටා දමනු ඇත.
මමය මාගේය කිසිත් නැතිව මා නිවන් දකිනු ඇත.
මුන් තවමත් සසරේ දුක් විදී.

ප.ලි – මට දුක මන් ගැන නොවේ. මුන් ගැනද නොවේ. මන් තරම්වත් වැඩක් නැති අනෙක් ගස් ගැනය.

ඒ කාලෙ සිද්ධ වෙච්ච කතාවක් මේ

පොඩි කතාවක් මතක් වුණා. ඔන්න යටගිය දවස බරණැස් නුවර තිබ්බ රටේ එක රජ කෙනෙක් රජකම් කරගෙන යනවා. (දැන්අහන්න එපා බ්‍රහ්මදත්තද කියලා. එයා නෙමේ.) ඉතින් මේ රටේ හැමෝම කළේ ගොවිතැන. එදා වේල කාලා ඉන්න ගොවියන්ට සල්ලි ඕන වුණේ ඇදුමක් ගන්න, ආයුධයක් හදාගන්න, තොරොම්බල් කෑල්ලක් ගන්න වගේ දේවල් වලට විතරයි. උඩට අඳින එක රජතුමා තහනම් කරලා තිබ්බ නිසා ඇදුම් වලටත් වැඩිය වියදමක් නෑ. රජතුමාගේ නීති තමා නීති. ඒවා කොහෙවත් පොතක ලියලා නෑ. එතුමාට හිතුණ විදිහට තමා තීන්දු දෙන්නෙ. සමහරකට මේකෙන් අසාධාරණයක් නොවුනාම නෙමේ. රටේ කසාද බඳින්න පුළුවන් රජතුමාට විතරයි. ඒක නිසා රජතුමාට දෙතුන් දෙනෙක්ම හිටියා. රජතුමාට රටේ දෙතුන් පලක මාළිගා තිබ්බා. වෙන මිනිස්සුන්ට මාළිගා වගේ ලොකු ගෙවල් හදන්න බෑ. කටුමැටි ගෙවල් තමා ඒගොල්ලො හැදුවෙ. අඩුගානෙ සුදු හුණුගාන්නවත් දුන්නෙ නෑලු. රජාට යන්න දෝලාව, අස්සයො, අලි වගේ වාහාන තිබ්බා. මිනිස්සු ගියෙ පයින්ම තමා. මොනා වුණත් ඉතින් රජානෙ කියලා මිනිස්සු ඕවා වැඩිය හිතන්න ගියෙ නෑ. කාලා බීලා හිටියා.

ඔන්න දැන් තමා කතාවෙ හොදම කොටහ. මේ රටට හුගාක් දුරින් තියන රටක නැවක් කුණාටුවකට අහුවෙලා හෙම්බත් වෙලා මේ රටට පා වෙලා ආවා. ඒ නැවියො දැක්ක රට්ටු ඒයාලාට හොදට සැලකුවා. ටිකක් විපරම් කරලා බලපු නැවියන්ට තේරුණාමේ රටේ ඉන්නෙ දුෂ්ට රජ කෙනෙක් කියලා. එක නැවියෙක් ගමරාලට කරුණු පැහැදිලා කළා. මෙහෙ හරියට නීතියක් නෑ. එයාට විතරයි මාළිගා. එයාට හොදයි කියලා හිතෙන නීති. එයා වගේ ලස්සනට අදින්න ඔහේලා කැමති නැද්ද? උඹලා හැමදාම ගොවිතැන් කරලා හිටියොත් ළමයින්ටත් ඔහොම තමා ඉන්න වෙන්නෙ. එහෙම නෙමේ උඹලාත් දියුණු වෙන්න බලපන්. එතකොට අනාගතේ උඹලාටත් දෝලාවක යන්න පුළුවන් වේවි කියලා කිව්වා. ගමරාලටත් තේරුණා මේ රජා ඉන්නකන් මුකුත් කරන්න වෙන්නෙ නෑ කියලා. ගමරාල මේක ගම මහගේට කිව්වා. ගම මහගේ කෝරළේගෙ නෝනාට කිව්වා. ඔහොම ඔහොම මුලු රටම මේ දුෂ්ට රජාගෙ දුෂ්ට කම් දැනගත්තා. වෙන මොනා වෙන්නද? මිනිස්සු කැරැල්ලක් ගහලා රජාව අල්ලලා මැරුවා.

එදයින් පස්සෙ ඔක්කොම වෙනස් වුණා. රජා කියන නමම අයින් කරලා ජනාධිපති කියලා ඔක්කොම කැමති එක්කෙනෙක් පත්කළා. දැන් නීති තියෙන්නෙ පොතේ තියන ඒවා විතරයි. ඕන කෙනෙක්ට නීතියෙන් එක්කෙනෙක් කසාද බදින්න පුළුවන්. ඕනකෙනෙක්ට තම හැකි පමණින් ගෙයක් හදාගන්න පුළුවන්. තමන්ට කැමති විදිහට අදින්න පුළුවන්. වාහනයක් ගන්න පුලුවන්.

දැන් ඉතින් ගෙයක් හදන්න ගොවිතැන් කරලා මදි. සල්ලි හොයාගන්න මිනිස්සු වෙන රස්සා කරන්න පටන් ගත්තා. එකෙක් ලොකු ගෙයක් හැදුවාම අනිකා ඊට වඩා ලොකුවාට හැදුවා. එක ගේක මගුලක් කන්න ගිය ගානට වඩා අනිත් ගෙදර මගුල් කෑවා. පුලු පුළුවන් විදිහට ලොකු ලොකු වාහාන ගත්තා. සල්ලි මදිවෙනකොට සල්ලි තියෙන කට්ටියගෙන් පොලියට ගත්තා. ඒ සල්ලිගෙවන්න ආයෙ රස්සා කළා. පස්සෙ කාලෙක මිනිස්සුන්ට තේරුණා රස්සාවෙන් එන පඩියට කවදාවත් ජීවත් වෙන්න බෑ කියලා. මිනිස්සු උත්ඝෝෂණ කරන්න ගත්තා ජනාධිපති ඉස්සරහ. අනේ ඔය ඇති කතාව. ඉතින් ඒ මිනිස්සු හුගාක් කල් සතුටින් ජීවත් වුණා.

ප.ලි – මෙච්චර කියලත් එපා වුනේ නැත්නම්, වෙන වැඩක් නැත්නම් උක්ත රජු හා වර්තමාන ජනාධිපති විමසන්න.

අත්තා

අපේ ආතාට දැන් වයස 80ක් විතර ඇති. 100ක් වුණා නම් මට කටක් ඇර සීයා කිය හැක. ආතාගේ තාත්තා අපිට මුත්තාය. මට අවුරුදු 15ක් විතර වෙනකොටත් මුත්තා යහතින් සිටියේය. මුත්තා එලොව යන අවුරුද්ද වෙනකන් අවසන් කාලය ගෙව්වේ හරක්බලාගනිමින්ය.

තාත්තාගෙ දේ පුතා නොකළොත් නොට්ටිගෙ පුතාය. අපේ පුංචිගේ පුතාට අපලයක්ද මොකකද එහෙකට කිරි හරකෙක් නිදහස් කරන්නබඩදරු එළදෙනක් ගෙනාවාය. එළදෙනගේ කටයුතු ආතා භාරගත්තේ කැමැත්තෙනි. ඇයගේ පැටවා හමුවුන පසු කිරි දෙව්වේ ආතාවිසිනි. පුංචිගේ බලකිරීමට එළදෙන කොහෙටදෝ බාර දුන් නිසා ආතා නැවත තනි වුණි.

නමුත් පුංචිට හොරා එළදෙනක් මිලට ගෙන ඇගේ වැඩකටයුතු කරන්න ආතා බය වුණේ නැත. පහළ ඕවිටෙත් ගැරජය අසල පේරකැලෙත් ඇය සුවසේ ජීවත් වුණි. ඇයටත් පැටවු ලැබුණෙන් අපිට එළකිරි වැරදුණේ නැත. ඕවිටේ සිට පේර කැලයට හරක් දෙදෙනාගෙන ආ යුත්තේ මහපාරෙනි. මහවැස්සි වාහන සද්දෙට බයේ දුවන බැවින් පැටවා හම්බන් කිරීමට තවකෙක් උවමනාය. මෙම අවස්ථාවවැඩිමනක් ලැබුණේ මල්ලීටය. මල්ලි නැති දාට මටත් අවස්ථාවක් නොලැබුණා නොවේ.

ආතාව දකින්නටත් පෙරම ඉවෙන් මෙන් එළදෙන සුපුරුදු ලෙස තප්පුලයි. ‘ආ එනවා එනවා. හිටපන් ඔහොම‘ කියා ආතා කියන්නේආතාටත් ඇයව පෙනිලා නොවේ. නමුත් පුදුමෙකට මෙන් මහවැස්සි අපි එන දිහාවම බලා සිටී. ඇයව ගැලවූ විගසම වත්ත පිටිපස්සේකොස්ගහේ වැටුණ වැල කෑමට දිව යයි. වැල ටික ඉවර වෙනකන් ඇයිව හොල්ලන්නවත් මට බැරිය. පැටියා ගැලවූ වහාම ඇය පැටියාපස්සෙන් යන නිසා වැඩය පහසුය. ඇත්තටම උන් හරක්ය. වැටවල් පාරවල් උන්ට වැදගත් නැත. අපි කොහෙන් ආවත් නැතත් උන්උන්ට හිතෙන පාරේ යයි. මට කල හැක්කේ උන් එක්ක ඇදී යාම පමණි. ආතා ඒ අතින් ශක්තිවන්තය.

ආතාගේ ඇහේ සුද ආවේ ආතාගේ කරුමයටය. පුංචිගේ වදයට අම්මා සමග ඉස්පිරිතාලයට ගොස් සැත්කමක් සදහා දිනයක් ලබා ගත්තේබොහොම අමාරුවෙන්ය. හරකෙක් බලන්නවත් ඇස් දෙක පෙන්න එපැයි කියා පුංචි නිතර කියන නිසා ඔහුට එය සිත්විය. මල්ලීත්නොසිටි බැවින් හරක් බලන වැඩය බාරවුනේ මටය. ඇත්තටම මට බාරවුනේ පුංචි හදලා දෙන පුන්නක්කුටික ගෙනිහින් ඔවුන්ට බොන්නදෙන එක පමණි. කෙහෙල් ලෙලි, පරණ බත් සමග අනා දෙන බාල්දි දෙක බෑලු මට අපුලය. මේවා මහපාරේත් ටික දුරක් උස්සන් යනඑකට වඩා අවුල එක එකා පාර මැද නවත්තගෙන ආතා ගැන ප්‍රශ්න ඇහීමයි. මගේ අකමැත්ත අසාවක් බවට පත්වෙන්නේ ආතාට දෙනතප්පුලව්ව මටත් ලැබෙන විටයි. පුළුවන් ඉක්මනට උන් දෙන්නා ගාවට යන මා බාල්දි දෙක තිබූ විලස එය සුරුස් ගා ඉවර කරන විටඇයගේ ඔළුව අතගාන්නේ ඒ අසාවමය. මා ඒ විදි ආස්වාදය…

‘ආතාගේ හරක් දෙන්නා නැතිවෙලා කියන්නෙ‘ අම්මා එදා ගෙදරට ගොඩවුන ආතාගෙන් අසන විට මාත් සාලයට ගියෙමි. මෑතකදීආතාට එළදෙනුන් 3ක් සිටියහ. මහඑකාට තව පැටියෙක් ලැබෙන්නට හිටියාය. ආතා පැත්තක් බලාගෙන බැරූරුම් විදිහට ඔවු. පෙරේදානැතිවුණේ කියා කතාව පටන් ගත්තේය. මහඑකාත් පැටියාත් අතුරුදන්ව ඇත. දෙවනියා එහා වත්තට පැන බේරි ඇතත් ඇතිවූකම්පනයට ඌ කෑගහන්නේවත් කන්නෙ බොන්නේවත් නැත. ගමේම එවුන් ආරංචිය අම්මාට කියා තිබුණත් ආතා ගෙදර කාටවත්නොකියා ලැබෙන ලැබෙන තැන් වල විපරන් කර ඇත. මුලු පමුණුවේම කරක් ගසා ආතා හොයාගත් විස්තරය නම් ගමේම හරක් නැති වීඇති බවයි. එවලේම ආතාව ලැහැත්ති කරගත් අම්මා ගියේ බෙල්ලන්විල බෝධියට බාර වීමටයි. ආතාගේ ඕනෑකම නවගමුවේදේවාලයට යාමටයි. වෙනදාට දේවාලයක් කිව්වත් අම්මාට බැනගෙන යන මා කට වහන් හිටියේ ආතාට කවදාවත් නොලැබෙන හරක්දෙන්නා වෙනුවෙනි. දවස් 7ක් බාර ගෙවීමට නවගමුවටත් බෙල්ලන්විලටත් අම්මා සමග ගිය මුත් ආරංචියක් අවේ නැත. ඉතිරි පැටියාටකෑම දෙන්න ගියත් ආතාට වැඩි කල්පනාවක් තිබ්බෙ නැත.

හරක් මරපු ලොරියක් අල්ලලා ආතා කීවේ පුවත පත්තරේ යන්නත් කලියෙනි. ආතා දැන්වත් හිත හදාගනීවි කියා සිතුවත් වුණේඅනෙකකි. ආතාගෙ රුධිර පීඩනය වැඩිවී නැවත අම්මා සමග ඉස්පිරිතාලයට ගොස් බේත් ගෙනාවේය. දරුවන් දෙදෙනෙකුගේ පියෙක්ගේජීවිතය අද එක් එළදෙනෙක්ට පමණක් සීමා වී ඇත.

ප.ලි – මෙච්චර කතාවක් ලිව්වේ පුදුම තරහකින්. තමන්ට වාසිදේ විතරක් අමාරුවෙන් බුද්දාගමෙන් හොයන් සාධාරණීකරණය කරගෙන අනිත් එවුන්ට හූ කියන්නත් බලන් ඉන්නවා.  හරක් මරණ වුන් නෙමේ හරක් මස් කන එවුන්ට වෙඩිතියලා මරන්න ඕනෙ කියලාපනතක් ගෙනාවනාවත් මායි ආතයි පක්ෂව ඡන්දෙ දෙනවා.

තවත් පිටුවක්…

කොහෙම පටන් ගන්නද අවසානයක් මෙහෙම ලියන්න.
කොහොඹ ගහ යට අපේ කන්තෝරුවෙ කරපු දේවල් දෙයියනේ.
මුල මතක නැති වන තරමට අග හරිය මාර ජොලි.
උඹෙන් ඉගෙන ගත් දේ බෙහෙමයි.
අපි මැච් ගැහුවා, පිරිත් ඇහුවා, ට්‍රිප් ගියා කොච්චර සතුටුද?
ඒවායෙ වුන අවාසනාවන්ත සිද්ධි වලදීද්
අපෙ පිටිපස්සෙන් හෙවනැල්ල වගේ හිටිය වුන් දාල එන්ට වුනා.
මේකෙ ලිපි බලලාත් තෝ පල යන්න කියන්නෙ නැතිව
දිගටම ලියපන් කිව්ව ඒ මනු+ස්+සයාවත් තනිකරලා ආවා වගේ හිතෙනවා.
නෙත්ලෝල, කන්ලෝල, මනලෝල හැම ලෝලයකම අය
දාල එන එක ඉතින් ප්‍රිය විප්පයෝගම තමා.
ආයෙ ඉතින් නාවල පාරෙ කරක් ගහන්ට,
කොට්ටං ගහ යට බයිලා ගහන්ට,
තිත්ත මල් පේර කන්ට, කොට්ටම්බයක් තලන් කන්ට
ඔරුවෙ තණකොල අරං යන වුන් බලන්ට…
මෙලෝ දෙයක් නෑනෙ.
එනකොටත් ආයෙත් හැරිලා බැලුවෙ
තවත් පාළුවට යන අපේ මුල්ල දිහා
මම නම් ඉතින් එලියට බැහැලා ආවා.
වරදක් වුනානම් සමා වෙයන්.
උඹලාට ජය!

ප.ලි – දුකයි තමා. දුක්වෙන්න නම් හේතුද නැත්තෙ.

Previous Older Entries

Follow

Get every new post delivered to your Inbox.

Join 815 other followers

%d bloggers like this: