තවත් පිටුවක්…

කොහෙම පටන් ගන්නද අවසානයක් මෙහෙම ලියන්න.
කොහොඹ ගහ යට අපේ කන්තෝරුවෙ කරපු දේවල් දෙයියනේ.
මුල මතක නැති වන තරමට අග හරිය මාර ජොලි.
උඹෙන් ඉගෙන ගත් දේ බෙහෙමයි.
අපි මැච් ගැහුවා, පිරිත් ඇහුවා, ට්‍රිප් ගියා කොච්චර සතුටුද?
ඒවායෙ වුන අවාසනාවන්ත සිද්ධි වලදීද්
අපෙ පිටිපස්සෙන් හෙවනැල්ල වගේ හිටිය වුන් දාල එන්ට වුනා.
මේකෙ ලිපි බලලාත් තෝ පල යන්න කියන්නෙ නැතිව
දිගටම ලියපන් කිව්ව ඒ මනු+ස්+සයාවත් තනිකරලා ආවා වගේ හිතෙනවා.
නෙත්ලෝල, කන්ලෝල, මනලෝල හැම ලෝලයකම අය
දාල එන එක ඉතින් ප්‍රිය විප්පයෝගම තමා.
ආයෙ ඉතින් නාවල පාරෙ කරක් ගහන්ට,
කොට්ටං ගහ යට බයිලා ගහන්ට,
තිත්ත මල් පේර කන්ට, කොට්ටම්බයක් තලන් කන්ට
ඔරුවෙ තණකොල අරං යන වුන් බලන්ට…
මෙලෝ දෙයක් නෑනෙ.
එනකොටත් ආයෙත් හැරිලා බැලුවෙ
තවත් පාළුවට යන අපේ මුල්ල දිහා
මම නම් ඉතින් එලියට බැහැලා ආවා.
වරදක් වුනානම් සමා වෙයන්.
උඹලාට ජය!

ප.ලි – දුකයි තමා. දුක්වෙන්න නම් හේතුද නැත්තෙ.

වෙන කාගෙද

අපේ ලෝකය හරිම ලස්සනයි. හරියට දිව්‍යලෝකයක් වගේ. අපි ගෝත්‍රික ජනතාවක් තමා. ඒත් අපි සොබාදහමත් එක්ක හොදට ජීවත් වුණා. ගහ කොළ සතාසිව්පාවා පවා අපිත් එක්ක හුගක් සමීපයෙන් කල් ගෙව්වා. වෙන කාගෙවත් ලෝකයක් අල්ලන්න සිහින මැව්වෙ නෑ. කාටවත් කරදරයක් නොවී දෙයියනේකියලා හිටියා.

ඒත් එකපාරටම වෙන දේසෙක එවුන් ටිකක් ඇවිල්ලා මේක උන්ගෙ විදිහට හදන්න ගත්තා. උන් අපේ තිබ්බ ගෝත්‍රික අදහස් පිළිකුල් කළා. අපිව පෙනුණෙවනචාරීන් විදිහට. උන්ට ඕන වුණේ අපේ ලෝකය උන්ගෙ වගේ කරගන්න. උන් අපේ ගහකොළ නැති කරලා දැන්මා. සාමකාමීව හිටි අපේ මිනිස්සුන්වගැනුන්ව ළමයින්ව මරලා දැන්මා.

අන්තිමට අපි තීරණයක් ගත්තා. උන්ට විරුද්ධව සටන් වදින්න. හැම පැත්තෙම අපේ එවුන් එකට එකතු වුණා. එක රජෙක් වටේ. මේක අපිට පුරුදු නැතිදෙයක් නෙමේ. අපි රණ සුරයො. අපි අපේම විදිහට උන්ට පහර දුන්නා. ඇත්තටම කිව්වොත් උන්ට එළව එළවා පහර දුන්නා. උන් දින්නොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා එකෙක් වැටුනොත් සීයක් නැගිට්ටා. එකා පිට එකා වැටුණත් අපේ ධෛර්‍ය අඩු වුණේ නෑ. අන්තිමේදි අපි දින්නා.

ආ බය වෙන්න දෙයක් නෑ. මේ ලංකාවෙ වුණ දෙයක් නෙමේ. අප්‍රිකාවෙ සූලූ ගෝත්‍රයකුත් නෙමේ. ඇමරිකාවෙ රතු ඉන්දියන්වරුන්ගෙ කතාවකුත් නෙමේ.ඔස්ට්‍රේලියාවෙ පිජංජරාවොත් නෙමේ.

ප.ලි - අද මම අවතා චිත්‍රපටිය බැලුවා.

අවසන් ලියුම

______________,
______________,
___________ පාර,
______________.
20__/__/__.

_______මෙනවිය,
_____________,
__________ පාර,
_____________.

හිතවත් මෙනවිය,

ඔබට කලින් දැනුම් දී තිබූ පරිදි 20__/__/__ දින සිට ඔබ කෙරෙහි මා හට පිළිබද සිතක් පහළ වී තිබුණි. ඒදා සිට මාස __ක් ඔබගේ හැසිරීම හා ගතිගුණ පරීක්ෂා කල අතර ඒ සියල්ලෙන් ඔබ විශිෂ්ට ලෙස සමත් වූ බව නැවත දැනුන් දෙන්නේ හද පිරි සතුටිනි.

ඔබ හට මා විසින් ලිඛිත පරීක්ෂණයකට අයදුම්පතක් එවූ අතර එයට ඔබ එකඟ වූ තැන් පටන් ඔබ හා මා අතර පැවැත්වූ සියලුම ලිඛිත හා වාචික පරීක්ෂණ වලින් ඔබේ සුදුසුකම් මනාව දක්වන ලදී. ඒ අනුව 20__/__/__ දින මා ඔබට අවසන් වාචික පරීක්ෂණයකට කැදවුවද එය කාරුණිකව ප්‍රතික්ෂේප කල බැවින් එය දින නියමයක් නැතුව කල් දැමුවෙමි. එයින් දින __කට පසුව එය නැවත පැවැත්වීමට යෝජනා කළත් එවැනි පරීක්ෂණ සදහා අකමැති බව ඔබ මට ලිඛිතව දැනුම් දුන් බැවින් එම පුරප්පාඩුව සදහා කෙරෙන බදාවා ගැනීම් නතර කරන ලදී. නමුත් 20__/__/__ දින හදිසියේ කැදවූ පරීක්ෂණයට ඔබ සහභාගී වු අතර එයින් ඔබ ප්‍රකාශ කර සිටියේ මෙම පුරප්පාඩුවට තමා අර්ථ විරහිත බවත් ඒ සදහා තමාට කල හැක්කක් නොමැති බවත්ය. ඒ කෙසේ වෙතත් නැවත දෙතුන් වරක් ඔබ මෙයට අකමැත්ත ප්‍රකාශ කිරීමත් ඔබ හා තිබූ සියලූම සංනිවේදන කටයුතු ඔබ විසින් වළක්වා තබූ බවත් සදහන් කරන්නේ හද බැදි දුකෙනි.

මෙසේ දිගින් දිගටම ඔබ හා කටයුතු කිරීමට අප ආයතනය අකමැති බැවින් මේ සදහා යොදා ගත් සියලූම මානව හා භෞතික සම්පත් නැවත කැදවනු ලැබේ. මේ ලිපිය ලැබී දින __ක් ඇතුළත ඔබ විසින් යහපත් ප්‍රතිචාරක් දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නොවුවහොත් මෙය සිදුකීරීමට නියමිත අතර එයට බාධා පැමිණවීම හෝ බාධා පැමිණවීමට අනුබල දීම හෝ සිදුකළහොත් අප ආයතනයේ ව්‍යවස්ථාවට අනුකූලව නීතිප්‍රකාරව නඩු පවරා අච්චු කරනු ලැබේ.

බෙහෙම ස්තුතියි!

මෙයට,
තාමත් සේවයේ නියතු,

__________________
මානව සම්පත් කළමනාකරු,
මගේ හිත.

ප.ලි – මෙය 20__/__/__ දින වෙනත් අයවලුන් කිහිප දෙනෙකු විසින් යෝජනා කරනු ලැබූවක් වන අතර මා විසින් 2012/10/29 දින ලියා ප්‍රසිද්ධ කරන ලදී.

අනාගතයේ ඉතිහාසයෙන් බිදක්

පුරාණයේ අපේ රට වැසියන් තම රාජකාරී ඉවර වී නිවැස් කරා පැමිණ තම කාන්සිය මාන්සිය නිවා දමා ගැනීම පිණිස බාවිතා කල සමාජ අඩවියක් ගැන මෑතකදී කරුණු අනාවරණය කරගන්නා ලදී. මෙය Facebook(ෆැසේබූ) ලෙස හදුනාගෙන තිබේ.

තම සිතුවිලි අන්‍යන් සමග බෙදා ගැනීමටත් තමන්ට අන්‍යන්‍ය සුහදතාවය වර්ධනය කරගැනීමටත් ඔවුන් තුළ වූයේ බලවත් කැමැත්තකි. මෙය ක්‍රම දෙහෙකට සිදු කර ඇතැයි මේ ගැන පරීක්ෂණ පැවැත්වූ පරණවිතානයන් කියා සිටී.

පළමුවැන්න නම් චැට් කිරීමයි. මෙය අද අප භාවිතා කරන චැට් ක්‍රමයේ මුල් අවදියයි. අක්ෂර භාවිතයෙන් අන්‍යන් සමග සන්නිවේදනය කිරීම මුලින්ම සිදු වී ඇත. අද තරම් බ්‍රෑන්ඩ්විත් එකක් නොවූ ඒ අවදියේ එය කාර්‍යක්ෂම ලෙස භාවිත කිරීමට කෙටි යෙදුම් හා සංකේත භාවිත කර ඇති බව පරණවිතාන මහතා ප්‍රකාශ කර තිබේ. බෙහෙමයක් චැට් පටන් ගෙන ඇත්තෙ hi (හි) ලෙසය. මෙය ඔහු විග්‍රහ කරන්නේ ‘හිතුණා’ ලෙසයි. මට ඔබ සමග චැට් කරන්න හිතුණා යන්න ඔවුන් මෙසේ ඉදිරිපත් කර ඇති සැටියෙන් පේන්නේ ඔවුන් තුළ වූ සුහද තාවයයි. එසේම බෙහෙමයක් ඒවා ඉවර කර තිබුණේ bye (බියෙ) ලෙසය. මෙසේ ඇතැම් වචන දැනටමත් සොයා ගෙන තහවුරු කර තිබෙන අතර ඇතැම් වචන කුමකට යොදා ගත්තා දැයි ප්‍රශ්නයකි. පිරිමින් අතර වැඩියෙන් පාවිච්චි වී ඇති WTF කුමක්ද යන්න තවමත් අබිරහසකි.

එමෙන්ම :) :D :( ලෙසින් වන්නාවූ අක්ෂර සංකේතද භාවිතා කර ඇත. මේවායෙන් කියන්නේ මොනාද යන්න තවමත් හරියටම හදුනාගෙන නැත. :) යන්නෙන් හොද පුද්ගලයෙකුත් :D යන්නෙන් සතුටින් සිටින පුද්ගලයෙකුත් :( යන්නෙන් දුකින් සිටින පුද්ගලයෙක් නිරූපණය වන බව පරණවිතායන් විස්තර කරයි. නමුත් එයට විරුද්ධ මතයක් ඉදිරිපත් කරන මේධානන්ද මහතා ප්‍රශ්න කරන්නෙ එවිට :P යන්නෙන් ඉදිරිපත් කරන්නේ කුමන පුද්ගලයෙක්ද යන්නයි. :) යන්න සඳටත් :D යන්න ඉරටත් භාවිත කර ඇති බව මේධානන්දයන් අදහස් දක්වයි. ඉරට හා සඳට වැදුම් කල ඔවුන් නිතර මෙය චැට් වල යොදා ගෙන ඇති බව ඔහු හේතු වශයෙන් ඉදිරිපත් කරයි.

මෙවුන් යොදා ගත් දෙවන ක්‍රමය වෝල් එකේ ලිවීම ලෙස හදුන්වයි. මෙය අද භාවිතා කරන කුරුටු ගීත වලට සමානය. තමාගේ අදහස් අනුන්ට පේන ලෙස දැමීමත් ඒ දාන ඒවා හුවමාරු කිරීමටත් ඔවුන් දැන සිට ඇති බව සොයා ගෙන ඇත. ඇතැම් ඒවා ආදරය දුක ආදී සිතුවිලි ඉස්මතු කර ඇත. තමාව නිරූපණය කිරීමට තමාගේ පින්තූරයක් දාගැනීම ඔවුන් සිරිතක් ලෙස සිදු කර ඇත. නමුත් ඇතැමුන් එයිට අමතර සංකේත යොදා ගෙන ඇත. 6% ලෙසින් තැඹිලි පාටින් ඇති සංකේතයක් වැඩිපුර භාවිතා කර ඇති අතර එය එකල තිබූ කුලයක සංකේතයක් බව ඇතැමුන් ප්‍රකාශ කර ඇත. නමුත් එයට හාත්පසින්ම වෙනස් මතයක් දරන මේධානන්දයන් ප්‍රකාශ කරන්නේ ලෝක විනාශය සිදුවුණේ අධික උෂ්ණත්වය නිසා බවත් කි.ව 2012දී කුමකින් හෝ 6%කින් උෂ්ණත්වය ඉහළ යාම නිසා දෙවියන්ට එය කියමින් යාඥා කර බවත්ය. මේවාට අදාළ පුද්ගලයන් දෙදෙනෙක් මේවායින් හමුවී තිබෙන අතර ඔවුන්ගේ නම් SB, බන්දුල වේ. ඔවුන් එකල සිරි පූජයකයන් විය හැකි බව මේධානන්දයන් ප්‍රකාශ කර සිටී.

ප.ලි – ඉතිහාසය පුනරාවර්තනය වේ.

මෙහෙම බැරිද?

දෙයියනේ කියලා ජීවත් වෙන්න
රට්ටුන්ගෙන් කතා හදා ගන්නෙ නැතුව මැරිලා යන්න
හුගක් ඉගෙන ගෙන රස්සාවක් කරන්න ගත්තා.
තව ඉගෙන ගන්න ඕනෙලු
අරක කියවන්න ඕනෙලු
හැම වෙලාවෙම හිතන්න ඕනෙ
අර විභාගෙ කළොත් ගොඩලු
පශ්චාත් උපාධියක් නැත්නම් වැඩක් නෑලු
මැරෙනකන් ඉගෙනගන්න ඕනෙලු
එහෙම නැතුව බැරිද?

කැමති දේ විතරක් ඉගෙනගන්න
ඒ පින්මෙන්ම රස්සාවක් කරන්න
ඒ කැමති දේ කෙනෙක්ට කියලා දෙන්න
අලුත් අවුරුද්ද ජයටම කන්න
මාස හය හතක් නිවාඩු ගන්න
කුඹුක් ගහක් යට නිදාගන්න
නියරක වාඩි වෙලා හුළං වදිද්දි,
කල්පනා ලෝකෙ තනිවෙන්න
ගමේ ගොඩේ ඇවිදින්න
අත්තා කෙනෙක්ගෙ කතාවක් අහන්න
අම්බලමෙදි කවියක් කියන්න
හවසට කඩමණ්ඩියෙ දාම් අදින්න
හත්දවසෙ දෙවොල් මඩුවක නැටුම් බලන්න
පැලක නිදිමරන්න
කොල්ලො එක්ක කැලේ පනින්න
කෙල්ලෙක් එක්ක කතා කරන්න
ප්‍රශ්න ආවාම හිතලා මතලා
ඕන මගුලක් වෙච්චාවෙ කියලා මහන වෙන්න
සංසාරෙම දුකක් වෙලත්
නිවන දුරයි මේ
උපාධියක් හින්දා

ප.ලි - මේවා හිතලා තියෙන රස්සවත් නැතිවෙයිද මන්දා.

අපේ පැත්තෙ කෙනෙක්

කොට්ටාවෙ ජාලිස් වෙද මහත්තයා ගැන දැන ගත්තාම තමා මට හිතුණෙ අපේ පැත්තෙ හිටපු වීර චරිත මොනාද කියලා හොයලා බලන්න. 1848 නිදහස් අරගලයෙදි සේනාධිපති ලෙසට කටයුතු කරපු පුරන් අප්පු මී මුත්තා මොරටුව පැත්තෙ. එයිටත් කලින්, අවුරුදු 12 ඉදන් 120 වෙනකන් සටන් කරපු, පරංගින්ටයි උන්ට කඩේ ගියපු අයටයි පුදුම හිස රදයක් වෙලා හිටපු ටිකිරි කුමාරයා නැත්නම් රාජසිංහ රජුරුවො හිටියෙ සීතාවක. ඒ කියන්නෙත් කොළඹ දිස්ත්‍රික්කෙම තමා. වෙසමුණි රජුරුවො වගේම හොරණට නම දුන්න හිරන් කසුබ් වගේ අය ගැන කතා නොකරම ඉමුකො.

එච්චර ලොකු ඉතිහාසයක් නැතත් මහරගම වැදගත් චරිතයක් නැද්ද කියලා මන් කල්පනා කළා. වීරකමයි වැදගත් කමයි පැත්තකට තියලා අඩුගානෙ විශේෂ කෙනෙක්. ඉස්කෝලෙදි කාගෙත් හිතවතා වෙච්ච රංජි අයියා ගැන ලගදි දැක්කම මට කෙනෙක්ව මතක් වුණා. රංජි අයියා නෙමේ. අපේ ඉස්කෝලෙ මුල්ම විදුහල්පති වුණ සොයිසා සර්ව.

පුද්ගලයෙක් විදිහට මනුස්ස පාට තිබ්බ නිසා හොද මනුස්සයෙක් වෙන්න ඇති. අපි පොඩි කාලෙමනෙ සර් විශ්‍රාම ගියෙ. එතුමා කරපු කතා දෙකක මට මතක හිටපු පොඩි කොටස් දෙකක් නිසා මට ඔහු විශේෂ චරිතයක් වුණා.

2001 හරි 2002 හරි තිබුණ ගුරු උපහාර උළෙලකදි උන්දැට විශේෂ කතාවක් ලැබුණා. ඒකෙත් තමන් ඉස්කෝලෙ මේ තත්වයට ගේන්න ගත්තු උස්සහය කිව්වාම මට ඇත්තටම ඔහු ගැන ආඩම්බර හිතුණා. එදා මිශ්‍ර පාසලක් වුණ අද මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ කොටසක් ලෙස තමා අපෙ ඉස්කොලෙ පටන් අරන් තියෙන්නෙ. ළමයි එකසිය ගානකින් මට මතක විදිහට.

ඉස්කෝලෙ පිටීම පස්සෙ පිට්ටනියෙ තියෙනවා ළිං දෙකක්. ඕකෙ බිත්ති දෙකට චූ කරපු නැති කොල්ලෙක් මහරගම ජනාධිපතියෙ ඉන්නෙ නැතුව ඇති. එදා ඉස්කෝලෙ ළමයින්ට බොන්න වතුර ඇන්න ඇවිත් තියෙන්නෙ ඔය ළිං දෙකෙන්ලු. හෙට දවසෙ ළමයින්ට බොන්න උඩහ වතුර ටැංකියට (මට මතක විදිහට අදටත් පිට්ටනියෙ තියෙන ලොකු ටැංකියට) වතුර ඇදලා තියෙන්නෙ විදුහල්පතිතුමාම තමා. ළිං දෙකේ ඉදන් වතුර ටැංකිට දුර මීටර් දෙසියක් විතර ඇති. ඒ මදිවට උඩහටම අදින්න ඕනි. ළමයි එකසිය ගාණකට වතුර ඇද්ද කිව්වාම ප්‍රින්සිපල් කෙනෙක්.

අද බන්ධනාගාරය වගේ වට කරලා ගහලා තියෙන තාප්පය හරි පොඩියි ඒ කාලෙ. ලංකාවට මුල්ම ඔලිම්පික් පදක්කම දිනපු ඩන්කන් වයිට් ලැගලා හිටපු ගෙය තිබ්බෙ අපෙ පිට්ටනිය ගාව. ඒක තමා පස්සෙ කාලෙක විදුහල්පති නිල නිවාසය වගේම ඉස්කෝලෙ කාර්්‍යාලය වුණේ. ඔය ගේ ගාවම දැන් පිට්ටනිය මැද තියෙන කොහොඹ ගස කිට්ටුවම තිබු බෝ ගහක්. ඒ බෝ ගහ හැදිලා තිබුණෙ තල් ගහක් වට කරගෙන. කවුරුත් කිව්වෙ බෝතල් ගහ කියලා. අපේ රුස්වීම ගත්තෙ පිට්ටනියෙ ඔය ගහ ගාව.

දවසක් ඒ රුස්වීමට ආපු විදුහල්පතිතුමා කියපු කවියක පද තුනක් මට සෑහෙන කාලයක් මතක තිබ්බා. ලගදි තමා ඒකෙ සම්පුර්ණ පද ටික හොයා ගත්තෙ. කුංකුණාවෙ හාමුදුරුවො පන්සලේ බිත්තියකට ඇදෙන කූඹි රංචුවක් දැකලා තමා මේ කවිය කිව්වා කිව්වෙ.

අනේ කුහුඹුවනේ
තොපටත් රජෙක් ඇත්තෙ
අපිට ඇයි නැත්තේ
අපේ කරුමෙද මෙහෙම වෙන්නෙ

රජෙක් ලැබුණෝතින්
කැවුම් කිරිබත් කන්නම්
පෙරහැර කරන්නම්
සාදු කාරෙන් ගිගුම් දෙන්නම්

ප.ලි – අද විදුහල්පති කෙනෙක් මේ කවිය කිව්වොත්…

හිතේ උන් දෙවියන්ට

තෙද වරන් පස්වාන් දහසකට දිව්‍ය ඥාන වරන් ලැබූ මුලු ලංකා ද්වීපය සිසාරා කීර්ති ධාරා පතුරුවා හරින්නට, නා ලොවින් අසුර ලොවට වරම් ලබාගෙන දස දහසක් මාරයෝ පරාජය කොට නාග මානවිකාවන් පිරිවාරාගෙන කාළම්බතිත්ත පුරයේ අදටත් යහතින්ම වැඩ සිටින්නාවූ ඔබ දේවියන් වහන්සේට කියා සිටින කන්නලව්ව දිවැස් කරුණාවට ගෙන මොවුන්ගේ සකල අභිමතාර්ථයන් ඉෂ්ට වෙන්ඩ වරන් දී වදාරණ සේක්වා.

තවද ඔබ දේවියන් වහන්සේ ගුරුකුලයේ තපස් රක්නා තැනට මා පැමිණ, සොයුරිය, මට ශිල්පය දෙවයි සැලකළ තැනේදී, ඕකත් මට අපූරුවක්දැයි කියා සිනා පහළ කොට, අනං මනං නොකියන ලෙස පොරොන්දු කරවා, පසුදා අළුයම පැමිණ, උක් මුං පිඟානකින් කොටසක් වළදා ඉතිරිය ගල් වෙන්ට වරම් දී, පල්ලෙ මළුවෙන් පල්ලෙ වීදියටත්, පල්ලෙ විදියෙන් දික්වීදියටත්, උඩ වීදියෙන් උඩ මළුවටත් වැඩ, සගය එසේ නම් අසව්, මම තට දැනුම ලබා දෙමි කියා, වමතින් පුස්කොළ පොතත් දකුණතින් පන්හිදත් ගෙන, ඔබ දේවියන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිච්ච මල් වැටෙන්නා සේ දැනුම ලබා දුන් සත්‍යානුභාවයෙන්ද, එම අවස්ථාවේදී සියලු භූත පිසාචයන් පලා යද්දී, අවස්ථාව ඇතත් පොරොන්දු වූ පරිදි නුඹ දේවියගේ කුමරි බඹසර ආරක්ෂා කල සත්‍යාවාදී බව සැබෑ වී නම්, මේ අතුරයා පිළිබද සිතක් පහළ කරගන්නවැයි, පූජා භාණ්ඩ භාර ගන්නවැයි, ඔබ දේවියන් වහන්සේගේ වන්නාවූ ග්‍රහදෝස, අනවින, ඇස්වහ කටවහාදී දෝසයන්ද තුන්දොස් කිපීමෙන් වැද පැමිණි දෝසයන්ද මෙකී නොකී සකල දෝසාන්ධකාරයන්ද දූරින්භූත කොට උඩින් පායන අව්වත්, වටින් හමනා සුළඟත් හැර අමුතු උවන්දිරමක් වැද්ද සිද්ධ නොදී ආරක්ෂා කර දෙනවැයි, දැන වැරදි නොදැන වැරදි කෝටියක් වැරදි වලට සමාවෙනවැයි, (සියලු දෙවියෝ) පිනට පිහිට වෙනවැයි, පිං ගන්නවැයි ඔබ කීර්ති පස්වාන්දහසක් ආවඩා ආයු බෝ වේවා! ආයු බෝ වේවා! ආයු බෝ වේවා!

ප.ලි – නැවත වරක් වරදක් වූවානම් සමා වෙන සේක්වා…

Previous Older Entries

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: