The සම්මුඛ පරීක්ෂණය

සම්මුඛ පරීක්ෂණ නම් ඉතින් අපි වගේ කට්ටියට හැමදාමනෙ. ඔය අතරෙ පත්තරේකින් ආවා කියහන්කො මාත් එක්ක කතා කරන්න. උන්දැ එක්ක කතා කරපු එක මං ලියාගත්ත විදිහ මේ.

මා = මාධ්‍යවේදියා;
ම = මම;

මා – අද මාත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නෙ ලංකාවෙ ලොකු සමාගමක ජේෂ්ඨ මෘදුකාංග ඉන්ජිනේරුවෙක්. ආයුබෝවන් දිනුක.
ම – ආයිබෝවන්!
මා – සම්පූර්ණ නම් කිව්වනම්.
ම – රාජපක්ෂ පතිරගේ දොන් දිනුක තිලංග පෙරේරා.
මා – දිග වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?
ම – අම්මා දාපු නමනෙ. වාසගම දාපු එකානම් මට තාම හම්බවුණේ නෑ. අපෙ තාත්තගෙ තාත්තටත් ඒක තිබ්බා.
මා – දිනුක ඉපදුණේ කොහෙද?
ම – ඉස්පිරිතාලෙ.
මා – නෑ මං ඇහුවෙ ඉස්පිරිතාලෙ කොහෙද කියලා.
ම – ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටෙ නව රෝහලේදි
මා – ඒ කියන්නෙ දිනුකගෙ ගම කෝට්ටෙ?
ම – නෑ මහරගම. මහරගම තියෙන්නෙ පිළිකා රෝහල විතරයිනෙ.
මා – මේ දවස් වල මොකද කරන්නෙ?
ම – Angular වලින් ව්‍යාපෘතියක් කරනවා. තව මාස 3, 4කින් ඔයාලාට බලා ගන්න පුළුවන් වේවි. ඒ මදිවට පශ්චාත් උපාධියක් කරනවා. ඒක නම් අවුරුදු ගානකින්වත් මට බලාගන්න බැරි වෙයි වගේ.
මා – දැන් PHP කරන්නෙ නැද්ද?
ම – නෑ. මං ටික කාලෙකට PHP වලින් ඈත් වෙලා Angular වලට බැස්සා. අවස්ථාවක් ලැබුණොත් ආයෙ PHP වලට බහිනවා. ඒත් දැන් අපිට කවුරුත් ඒවාට කතා කරන්නෙ නෑ. ඒවා කරන්න ගොඩක් අය ඉන්නවානෙ. ECTA ආවම කරන්නම වෙන එකක් නෑ.
මා – කොහොමද මේ කේෂේත්‍රයට සම්බන්ධ වුණේ.
ම – උපාධියක් කරලා තමා ආවේ. දැන් හිතෙනවා උසස්පෙල කලෙත් අපරාදෙ කියලා.
මා – ලැබෙන හැම ව්‍යාපෘතියක්ම ඔබ භාර ගන්නවාද?
ම – පිස්සු හැදෙයි. හොදට හිතලා බලලා තමා. හොදයි කියලා හිතෙන ව්‍යාපෘති බාරගන්නවා.
මා – විවේක කාලෙදි මොකද කරන්නෙ.
ම – අපිට ඉතින් විවේක කාලයක් නැති තරම්. ඔෆිස් වෙලාවෙ facebook හරි youtube හරි ගියොත් තමා. ගෙදර එන්නෙ නිදාගන්න බලාගෙන.
මා – දිනුක මොනාද වැඩිය කන්න කැමති?
ම – සයිවර් කෑම වලට තමා. ඉදලා හිටලා වඩයක් ගෙඩියක් කාලා පේලේන්ටියක් බීලා එනවා. ඉස්සරහට නම් ECTA ආවාම සයිවර්ම තමා කන්න වෙන්නෙ.
මා – ජනප්‍රිය වෙන්න ආස නැද්ද?
ම – අපෝ නෑ. තව වැඩ ටිකක් වැඩි වෙලා තියෙන නිදහසත් නැතිවෙන පොටක් ඕක. මේ ඉන්න විදිහ හොදා.
මා – ඉතින් මොනාද ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ? මොනවද බලාපොරොත්තු?
ම – මොනා කරන්නද මන්දා අප්පා. හරි අවිනිශ්චිතයි. මේ කේෂේත්‍රයෙන් අයින් වෙලා වෙන මොනා හරි කරන්න තිබ්බා නම් හොදයි. ECTA ආවොත් මොනා වේවිද දන්නෙ නෑ.
මා – අලුතෙන් කේෂේත්‍රයට එන එයට කියන්න තියෙන්නෙ මොකක්ද?
ම – තමන්ට තියෙන හැකියාව තේරුම්ගන්න. කුලීවැඩ, වඩුවැඩ,  මේසන් බාස්ලටත් අද හොදට ගෙවනවා. ගෙදරටම වෙලා මොනා හරි කරන්න පුළුවන්නම් හොදයි. මං කියන්නේ freelance වගේ ඒවා නෙමේ. කඩදාසි උර අලවනවා, හතු වවනවා වගේ ස්වයං රැකියාවක් කරන්න පුළුවන්නම් හොදයි.
මා – අන්තිමට මොනාද රසිකයන්ට කියන්න තියෙන්නෙ.
ම – ECTA/CIPA එපා කියලා තමා.

ප.ලි –

කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
සිනා ‍රැල් නැගේ ගිගිරි නදින රේණු සැලී නිරන්තරේ
සදා කල් අඞා වැළපීමයි කැලෑ මලේ කතන්දරේ

Advertisements

අනාගතයේ ඉතිහාසයෙන් බිදක්

පුරාණයේ අපේ රට වැසියන් තම රාජකාරී ඉවර වී නිවැස් කරා පැමිණ තම කාන්සිය මාන්සිය නිවා දමා ගැනීම පිණිස බාවිතා කල සමාජ අඩවියක් ගැන මෑතකදී කරුණු අනාවරණය කරගන්නා ලදී. මෙය Facebook(ෆැසේබූ) ලෙස හදුනාගෙන තිබේ.

තම සිතුවිලි අන්‍යන් සමග බෙදා ගැනීමටත් තමන්ට අන්‍යන්‍ය සුහදතාවය වර්ධනය කරගැනීමටත් ඔවුන් තුළ වූයේ බලවත් කැමැත්තකි. මෙය ක්‍රම දෙහෙකට සිදු කර ඇතැයි මේ ගැන පරීක්ෂණ පැවැත්වූ පරණවිතානයන් කියා සිටී.

පළමුවැන්න නම් චැට් කිරීමයි. මෙය අද අප භාවිතා කරන චැට් ක්‍රමයේ මුල් අවදියයි. අක්ෂර භාවිතයෙන් අන්‍යන් සමග සන්නිවේදනය කිරීම මුලින්ම සිදු වී ඇත. අද තරම් බ්‍රෑන්ඩ්විත් එකක් නොවූ ඒ අවදියේ එය කාර්‍යක්ෂම ලෙස භාවිත කිරීමට කෙටි යෙදුම් හා සංකේත භාවිත කර ඇති බව පරණවිතාන මහතා ප්‍රකාශ කර තිබේ. බෙහෙමයක් චැට් පටන් ගෙන ඇත්තෙ hi (හි) ලෙසය. මෙය ඔහු විග්‍රහ කරන්නේ ‘හිතුණා’ ලෙසයි. මට ඔබ සමග චැට් කරන්න හිතුණා යන්න ඔවුන් මෙසේ ඉදිරිපත් කර ඇති සැටියෙන් පේන්නේ ඔවුන් තුළ වූ සුහද තාවයයි. එසේම බෙහෙමයක් ඒවා ඉවර කර තිබුණේ bye (බියෙ) ලෙසය. මෙසේ ඇතැම් වචන දැනටමත් සොයා ගෙන තහවුරු කර තිබෙන අතර ඇතැම් වචන කුමකට යොදා ගත්තා දැයි ප්‍රශ්නයකි. පිරිමින් අතර වැඩියෙන් පාවිච්චි වී ඇති WTF කුමක්ද යන්න තවමත් අබිරහසකි.

එමෙන්ම 🙂 😀 😦 ලෙසින් වන්නාවූ අක්ෂර සංකේතද භාවිතා කර ඇත. මේවායෙන් කියන්නේ මොනාද යන්න තවමත් හරියටම හදුනාගෙන නැත. 🙂 යන්නෙන් හොද පුද්ගලයෙකුත් 😀 යන්නෙන් සතුටින් සිටින පුද්ගලයෙකුත් 😦 යන්නෙන් දුකින් සිටින පුද්ගලයෙක් නිරූපණය වන බව පරණවිතායන් විස්තර කරයි. නමුත් එයට විරුද්ධ මතයක් ඉදිරිපත් කරන මේධානන්ද මහතා ප්‍රශ්න කරන්නෙ එවිට 😛 යන්නෙන් ඉදිරිපත් කරන්නේ කුමන පුද්ගලයෙක්ද යන්නයි. 🙂 යන්න සඳටත් 😀 යන්න ඉරටත් භාවිත කර ඇති බව මේධානන්දයන් අදහස් දක්වයි. ඉරට හා සඳට වැදුම් කල ඔවුන් නිතර මෙය චැට් වල යොදා ගෙන ඇති බව ඔහු හේතු වශයෙන් ඉදිරිපත් කරයි.

මෙවුන් යොදා ගත් දෙවන ක්‍රමය වෝල් එකේ ලිවීම ලෙස හදුන්වයි. මෙය අද භාවිතා කරන කුරුටු ගීත වලට සමානය. තමාගේ අදහස් අනුන්ට පේන ලෙස දැමීමත් ඒ දාන ඒවා හුවමාරු කිරීමටත් ඔවුන් දැන සිට ඇති බව සොයා ගෙන ඇත. ඇතැම් ඒවා ආදරය දුක ආදී සිතුවිලි ඉස්මතු කර ඇත. තමාව නිරූපණය කිරීමට තමාගේ පින්තූරයක් දාගැනීම ඔවුන් සිරිතක් ලෙස සිදු කර ඇත. නමුත් ඇතැමුන් එයිට අමතර සංකේත යොදා ගෙන ඇත. 6% ලෙසින් තැඹිලි පාටින් ඇති සංකේතයක් වැඩිපුර භාවිතා කර ඇති අතර එය එකල තිබූ කුලයක සංකේතයක් බව ඇතැමුන් ප්‍රකාශ කර ඇත. නමුත් එයට හාත්පසින්ම වෙනස් මතයක් දරන මේධානන්දයන් ප්‍රකාශ කරන්නේ ලෝක විනාශය සිදුවුණේ අධික උෂ්ණත්වය නිසා බවත් කි.ව 2012දී කුමකින් හෝ 6%කින් උෂ්ණත්වය ඉහළ යාම නිසා දෙවියන්ට එය කියමින් යාඥා කර බවත්ය. මේවාට අදාළ පුද්ගලයන් දෙදෙනෙක් මේවායින් හමුවී තිබෙන අතර ඔවුන්ගේ නම් SB, බන්දුල වේ. ඔවුන් එකල සිරි පූජයකයන් විය හැකි බව මේධානන්දයන් ප්‍රකාශ කර සිටී.

ප.ලි – ඉතිහාසය පුනරාවර්තනය වේ.

හීන කතන්දර

අරනෝලිස් ආතා විසින් පහත හීන දැක ඇත.

1. විශාල නාගයෙක් පැමිණ කටට අත දමා තමාගේ මැණික ගන්න කියු අතර එය නොපැකිලිව ලබා ගන්නා ලදී.
2. කළු ඇතෙක් පිච්ච වගේ පොඩි මලක් අරන් ආවා.
3. ජම්බු ගහේ ලේනෙක් යනවා.
4. ලොකු කිරි පිරවපු කළයක් වෙලේ තිබ්බා.
5. බූරු ඇදේ නිදාගෙන ඉදිද්දි දිව්‍යාංගාවක් ඇවිත් නළලට තොත්තුවක් දුන්නා. (සරම විතරයි ඇදන් හිටියෙ.)
6. පහළ ළිදේ රත්තරං කළයක් මතු වුණා. (බොලොක්කයක් නෑ.)
7. තාත්තා ලස්සන සුදු සරමක් අරගෙන කැවිලි පෙවලි අරං බලන්න එනවා.

ඵ සදහා එයට පහත ප්‍රතිඵල අත්වන බව ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදී මරතේලිස් ආතා විසින් ප්‍රකාශ කරන ලදී.

1. නාග රාජං ගච්චං මාණික්‍ය රත්නං
නගච්ඡේ රික්ත හස්තේන
මරණං නියතං යථා මතාඃ
වරහන් ඇතුළේ වරු තුනයි

2. පුෂ්ප මේධං හස්ති ගතේන තේන
ජීවිතං භවතු නිෂ්ඵලං
මරණං නියතං යථා මතාඃ
වරහන් ඇතුළේ වරු තුනයි

3. ලේනං වේනං ජම්බු මස්තකේන
මරණං නියතං යථා මතාඃ
වරහන් ඇතුළේ වරු තුනයි

4. පූර්ණ කුම්භං කෙතේ ඔබ්බේහී
මරණං නියතං යථා මතාඃ
වරහන් ඇතුළේ වරු තුනයි

5. උඩු කයේන නිර්වස්ත්‍රං
දිව්‍යාංගනාං චුම්බනං ලලාටේ
මරණං නියතං යථා මතාඃ
වරහන් ඇතුළේ වරු තුනයි

6. රං කුම්භං භවං ජල මස්තකේන
නහී වේනං බොලොක්කේන
මරණං නියතං යථා මතාඃ
වරහන් ඇතුළේ වරු තුනයි

7. ඉදං මේ ඥාතී නං හෝතූ
සුකිතා හෝන්තු ඤාතයෝ
මරණං නියතං යථා මතාඃ
වරහන් ඇතුළේ වරු තුනයි

බා ගන්න –  අරේ මරේ හීන

උපුටා ගැනීම – දුරකථන නාමාවලිය

ප.ලි – හීන ශාත්‍රය යනු ඉතා පැරණි ඍෂිවරුන්ගෙන් පැවත එන්නකි.

%d bloggers like this: