සඳක් ලදිමි

ඇය සඳට උපමා කලෙමි.
මගේ සඳ ගැන වර්ණනා කලෙමි, කවි ලිව්වෙමි
සදේ ලප සැගවුවෙමි, එළිය පමණක් දුටුවෙමි.
පුරා හදක් පැතූ මට ලැබුනේ අමාවකක් පමනි.
මා හිත හදා ගත්තෙමි. දුක් වුනෙමි.

හිරු, සදු කැරකෙමින් දින ගෙවුනි.
තාරුකා ගැලපී දිනක් ලැබුනි.
මගේ ලෝකෙටත් සඳක් උදාවිය.
අලුත් සඳක් මා අසල විය.

ඔයා හරි හුරතල්… කැමතිද මගෙ හාවා වෙන්න…

කලින් උපමා කල සඳ මගේ නෙත් අසල විය.
උපමාව රූපයකයක් වී ඇත.

මන් හිතුවට වඩා සඳ ලස්සනයි… මාත් කැමතියි…

මම පුදුම වෙමි. සිහිනයක් යැයි කොනිත්තා ගත්තෙමි.
තාමත් ඇය මා අසලයි. මා පුදුම වෙමි.

ඇත්තටම! මට හරි පුදුමයි. හීනයක් වගේ..

මගේ සිතුවිලි ඇගේ වචන විය.

ප.ලි – පුරා හද ඇති රැයක් ලෙස දැනෙයි ජීවිතේ…

තොටියෙක්මි

පීනාගෙන යන්න ගඟට ඇයව,
මා පාරුවට නග්ගා ගත්තෙමි.
ඇයට ගගේ වගතුග කියා දුනිමි.
ජලයෙන් පෙණ පිඩු එන ලස්සන,
ගල්වල වැදී ජලයෙන් එන සිලි සිලි සද්දය,
හිටිගමන් උඩ පනින මාළු ගැන,
මැණ්ගිරි ඩිඟිකෝ කවි මෙන්ම
ජලයේ ගැඹුරු තැන් ගැනද ඇයට කියා දුනිමි.
ජලයේ සිටින නපුරු සතුන් ගැන කියා දුනිමි.
උන්ගෙන් බේරෙන්න කියා දුනිමි.
උන්ගෙන් බේරෙන ආකාරය දැන් මමත් නොදනිමි.
ඇයත් මමත් තාමත් ගගේ යමු.
පාරුවේ බොහෝ අය සමග දැන් හිතවත්ය.
මා ඇයව පාරුවට ගන්න අත දුන් කෙනා පමණි.
පාරුවේ තොටියා මමයැයි ඇය සිතනවාද මම නොදනිමි.

මම ඇයට පෙම් නොකළේමි.
ඇය මට පෙම් කල බව මා සිතා සිටියෙමි.
මම එය සිත සිතා කල් ගත කළෙමි.
මුකුත් නොකළෙමි.
ඇය මට පෙම් කර නැත.
හිතට දුකක් නැතිමුත් එය සිත සිතා කල් ගත කරමි.
මුකුත් නොකරමි.
නොදැනුවත්වම මම ඇයට පෙම් කර ඇත.

.ලිගඟත් කවදා හරි මුහුදට වැටෙනවා ඇත. එතකම් යමි.

පුදුම රස්නයක්

dark_sky-1831

රත්වෙලා කරකුට්ටන් වුනු
තනිකඩ මගේ පොළොවට
අහසම කළු කරලා, ගොරවලා,
නුඹෙන් ආපු මහා මේඝයෙන්වත්
ඇති වෙන්න තෙමිලා
මගේ තිබබ මීහරක් ගිණියම
මැකෙයි කියලා මන් හිතුවෙ.
නුඹ දෙන්නෙත්
කඳුලු බින්දු දෙක තුනක් පමණක්නම්
තියාගන්න ඒකත්
මට දැන් ඕන කරන්නෙ
මාව සීතල කරන්න පුලුවන්
හිම කන්දක්, අයිස් වැස්සක්…

ප.ලි – ඒත් ස්තුතියි ඔබට. මට දුන්නු වැහි බිදු දෙක තුනට.

අඹ මලුත් පිපී දස අත

මල්සරාට හී විදින්න
සතර අතේ පිපි අඹ මල්…
පහුගිය කල් වලට වඩා
මේ කාලේ පුදුම වෙනස්…
එහෙනම් සැරසෙව්!
ඊළග වසන්ත කාලෙට
තව දෙතුන් දොහොකින්
කා හැකි කාට කාටත්!
ඔව් ඔව් අමු අඹ
කන කෙනාගෙ මූණ ඇඹුල්වෙන
බලන් ඉන්න උන්ගෙ කටට කෙළ උනන

.ලිමේ සැරේවත් කමුද අඹ?

දුරකථන භාවිතය

මගෙ වැඩේ කතා කරනවා
පපුව ඩිග් ඩිග් ගානවා
එයාට ඕනෙ නෑ උස්සන්න
වෙන එවුන් මට කතා කරනවා
ලස්සනම සින්දුව දාගත්තට
කැමති නෑ හැම තිස්සෙම අහන්න
මට ඕනෙ පාඩුවෙ ඉන්න
මට උවමනාවක් නෑ උන්ට කතා කරන්න
උවමනා නම් හේතුව කියලා පයිංඩයක් දාන්න
මට හිතුනොත් පිළිතුරු දෙන්න
නැත්නම් උඩින්ම මකලා ඒකටත් නිකන් ඉන්න
හිතන්නෙත් මගේ විදිහට
ඉතින් හොදයි නේද ගැළපීම

. ලිවෙලාවකට හිතෙනවා විසික්කරලාම දාන්න. එයිට කලින් අන්තිම පාරටවත් කතා කරන්න.

හිතේ උන් දෙවියන්ට

තෙද වරන් පස්වාන් දහසකට දිව්‍ය ඥාන වරන් ලැබූ මුලු ලංකා ද්වීපය සිසාරා කීර්ති ධාරා පතුරුවා හරින්නට, නා ලොවින් අසුර ලොවට වරම් ලබාගෙන දස දහසක් මාරයෝ පරාජය කොට නාග මානවිකාවන් පිරිවාරාගෙන කාළම්බතිත්ත පුරයේ අදටත් යහතින්ම වැඩ සිටින්නාවූ ඔබ දේවියන් වහන්සේට කියා සිටින කන්නලව්ව දිවැස් කරුණාවට ගෙන මොවුන්ගේ සකල අභිමතාර්ථයන් ඉෂ්ට වෙන්ඩ වරන් දී වදාරණ සේක්වා.

තවද ඔබ දේවියන් වහන්සේ ගුරුකුලයේ තපස් රක්නා තැනට මා පැමිණ, සොයුරිය, මට ශිල්පය දෙවයි සැලකළ තැනේදී, ඕකත් මට අපූරුවක්දැයි කියා සිනා පහළ කොට, අනං මනං නොකියන ලෙස පොරොන්දු කරවා, පසුදා අළුයම පැමිණ, උක් මුං පිඟානකින් කොටසක් වළදා ඉතිරිය ගල් වෙන්ට වරම් දී, පල්ලෙ මළුවෙන් පල්ලෙ වීදියටත්, පල්ලෙ විදියෙන් දික්වීදියටත්, උඩ වීදියෙන් උඩ මළුවටත් වැඩ, සගය එසේ නම් අසව්, මම තට දැනුම ලබා දෙමි කියා, වමතින් පුස්කොළ පොතත් දකුණතින් පන්හිදත් ගෙන, ඔබ දේවියන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිච්ච මල් වැටෙන්නා සේ දැනුම ලබා දුන් සත්‍යානුභාවයෙන්ද, එම අවස්ථාවේදී සියලු භූත පිසාචයන් පලා යද්දී, අවස්ථාව ඇතත් පොරොන්දු වූ පරිදි නුඹ දේවියගේ කුමරි බඹසර ආරක්ෂා කල සත්‍යාවාදී බව සැබෑ වී නම්, මේ අතුරයා පිළිබද සිතක් පහළ කරගන්නවැයි, පූජා භාණ්ඩ භාර ගන්නවැයි, ඔබ දේවියන් වහන්සේගේ වන්නාවූ ග්‍රහදෝස, අනවින, ඇස්වහ කටවහාදී දෝසයන්ද තුන්දොස් කිපීමෙන් වැද පැමිණි දෝසයන්ද මෙකී නොකී සකල දෝසාන්ධකාරයන්ද දූරින්භූත කොට උඩින් පායන අව්වත්, වටින් හමනා සුළඟත් හැර අමුතු උවන්දිරමක් වැද්ද සිද්ධ නොදී ආරක්ෂා කර දෙනවැයි, දැන වැරදි නොදැන වැරදි කෝටියක් වැරදි වලට සමාවෙනවැයි, (සියලු දෙවියෝ) පිනට පිහිට වෙනවැයි, පිං ගන්නවැයි ඔබ කීර්ති පස්වාන්දහසක් ආවඩා ආයු බෝ වේවා! ආයු බෝ වේවා! ආයු බෝ වේවා!

ප.ලි – නැවත වරක් වරදක් වූවානම් සමා වෙන සේක්වා…

මෙහෙම හරිද මන්දා…

අනේ මන්දා අමන්දා ඒ ඔයාමද මන්දා.
දාපු තෝඩු ලොකු වැඩි හින්දා
ඒ ඔයා නෙමේ කියලා මට හිතුනාද මන්දා.
ඔයාගෙ හරහට එකෙක් පද්ද පද්දා නිදි කිරපු හන්දා,
ඔය මූණ හරියට බලාගන්න බැරිවුනේ
මයෙ කරුමෙටද මන්දා.
සොඳුරු අතීතයෙ හිත තිබුනට බන්දා
තේරුමක් නෑ කිව්වම මගේ හිත බින්දා.
ඒත් හුග කාලයක් තිබ්බා හිත රන්දා.
නවතින්ට යද්දි ඔයාට එහා පැත්ත හිස් වුන හන්දා,
ඔයා දිහා බලන් හිටපු මට ඔරවපු විදිහ හන්දා
මට ආයෙ හිතුනෙ අයියෝ ඒ ඔයාමද මන්දා.
ගොඩක් දුර යන්න තිබ්බාට
ඔයාට කලින් මං බැස්ස එක අපරාදෙද මන්දා.

ප.ලි – අයියෝ! ඔයාට එහා පැත්ත ඉඩ තාම තියෙනවාද මන්දා.

Previous Older Entries

%d bloggers like this: