යහන්ගල හා උඩුදුම්බර හිරකූඩුව

මෙය එක අතකට අපේ වීරකමක් ලෙස අපි සිතුවත් අපේ ගොන් කම් යැයි සිතන්නට ඔබට අයිතියක් ඇත. කලින් ලිපි වගේම මෙය ලියන්නේත් ඔබට යම් උපදෙසක් අවවාදයක් දෙන්නටය. නමුත් මෙයින් අපි පාඩමක් ඉගෙනගත්තේද, ඉදිරියට අපි වෙනස් වේද යන්න මට තවමත් ගැටලුවකි. පොලිස්සියෙන් උසස් අධ්‍යාපන සිසුන්ට ලැබුණු අමනුෂ්‍ය පර්හාරයට සියල්ල බණිමින් සිටින අතරතුර උඩුදුම්බර පොළිස්සියේ මහත්තුරු අපිට දුන් සැලකිලි පැවසීමට සිදුවීම අද කාලයට නොගැලපෙන නමුත් තවත් කල් ගියහොත් මට මෙය ලිවීමට නොහැකිවන බැවින් මෙය ලියා තබමි.

යහන්ගල ඇවිදින්නන්ගේ පර්සිද්ධ තැනකි. කලකට පසු ලැබුණ දිගු නිවාඩුව නිසා මමම අමාරුවෙන් ගමන ලැහැස්ති කළෙමි. සිකුරාදා දවසේ පණිවිඩයෙන් සොයාගත හැකි වූයේ තව තිදෙනෙක් පමණි. සෙනසුරාදා එකෙක් පැවසුවේ යහන්ගල අලි සිටින බවය. තමාට යෑමට නොහැකි නිසා එසේ කීම තරයේ හෙළා දකිමි. වෙනදාට මහරගමින් සියලු බඩු අරන් යන අපි එදා බඩු ගන්න සිටියේ මහනුවරිනි. අධික වර්ෂාව මධ්‍යයේ භූමිතෙල් බෝතලයක් ගැනීමට නුවර සියලුම ඉන්ධනහල් වෙත තෙමෙමින් ගියත් ලැබුණ සෙතක් නොවීය. බස් පේන දුරකට යාමට රුපියල් 150ක් ගත් තීර්විල් රියදුරාට හෙණ ඉල්ලමින් සිටි අපට කළුගල බස්එක වැරදුණි.

යහන්ගලට යාමට පර්දාන මාර්ග දෙකක් තැනින් තැන සටහන් කර තිබුණි. හසලක, උඩවෙලින් හැරී මැදකැලේ ගම උඩින් යාමත් කළුගල ගමෙන් යාමත් පැහැදිලිව සදහන් කර තිබුණි. නමුත් හොදින් නිරීක්ෂණය කල මගේ නෙත් දෙකට 18 වංගුවට කිළින් ඇති පාර දිගේ යහන්ගල පාමුලටම යාහැකි බව දැකගත හැකිවිය. පාමුලට ගියපසු පතන්බිමට ඇතුළුවීමට කොහෙන්හෝ මාර්ගයක් සොයාගත හැකිවිය යුතු බවත්, එසේ නොවුවත් කළුගලට ඉතා ආසන්න නිසා කළුගලට ගොස් හෝ එය නැගිය හැකිබවත් මට ආත්මවිශ්වාසයක් විය.

බැසියයුතු හංදිය 35 බව දැනගත්තේ කොන්දොස්තරගෙනි. බහිනකොටත් පොද වැස්සක් වැටුණ නිසා 18 වංගුව හරිහමන් බලාගැනීමට නොහැකි විය. භූමිතෙල් වලට මෙහෙ ජනයා කියන්නේ ලාම්පුතෙල් කියාය. පහළට ඇති පාරේ තෙමෙමින් කූඩැල්ලන් කමින් ගර්මසේවකගේ බෝඩ්එකත් පහුකර කිමි 4ක් පමණ අපි පහළට ගියෙමු. ඇල ගාවින් කෑමකා ගම්මු දෙතුන් දෙනෙක්ගෙන් යහන්ගලට යාමට පාර අසා පුරුදු පරිදි අපේ පාරේ ගමනේ ගියෙමු. කුඹුරු යායක් තිබූ අතර එයින් එගොඩ වුවහොත් ඉතා ඉක්මනින් යා හැකි නිසා අපි පුරුදු කර්මයේන හොර පාරේ ගියෙමු. වර්ෂාව නිසා හසලක ඔය තරණය පහසු නොවන බැවින් ගමන්මලු ටික නොතෙමෙන පරිදි තමා මර්ගයක් සෙවීමට නැවත ගම පැත්තට ගියෙමු. අතරමග දුටු තැනක් කූඩාරම් ගැසීමට යෝජනා කර තරමක් දුර ගිය අපිට නිවසකින් කීවේ මෙහෙන් යහන්ගලට යාමට නොහැකි බවයි. ඉතින් අපි යෝජනා කල තැනට පැමිණ කූඩාරම ගැසීමට ඔක්කොම සකස්කළ පසු ගම්මු 7 8 දෙනෙක් පැමිණියහ. හොදින් කතා කල ඔවුන් සැක සහිත බැවින් හැදුනුම්පත් පරීක්ෂා කර මෙතන අලියා එන තැනක්, කූඩැල්ලො ඉන්නවා, රූට වහිනවා අකාරයෙන් කියා අපිට ගමේ තැනකට එකමෙන් කියා සිටියෝය.

ඉතින් අපි සියල්ල නැවත අඩුක්කර ඔවුන් සමග ගමේ බෝගහක් ඇති තැනකට ගියෙමු. එතන මඩුවේ ඉන්නට කීවත් වවුල් වසුරු නිසා එය පර්තික්ෂේප කර කූඩාරම ඇටවුවෙමු. එකෙක් ගමන්මළුවල ඇති සියල්ල එළියට දමා රූට කෑමට ඇති දේවල් ගත්තේය. භූමිතෙල් ලිප සකස්කර තේකක් සාදීමට වතුර තබා අපි පාන් කෑවෙමු. තේක සෑදුවා පමණි නැවත ගම්මුන් පැමිණියේ පොලිස්සියේ අයවලුන් සමගයි. නැවතත් හැදුන්ම්පත් පරීක්ෂා කර ඔවුන් පර්කාශකර සිටියේ අපිට පොලිස් ස්ථානයට යාමට ලොකු සර් පර්කාශකළ බවයි. අපි ඉතින් ඔවුන්ට අවනතව සියල්ල නැවත අඩුක්කර පොලිස් වාහනයෙන් පොලිස් ස්ථානයටම ගියෝය. හවස් වරුවේම සිට සියල්ලන්ගෙන්ම බැණුම් අසා සිටි අපට අපේ ගොන්කම් ගැන කිය කියා නැවතත් OIC මහත්තයා බැන්නේය. ගමකට ඇතුල්වන්නේනම් පොලීසිය දැනුවත් කළයුතු බවත් ගර්මසේවක මහතා දැනුවත් කල යුතු බවත් මෙය කදු නැගීමට සුදුසු නොවන කාලයක් බවත් සැරින් සැරේ පර්කාශ කළෝය. අපි වරද පිළිගත්තෙමු. අපි පිළිබද 119 වලින් පැමිණිල්ලක් ලැබී ඇති නිසා පදිංචි පොලිස් ස්ථාන වලින් දැනුන්දීම් එනතුරු පොලිස්සියේ රුදී සිටීමට සිදුවන බව පැවසුවෝය. “පොලිස්සියෙ අදුනන කෙනෙක් ඉන්නවා නම් එළියට දාන්න පුළුවන්. නැත්නම් මේ පැත්තෙ කාව හරි අදුනන කෙනෙක් ඔ්නෙ ඇප දෙන්න” කීවත් අපි කීවෙ අපි දන්න එබදු අය නැති බවයි. අර කූඩාරමේ කූඩැල්ලො කකා තෙමි තෙමි ඉන්නවාට වඩා දැන් හොදයිනෙ. ඇටෑච් බාත්රූම් එකක් එක්ක කාමරයක් තියෙනවා ඉන්න. යැයි පැවසූ විට ඒ පැවසුවේ හිරකූඩුව බව මට සිතුණේම නැත.

“119 පැමිණිල්ල නැත්නම් උඹලාව යවන්න තිබුණා. අපිට දෙන වදයක් උඹලා” කියා පොලිස් නිලධාරීන් පිටු 3ක් පුරාවට අපේ කටඋත්තර සටහන් කළෝය. අපේ බඩු බාහිර ඒ එකට දැමීමටත් ඔවුන්ට කට්ටක් කන්නට සිදු වුණේ පර්ස්වල ඇත් දේවල් වැඩිවූ නිසයි. අවසානයේ වැසිකිළියට යන්නේ කොහේදැයි ඇසූ අපේ අයෙකුට පොලිස් නිලධාරියෙක් “දැන් ඉතින් මේක පාවිච්චි කරන්න පුළුවන්” කියා පෙන්නුවේ හිරකූඩුවයි. එය විහිළුවක් නොවන බව තේරීමට වැඩි වෙලාවක් නොවීය. “ඔයාලා ගාව බෙල්ට් නෑනෙ. බෙල්ලෙ වැල දාගන්න එපා. මෙහෙ හීතලයි. ඔයගොල්ලො වරදක් කරලා නැති නිසා පෙරවන මොනා හරි බෑග්වල තියෙනවා නම් අරං පෙරව ගන්න” කියා ඔවුන් අපිට උපදෙසු දුන්නෝය. ජීවිතේ පර්ථම වතාවට අපි හිරකූඩුවක් තුළ නිදාගත්තෙමු. වැසිකිළියෙන් ආ දුගදත් එක එල්ලේම මුහුණට වැටෙන ලයිට් එළියත්, වරින්වර පොලිස් රාජකාරී නිසා එන ශබ්දයත් අපේ නිද්දට බාධා කළහ. බේබදු රියදුරෙක්ගේ බොරු අඩවැඩියාවට පොලිස්සියේ එවුන් දෙක තුනක් දෙන්නේ නැත්තේ ඇයිද කියා මන් පුදුම වුණෙමි. ඒකාට මට ගිහින් අනින්න හිතෙන තරමට කන්කෙදිරි ගාන්නෙක් විය. අපේ සිනා කථාවන් නිසා කිහිප වරක්ම “උඹලාට නින්ද යන්නෙ නැද්ද” කියා අපිට නම් විහිළුවට බැණ වැදුනෝය.

පසුදා උදේම OIC මහතා කතා කර “මේ ගොල්ලොන්ගෙ පොලිස්සි වලින් දැනුම්දීම් එනකන් ඉන්න බෑනෙ. කෝකටත් ඇගිලි සලකුණු ගන්න. එක්කෙනෙක්ට ඇප දීලා අනිත් අයට ඒයාට කියලා ඇප දෙන්න.” කියා ඔහු පැවසූහ. අප අත දුරකථන නොමැති වීමත් පොලීසියෙන් ගෙදරට ගියාම ගෙවල්වලින් කලබල වේ යැයි බිය හැර කිසිවත් අප තුළ නොවීය. නැවත කොළ 3ක කට උත්තරයක් පිරවූ ඔවුන් අපිට පරිප්පු, පොල් සම්බෝල සමග උදේ ආහාරය ලබා දුන්නහ. එය නම් ඉතාමත් රසවත් බව සදහන් කල යුතුමය. ඔවුන් ආහාරයට ගන්නේත් පොලිස්සියේම පිසන එම ආහාරයි. පසුව අපෙන් ඇගිලි සලකුණු ලබා ගත්තහ. මා සිතන් සිටියේ ඇගිල්ලක දෙකක සලකුණු ගන්නා බවයි. එය බරපතල කාරණයක් බව පෙනුණේ කරන්න ගිය බවයි. කතා බහ අතරතුරේදී ඇගිලි සලකුණු කොළ 3, 4ක්ම වැරදීම නිසා මුල සිටන් ඒවා ගැනීමට සිදු විය. පසුව “කැදවූ වහාම තෙල්දෙණිය මහේස්තර්ත් ඉදිරිපිටට හෝ උඩුදුම්බර පොලීසියට වාර්තා කළයුතුය” ලෙසින් ශරීර ඇප ගෙන අපි පිටත් වීමට කලින් OIC මහතාව හමුවීමට ගියෙමු. “උඹලාට ඔහෙ යන්නම ඔ්නෙද? ගෙවල්වල යන්න බැරි නම් කියපන් මෙහෙ ඉඩමක් කොටන්න සෙට් කරන්න ඔය කොළොස්ටර්රෝල් කැපෙන්න. යන්නම ඔ්නෙ නම් උඩවෙල පැත්තෙන් යන්න හසලක පොලිස්සියට ගිහින් කියලා. ඔහු උපදෙස් දුන්නේ එසේයි. අකමැත්තකින් වුවවත් හසලක පොලීසියට ගිය අපි සියලු කාරණා පවසා අවසර හා උපදෙස් වාචිකව ගෙන පිටත් වුණෙමු. උඩුවෙලදී මැදකැලේ ගැමියෙක්ව හදුන්වා දුන්නේ අපි පාර ඇසූ කෙනෙකි. “බස් එකක් තියෙනවා උඩත්තවට යන්න” කියූ නිසා අපි බසයෙන්ම උඩත්තවට ගියෙමු. මගදී “මගෙ කොන්ද රිදෙනවා. ළමයිනේ පලයන්කො මේ මහත්තුරු එක්ක.” කියා ඔහු අපෙන් සමු ගත්තහ. අපි පාසල් නිම වී යන ඔවුන් සමග එක් විය.

කතාව දිග වැඩිවන බැවින් දැන් ඉදිරිය සාරාංශ කරමි. මැදකැලේ පාසැල් ළමයින් පාසලේ සිට ගෙදරට යනකොට 4 පහුවන බව සැලකළ පසුව අපිට යායුතු දුර සිතාගත හැකිවිය. ඔවුන් අපිට හදුන්වාදුන් රසවත් පළතුර වූයේ දමුණයි. බඩපිරෙන තුරු ඔවුන් සමග පේර කෑවෝය. අම්බලමත් තියෙනවා කීයා කීප සැරයක් ගම්මුන් කරදර කළත් අපි පුරුදු කූඩාරමේ තෙමෙමින් කල්ගත කළෙමු. නමුත් හොදට කෑවෙමු. පසුදා උදයේත් අධික වර්ෂාව මැද අපි කූඩාරම් අකුලගෙන පිටත් වුණේ ගම්මුන්ගේ අවවාද මධ්‍යයේ. අවුරුදු දෙතුන්සීයක් පරනැති මා දුටු දුෂ්කරම ගම්මානය අපේ සිත්තුළ ජනිත කළේ දිවිය ලෝකයකි. වර්ෂාවට තෙමෙමින් කිරිදි කැලය පීරමින් අපි පතනට ලගා විය. වර්ෂාව නිසා මීදුම රුදී අලියෙක් ඇගේ වැදුණත් පෙනෙන්නේ නැති තත්වයක් විය. එකෙක් අමාරුවෙන් GPS වලින් පාර සොයා ගත්තේය. මගදී පේර හා දමුණ බඩ පිරෙන තෙක් කෑවේ අවාරයේ යෑමේ ආදීනව කියෙමිනි.

මැරිච්ච කොස්ගහ ගාවින් පහළට කළුගලට යන්න පුළුවන් කියා පොඩි එකෙක් කයා තිබුණේය. කළුගල ගම දර්ශනය වීමත් සමග අපි එම පාරට සමාන්තරව නැවතත් කිරිදි හෙවත් මානා කැලය කඩාගෙන පහළට ගියෙමු. මුලු ගමනටම මාතෘකාව වූ යහන්ගල අපි එක වතාවක්වත් හරිහැටි නොදැක්කහ. නමුත් ලබාගත් අත්දැකීම් නම් අපමණය.

ප.ලි – අපි පොලිසියෙන් පිටත් වූ පස් ගෙවල් වලට පොලීසි වලින් පණිවිඩ යාමා තිබුණි. ගෙවල් වලින් තමන් අදුනන පොලිස් නිලධාරීන් ලවා උඩුදුම්බර පොලීසියට කතා කර තිබුණි. මෙතරන් පොලිස් නිලධාරින් හිදිනගෙනත් මුන් නිකන්වත් කියන්නෙ නැතුව ආතල් එකේ පොලිස් කූඩුවෙ හිටියා, මුන් නිසා අපි නිකන් කට්ටක් කෑවා ආකාරයේ උඩුදුම්බර පොලීසිය අපිට දොස් පවරනවා ඇත.

බදුළු කෑ හාගල

කතරගම පාද යාත්‍රාව අහෝසි වීමෙන් පසු පාදයාත්‍රාවට යාමට සිටියන් සමග කොහේ හෝ කන්දයක් නගින්න යෑමට සිතා ගත්තෙමු. මා යන සියලු චාරිකා සටහන් කිරීම නොකෙරෙන නමුත් ආපදා සිදු වූ අවස්ථාවලදී අනාගතයේ ගවේෂයකයන් ගැන සිතා පමණක් මෙසේ සටහන් කරමි. මෙම චාරිකාව දුම්බර ගොස් මාඋස්සා ගා ගැනීමට සමාන වන නමුත් ඇතැම් විට මරණයක් දක්වා මෙය ප්‍රබල වන්නට තිබුණි.

මහඑළිය සානුවෙන් පෝෂණය වන බෙලිහුල් ඔය නිම්නයේ වන හාවාගල කන්ද අපේ අරමුණ වී තිබුණි. වැරදි උච්චාරණයක් නිසා හාවාගල යැයි වරදවා කියූ කන්දේ හරි නම හාගල විය. කලින් චාරිකාවලට සම්බන්ධ වූ විශ්‍යවිද්‍යාලයේ යාළුවන් දෙදෙනෙකුත් බාලදක්ෂයන් තිදෙනෙකුත් මෙවර චාරිකාවට සහභාගීවිය. මහරගමින් පාන්දර 5 හමාරට විතර හතර දෙනෙක් පිටත් වුණ අපිට පුවක්පිටියෙන් හා රත්නපුරයෙන් අනෙක් දෙදෙනා සම්බන්ධ විය. වැස්ස නම් නෑ. පට්ට හුළංලු. සබරගමුවෙ කැම්පස් එකත් වහලා හුළං නිසා එකෙක් කීහ. උදේ 9 හමාරට පසුව බෙලිහුල් ඔයෙන් බැසගත් අපි උදෙන්ම කා කඩයෙන් හාගලට පාර අසාගත්තෙමු. ඉදිරියෙන් වන පාසලක් තෙක් පයින් හෝ බසයෙන් ගොස්… කියා පාරක් කිව්වේය. ඔය ඉස්සරහින් යන්න තියෙන බස් එක 10.10 යනවා මුදලාලි කීවේය. බසයට නැගගත්තත් තවමත් උදේ 10 පමණක් වූ බැවිනුත් කන්ද පාමුලට ඇත්තේ කිමි 4ක් පමණක් වුණ නිසත් අවසානයේ පයින් යාමට එකග වුණි. පාරවල් දිගේ පයින් යන්න බෑ යකෝ කියා තම විරුද්ධත්වය මගේ උගත් මිත්‍රයන් දෙදෙනා කියා සිටියත් අපි ඒවා කනකට නොගත්තහ.

අපි පයින් බඩගාගෙන යන විට බස් රථය අපි පසු කර ගියහ. පාරේ හම්බවෙන හැමකෙග්ගෙන්ම හාගලට පාර ඇසීම අපි පටන් ගත්හ. තව දුරක් ගිය පසු භූමිතෙල් ගත්තේ නැති බව සිහි විය. පාරේ යන දෙතුන් දෙනෙක් කිව්වේ භූමිතෙල් බෙලිහුල්ඔය හන්දියේ හැර තිබෙන්නේ කඩ කිහිපයක පමණක් බවය. පහළ බැසීම කරදයක් බවත් භූමිතෙල් නැතහොත් වියළි දර ඕනෑ තරම් බැවින් එම විකල්වය ගත හැකි බව දක්ෂයෙක් පැවසීය. කෙසේ හෝ පොඩි කඩකින් භූමිතෙල් කාලක් ගැනීමට හැකිවිය. මේ ඉස්සරහින් තියෙන කන්ද මොකක්ද? නමක් නම් දන්නෙ නෑ. ඒකට යන්නෙ කොහොමද? එහෙම යන්න පාරක් නෑ. කොච්චර දුරද? මුදුනට කිමි 7ක් විතර තියෙනවා. උඩ තේ වත්තකට වැටෙනවා. හෝටන්තැන්නට යන්න පුළුවන්…. ආදි කතා මාත් එක්ක ගිය දක්ෂයා අසා ගත්තේය. භූමිතෙල් අරගත් අපි කදු දෙක සන්සන්දනය කළහ. හාගල අවිස්සාවෙල්ලේ බලනගලටත් වඩා කුඩා කන්දක් වුණ අතර අනෙක සිරීපාදය තරම් ගවේෂණාත්මක කන්දක් විය. හාගල මානා පදුරු වලින් පමණක් හෙබි නිරුවත් කන්දක් වූ අතර අනෙක පයිනස් ඇති හරිත වර්ණ කන්දක් විය. තීරණය අලුත් කන්දට යාමයි. මගදිගට හමුවන කඩවලින් භූමිතෙල් ගනිමින් හා තක්කාලි කමින් අපි අලුත් කන්ද ඇති දෙසට පිටත් විය. සෙලින්කෝ ප්‍රජෙක්ට් ලෙස හාගලට ඇති පාර නොදැක්කා සේ ගිය අපිට පාරෙ යන්න බෑ මේ කුඹුර මැද්දෙන් යන් ලෙස දක්ෂයා කිව්වද දෙසැරයක්ම ඔහුට ඉඩදී තිබූ බැවින් අපි මහපාරේ යන්නම තීරණය කළෙමු. පසුව කන්ද එක පැත්තකටත් අපි එකපැත්තටකත් යන බව තේරුණෙන් මහපාර පසෙක දමා අපි කුඹුරකට පල්ලම් බැස්සෙමු. කුඹුරේ අසන්නයේ වු දොළ පාරකින් නාගත් අපි කුඹුර පසු කර එහා පැත්තේ ගමට ගොඩ වුණි.

ඔන්න ඔය පොඩි කනත්ත ගාවින් උඩට අඩිපාරක් ඇති කීවේ ගැමියෙකි. අඩිපාර පටන් ගත්වනම ගෙඩි පිරි වෙරළු ගසකි. සියල්ලන්ට ඇතිවන්න ගෙඩි කැඩීමට නටන්නා ලැහැස්ති වූ නමුත් ගසේ සිටි වද බිදන කූඹි නිසා මා එය වැළැක්කුවෙමි. පාත අතුවලින් ඇති පමණ ගෙඩි කඩාගත් අපි පිටත් විය. මහකැලය පසු කර අපි අමාරුවෙන් ගොඩ වුණේ පයිනස් කැලයටයි. මහකැලයේ කටු පදුරු වලින් දුකට පත්ව සිටි අපිට යටි රෝපණයක් නැති පයිනස් කැලය පරනිම්මිත වසවර්තිය විය. නමුත් පැයක් යන්ට මත්තෙන් එය අවීචි මහණරකාදිය පමණක් විය. කාලකණ්ණි සුද්දන්ගේ වගාවක් වූ පයිනස් ගස් යට ඇති නොදිරන පත්‍ර හේතුවෙන් තබන අඩියක් අඩියක් පාසා ලිස්සන්න විය. අඩි 15ක් පමණ පහළට ලිස්සා වැටුණ දක්ෂයා නිසා කණ්ඩායමේම ධෛර්‍ය හීන විය. පෝලිමක් ගසා කොළ ඉවත් කරමින් අඩියෙන් අඩිය අපි ගමන් කළෙමු. කොළ වලට යටින් ඇති නිසරු පොළව පවා වීදුරු කටු තරම් කෘර විය. වරක් නැවෙතෙමින් නිදාගනිමින්ද තවත් වරක් පහළට ගල් විසි කර වැඩිම දුරක් යන ගල් දිහා බලමින්ද පයිනස් ගෙඩි වලින් ගහ ගනිමින්ද කල් යැවුවෝය. මන් නම් කියන්නෙ අපි තාමත් පරක්කු නෑ බහුතරයකගේ මුවේ වූයේ එයයි. පයිනස් කැලය ඉවර වන විට හවස 4.30 පමණ විය. හාගල කන්දේ වතුර ඇතැයි කියූ බැවින් අපි ලග වූයේ උගත් මිත්‍රයෙක් ගෙනා ආ ලීටර 4 වතුර බෝතලයක් හා බීම බෝතල් 2ක් පමණි. කන්දේ බෑවුම නිසා රෑවෙන්න මත්තෙන් වතුර හා ඉන්න හිටින්න තැනක් සොයා ගත යුතුය. උගත් මිත්‍රයන් දෙදෙනාව තබා අනෙක් හතර දෙනා ඒ සදහා පිටත් විය. හතර දෙනාම කන්ද මුදුනේ හමුවූයේ මුදුන හැර කිසිම තැන්නක් සොයා ගත නොහැකිවූ බැවිනි. ඇවිදගන්න බැරි තරම් වේගයෙන් ආ සුළං නිසා එය ඇතැර අපේ තීරණය හැකි තරම් තැන්නක් හමුවනකන් පල්ලම් බැසීමයි. එවිටත් හවස 5 හමාරත් අසන්න වූ බැවින් අපි ඉක්මනින් පල්ලම් බැස්සහ.

දැනටමත් හොදටම විජලනය වීම නිසාත් හෙම්බත් වී සිටි අපි පයිනස් කැලයේ ලිස්සමින් බසින විට තවත් හෙම්බත් විය. වරෙක් පය ලිස්සීම නිසා අඩි 10ක් පමණ වේගයෙන් පහළට ලිස්සා ආ මා අත තබා බේරා නොගන්න ඔළුව කුඩුපට්ටම් වන්නට තිබුණි. එයින් නොනැවතුණු මා තවත් අඩි 15ක් පමණ ලිස්සා වැටුණි. වේදනාකාරී වුවත් පයිනස් වල ලිස්සීම එදා විල්ශෙයාර් රක්ෂිතයේ කළාක් මෙන් විනෝද ජනක විය. මාත් ආසයි ලිස්සන්න කී වෙදා තිබූ පළවෙනි අඩියෙන්ම මා සිටි තැනට අඩි 20ක් පමණ ලිස්සා ආවේය. අපි ලිස්සනවා දැක අනෙකුන්ගේ ධෛර්‍ය තවත් හීන කළහ. අනේ තවත් යන්න බෑ බන් උගත් මිත්‍රයන් දෙදෙනාත් නටන්නත් තරයේ කියා සිටියෝය. වැටි වැටී හෝ වතුර බෝතලය අතේ ගෙන ඒම පිළිබදව අපි නටන්නාට ස්තූති විය යුතුය. දැන් හවස 6.30පමණ වුණ නිසාත් පල්ලම් බැසීමෙන් තැන්නක් සොයා ගැනීම භයානක නිසාත් පයිනස් ගස් බදාගෙන බෑවුමේ නිදා ගන්න තීරණය කළෙමු. තරමක් ලගින් ඇති ගස් කිහිපයක එක ගහකට දෙදෙනා වන පරිදි අපහසුවෙන් රාත්‍රි ආහාර ගෙන නිදන්න පටන් ගත්හ. ඈත කැලෑ ගිනි තබනවා දැක බයට පත් වීමත්, පෙම්වතියට GPS අගයන් කීමත් වැනි විනෝද ජනක අවස්ථා කිහිපයක් පසු විය. කදු මුදුනේ සීතල සමග හමා එන දැඩි හුළගත් බෑවුමේ කොන්ද තබා ගෙන සිරස් අතට නිදන්න වීමත් නිසා මට තනියම පල්ලම් බහින්න සිතුණේ වරක් හෝ දෙවරක් නොවේ. යන්න බැරි එවුන්ට බම්බුගහගන්න කියා බහින්න තරම් තරහක් සිතේ ඇතිවුණි. කූඩාරම් රහිතව මේ කල කදවුරුකරනය මට කවදාවත් අමතක නොවනු ඇත.

පාන්දර තෙක් නිදාගන්නවා යැයි කියන බොරුව කල අපි පාන්දරම පල්ලම් බැස්සෙමු. පයිනස් වවපු එවුන්ට හතර වරිගයටම බණිමින් දැඩි බෑවුමක් ඔස්සේ අපි දේශීය වනාන්තරයකට බැසීමට තීරණය කළෙමු. අනේ අපිට බෑ බන් ඔහෙ යන්න දුර්වලයන් කීවත් අපි දැඩි තීරණයකින් යුක්තව පල්ලම් බැස්සෙමු. මෙතෙක් වතුර උගුරු දෙක තුනක් පමණක් ලබා සිටි අපිට නිම්නයට ඇතුළත් වෙත්ම වතුර දක්නට ලැබුණේය. එයින් ප්‍රමෝදයට පත් අපි ඇති තරම් වතුර බී ගෙන ආ සියලු කෑම උයන්න විය. කිරි තේ, බිස්කට්, හකුරු, පුච්චපු අල සියල්ල කෑමෙන් පසු දක්ෂයා වෙරළු තම්බා මිරිස් සීනි දමා දැටත් කටට කෙළ උනන කෑමක් සැදීය. වෛද්‍ය උපදෙස් මත වෙදා හැර හැමකෙක්ම වෙරළු කා ප්‍රීතියෙන් ඇල පාර දිගේ ගමට පල්ලම් බැස්සහ. මේ ඇල අසල කොළ හා රතු පාටින් වූ ඇටඹ ලෙස අනුමාන කල කුඩා අඹ වර්ගයක්ද අපි කෑ නමුත් ඇඹුල් ගතිය නිසා අතැර දමන ලදී.

ගමට බැසගත් අපිට මුලින්ම වුවමනා වුණේ හොදට නා ගැනීමටයි. එයට පාන්තුඩාව ලෙස කුඹුරෙන් එහා පැත්තේ වූ අපි ආ බස් පාරේ වුණ තැනකට යන්න තීරණය කළෙමු. සෙලින්කෝ ප්‍රජෙක්ට් ඇති පාර අසලට පැමිණි අපි දවල් කැම සාදා ගත හැකි කඩයක් සොයන්නත් අනෙකුන් නාන්නත් කතා වීය. මාත් උගත් මිත්‍රයෙකුත් ආහාර සදහා පිටත් විය. උයන්න නම් ඉතින් වෙලා යනවා. පුතාලා දෙන්නට ඕනෙ නම් කෑම ටිකක් දෙන්න පුළුවන්… කඩේ වූ නැන්දා කෙනෙක් කීය. අනේ එපා කෑ අපි කඩයෙන් බනිස් හා විස්කෝතු ගෙන යද්දී එයට කෙසෙල් ගෙඩි 5ක් නොමිලයේ දීමට තරම් ඒ ගැමියන් හිතවත් විය. ගෙඩි 5ක් 6ට බෙදන්න බෑනෙ බන් කී අපි දෙදෙනා ගෙඩි 2ක් කා ඉතිරිය ගෙන ආවෝය. පානතුඩාවට යන පාරේ කතා කරමින් පල්ලම් බැසි අපිට කතාව නිසාම පාර සොයා ගන්නට නොහැකි විය. ගෙදරකින් පාර අහන්න ගිය අතර තුරේදි එහි වූ මැංගුස් තරම් වූ ගසක් මා හිත ගත්හ. එහි දම් පාටට කරාබු ගෙඩි තරම් ඉදුණු ගෙඩි විය. ගෙඩියක් ගෙන පෙර මා කර ඇති ලෙසට සුවද බැලුවෙමි. වස ගඩියකින් වන්නාක් තරම් සැර ගදක් නොවුයෙන් නියපොත්තෙන් පොඩ්ඩක් කඩා කෑවෙමි. දං ගෙඩියක් මෙන් පැණිරස ගතියෙන් යුක්ත වූ නිසා ගෙඩියක් කෑවෙමි. කා අවසානයේ කරාබු ගෙඩි මෙන් කට කාරන ගතියක් වූ විය. ඕවා කන්න එපා යකෝ. මොනවාද දන්නෙ නෑ… ලෙස උගත් මිත්‍රයා කීවත් මම තව ගෙඩියක් කෑවේමි. කට කාරන ගතිහ තරමක් වැඩි විය. එය අමතක කර අපි පානතුඩුවාවට පැමිණියහ. මා ගෙඩි කෑ ගස මෙන්ම ගසක් වූ බැවින් එහි ඡායාරූප දෙකතුනක් ගත්තෙමි. සීතල නිසා ස්නානයට වැඩි වෙලාවක් නොවීය. නැවත බෙලිහුල්ඔය හන්දියට බැස කොත්තු හා බත් කා කුස පුරවා ගෙන ගෙදර ආවෝය.

මේ කතාව ලියන්න හේතු වූ කාරණාව පැමිණෙන්නේ දැන්ය. ගෙදර පැමිණි පසු සාමාන්‍ය විඩාව හැර කිසිදු අපහසුවක් මට නොවීය. ආපු ගමන් නා කියාගෙන නිදාගත්තෙමි. උදේ පාන්දර 4 පමණ ඇග කසන්න විය. මදුරුවන් නිසා වෙන්න ඇති සිතා නිදාගත්තත් නින්දු නොගියේය. උදේ නැගිටින විට එක් ඇසක් අසල ඉදිමී තිබුණි. අසාත්මිකතාවයක රෝග ලක්ෂණ වූයෙන් මම ප්‍රථමයෙන් කළේ නියපොතු ටික කපා දැමීමයි. ආච්චිගේ උපදෙස් අනුව පිරිටන් පෙත්තක් බිව්වෙමු. එය අමතක කර මම දවස් 2 3ක් වැඩට ගියෙමි. තමුත් මෙහි අඩුවක් නොවන බැවින් වෛද්‍යවරයෙක්ගෙන් බේත් ගත්තෙමි. මොනාද කෑවෙ ඔහු කෙළින්ම අහපු ප්‍රශ්නයයි. මුකුත් නෑ යි මම කීවේ චාරිකාවේ කැ ගෙඩි ගැන උනන්දුවක් නොකරයි. ඔහු දුන් බෙහෙත් වලට දිනයක් ඇතුළත අඩුවක් විය. නමුත් අනිත් දවසේ කැසිල්ල හොදටම වැඩි විය. දවස් 7ක් වන විටත් කැසීම නිසා හොදට නින්දක් නැති නිසා අම්මා සමග රෝහලට ගියෙමි. මේක මොකක් හරි අසාත්මිකතාවතක්; ලේ පරීක්ෂණයක් කරන්න ඕනෙ; බේතක් දීලා බලමු; නවත්තන්න වේවි; වෛද්‍යවරිය කිව්වේ එහෙමයි. ඉරිදා ඇති වැඩ කන්දරාව සිහිපත් කර මා රෝහලෙන් බලෙන්ම එළියට පැමැණියේ තවත් බෙහෙත් ගොන්නක් රැගෙනය. ආ විගස මා ගත් ඡායාරූප මූණුපොතේ ගස්වැල් ගැන කතා කරන සමූහකට දැම්මෙමු. ඕක් ගෙඩි වෙන්න ඇති ලෙස ඇරඹි එයින් මෙය බදුල්ල ලෙස අවසානයේ තීරණය විය. බදුල්ල කියන්නෙ හලාහල විසක්. මහ බදුල්ල, කහ බදුල්ල හා කබර බදුල්ල ලෙස වර්ග 3ක් ලංකාවේ ඇත. මෙහි කබර බදුල්ල ගහක් යටින් ගියත් දෙබරුන් ඇන්නා සේ වන මාස ගණනක් බෙහෙත් කරන්න වේ. වහාම බෙහෙත් කරන්න. දැනටමත් පරක්කු වැඩියි. එදා මට සිංහල වෙදකම ඉගෙන ගන්න අයියා කෙනෙක් තම ගුරුදේවයන්ගෙන් මෙයට බේතක් කීවේය. මස් මාළු මුකුත් කන්න එපා. කූර තම්පලා ඉස්ම එළගිතෙලෙන් දියකරලා ඇගේම ගාන්න. දැන් විෂ තියෙන්නෙ බඩේ නෙමේ. හමේ. එය සරල වෙදකමක් විය. ඇග පුරාම එළගිතෙල් ගල්වා අප්පිරියාවෙන් රැය පහන් කළේ අධික කැසිල්ල මධ්‍යයේය. නමුත් උදේම ස්නානය කල පසු කැසිල්ල බොහොමයක් හොද වී තිබුණ. සිංහල වෙදකමේ විස්මය මට දැනුණ අවස්ථාවකි. එකෙකින් විෂ හමෙන් අදින විට අනෙකෙන් එය නැවත හමට නොයා තබා ගනී. එළගිතෙල් තේරීම කෙසේ වෙතත් කෙළක් ගස් අතරින් කූරතම්පලා තෝරාගනෑම සිංහල වෙදකමේ විශිෂ්ටත්වය කියා පායි. කෙසේ හෝ මේ ලිපිය ලියන අද දිනට සති 2ක් වන මුත් තවමත් රාත්‍රී කාලය ගවෙන්නේ කසමින්ය.

ප.ලි – බදුල්ල ලෙසම හොඩල ලෙස වැල්දොඩම් වලට සමාන පැණි රස වස වර්ගයකුත් ලංකාවේ ඇත. තව මොනා තියෙනවාද දන්නෙ නෑ.

උඩ මළුව

මීට සතියකට කලින් මම ලියන්න සිටි මාතෘකාව මෙය නොවේ. එය බෑන සමනල වී පසුව කුණුදිය පර්වතය විය. එතනින් සීත ගඟුල වී අවසානයේ උඩ මළුව ලෙස වෙනස් විය. වචන 500කට වඩා දීරඝ ලිපි ලිවිමට මා අකමැති නමුත් වචන 2500කට කිට්ටුවන්න මෙය ලියන්නේ ඔබව දැනුවත් කිරීමටය. මෙවැනි අවාසනාවන්ත සිදුවිම් නැවත නොවීමටයි. මෙය අපගේ පළමු අවාසනාවන්ත අත්දැකීම නොවේ. වරක් මාළිබඬ ඇලි 7 තරණය කිරීමට ගොස් දිය ඇල්ලක් අසල දොළ පාරක සිටි අපට භයානක අත්දැකිමක් ලැබුණි. යන විට හොදට තිබූ ගල්ගුහාව තුළින් රෑ වන විට වතුර ගලන්නත් දිය ඇල්ලෙන් විශාල සුළං සමග හිරිකඩ වැටීමත් නිසා අපි කුණාටුවකදී නැවක සිටින පුද්ගලයන් මෙන් රාත්‍රිය ගෙවුවෝය. එදින අපි ආ මාර්ගය යට වී තිබූ අතර වැස්ස නොපෑවුවොත් ගහක් දිගේ බඩ ගෑමට යෝජනා කළත් තත්වය සතුටු දායක වූ නිසා යහතින් ගෙදර ගියෙමු.

සිරිපාදය කරුණා කිරීමට වාරයක් හා අවාරයක් ඇති වුණේ ඇයි දැයි හරිම හේතුවක් මා නොදනී. අවාරයේ වර්ෂාව වැඩි වීමත්, අවුරුද්දේ කාලයක්වත් වන සතුන්ට නිදහසේ ඉන්ට සැලැස්විමත්, අඩු පිරිසක් වන්දනා කරන විට ඔවුන් මුණ ගැස්වීම වැඩි කිරීමත් යන හේතු ඒ සදහා පාදක වන්නට ඇත. අපි සිරීපාදය අවාරයේ වන්දනා කිරීමට සිතා නොසිටියෙමු. වතාවක් සිරීපා අවාරයේ වන්දනා කර ඇති අපට එය අවශ්‍යතාවයක් නොවීය. එහෙයින් සිරීපාදය අසල ඇති බෑන සමනල වැනි කන්දක් තරණය කිරීමට අපි සංවීධානය වුණි. යන්න පාරක් තොටක් නොදන්නා බැවින් කවදාවත් නැතිව සිතියම් 2ක් මිල දි ගතිමු. ගමන සදහා අවශ්‍ය බඩු බාහිර ආදිය රැස් කිරීමට මා සහභාගී නොවුයේ එය එතරම් දෙයක් නොවූ බැවින් මෙන්ම ඒ සදහා මිඩන්ගු කල හැකි කාලයක් මා සතු නොවූ බැවිනි.

අවාසනාව පටන් ගත්තේ යන්නත් කලින් යැයි දැන් මට හිතේ. ගමන අවන්නට මෙන් යෝජිත දිනය සතියෙන් සතිය වෙනස් වුණේ පිරීසේ කවුරුන්ට හෝ අත්‍යාවශ්‍ය වැඩ වැටීම නිසාය. අවසානයේ දෙදෙනෙකු මග හැර හෝ සැප් 9, 10, 11 දින වල යෑමට යෝජනා කර ගතිමු. 9 වෙනිදා 6 දෙනා 7ට මහරගම රවුන් කඩේ ගාවට සෙට් වූයේ වෙන්න යන විපත ගැන කිසිත් නොදැනය. රත්නපුර බසයක නැගී කුරුවිට තෙක් හිටගෙන ගොස් එතනින් එරත්නට පිටත් විය. අපේ කරුමෙට එරත්න රත්නපුර පාර පිළිසකර කරන බැවින් කිමි 1ක් පමණ වැඩිපුර පයින් යන්නට සිදුවිය. අතරමගදී සිරීපාදෙට යන පාර ඇසුව විට කාන්තාවන් දෙදෙනෙක් මූණට මූණ බලාගත්තේ අවාරයේ සිරිපාදෙ යන පිරිසක් අහලවාත් නැති මෙනි. කෙසේ හෝ සිරිපා මාර්ගයට ප්‍රවිෂ්ට වුණ විගස අපි ඇඳුම් මාරු කර දවල්ට කෑවෙමු. එතෙක් යා යුතු ස්ථානය ගැන කිසිවෙකුටත් නිශ්චිත අදහසක් තිබුණේ නැත. ගෙදරට සිරිපාදෙ යනවා කියා ආ පිරිස බෝහෝ විය. යන්න ආවේ බෑන සමනලය. කලින්දා ගූගල් මැප් බැලු මට පෙනී ගියේ එයට විශාල දුරක් යා යුතු බවය. දවස් 3ක් ඒ සදහා ප්‍රමාණවත් නොවේ. ඒ තරම් ලොකු නොවුණත් කුණුදිය පර්වතය එරත්න පාරට කිට්ටු බව එයින් පෙනුණි. යා යුතු පාර හරියටම නිශ්චිත කර ගැනීමට ගෙනා සිතියම් 2 දිග ඇර බැලුවෙමු. අපි කවදාවත් පා ගමන් සදහා සිතියම් රැගෙන ඇවිත් නැත. අවාසනාවට අවිස්සාවෙල්ල හා රත්නපුර යන මෙට්‍රික් සිතියම් දෙකේම සිරිපාදය නොවීය. එය ඇතිතේ නුවරඑළිය සිතියමේ විය යුතුයි. අවසානයේ මම කලින් දා හිතේ ඇදගත් කුණුදිය පර්වතය සොයා ගියෙමු.

ටික දුරක් යන විට කුණුදිය පර්වතය ලෙස සැලකිය හැකි කඳු 2ක් දර්ශනය විය. ගූගල් මැප් එකට අනුව මේ පාරේ හමුවන උසම කන්ද කුණුදිය පර්වතයයි. මට එතනින් පෙනුණ උසම කන්ද මේ කපේට අපිට නගින්න බැරි විශාල එකකි. එම නිසා එය අත හැර පාරට දකුණු අත පැත්තේ ගූගල් මැප් එකට අනුව තිබූ කුඩා කන්ද තරණය කිරීමට තිරණය කළේමු. වර්ණගල අම්බලම අසලට කන්ද ලගින් පෙනුණත් එය නැගිමට තව ටිකක් උඩට නෑගීමට සුදුසු බැවින් තව දුරක් ආ පාරේම ගමන් කළෙමු. එන්න එන්නම කන්ද පාරෙන් ඈත් වෙන බව අපිට පෙනුණෙන් පුරුදු පරිදි දිගාංසෙට ගමන් කිරීමට තීරණය කළෙමු. පාරත් කන්දත් අතර විශාල නිම්නයක් වුයෙන් උතුරු දිගාංශ 225 ට යුතු වුවත් පසුව 180ට යන්න කැලයට පැන්නෙමු. ටික දුරක් ගිය අපි නතර වුයේ තාප්පයක් වැනි නිම්නයකය. එතනින් බැසීමට තිබූ එකම ක්‍රමය ලෙස පෙනුණේ ගසක බඩ ගාගෙන බිමට බැසිමටය. අඩි 20ක් පමණ විශාල උසක් නොවූයෙන් එය ඉක්මනට බැස ඉතා ඉක්මනින් දොළ පාරට ප්‍රවිෂ්ට විය. අඩි 50ක් 60ක් පමණ වූ එම දොළ පාර අපේ ජීවිතේ අමතක නොවන දිනය ලබා දේවි යැයි අපි කෙලසකවත් නොසිතුවෙමු. වෙලාව 4 පමණ වූ බැවින් අපි නවතින්න තැන් සෙවුවෙමු. දොළ පාරේම පිහිටි වතුර පාරට අඩි 5ක් පමණ උසින් පිහිටි තරමක් ආනත නමුත් කූඩාරමක් ගැසීමට හැකි ගල් පොත්තක් මම යෝජනා කළෙමි. මාළිබඬ වූ අකරතැබ්බය සිහිකළ එකෙකු මෙම ස්ථානය ප්‍රතික්ෂේප කළේය. මෙය ඉතා ලස්සන ස්ථානයක් වීමත් තාප්පයක් මෙන් තිබූ නිම්නයේ මෙතරම් හොද ස්ථානයක් සොයා ගැනීමට අපහසු වීමත්, වතුර මට්ටමට අඩි 5ක් පමණ උසින් තිබීමත්, ඒ මට්ටමට වතුර ආවත් ඒ අසල ඇති තවත් අඩි 7ක් උස ගලක් උඩට නැග මොනා හරි කර ගැනීමට පුළුවන් වීමත් යන සාධාරණ හේතු මම ඉදිරිපත් කළෙමි. එයට ඇතැමුන්ගේ කැමැත්තක් නොතිබුණ හෙයින් 4.30 වන තෙක් නිම්නයේ කූඩාරමක් ගැසීමට සුදුසු ස්ථානයක් සොයා ගෑනිමට පිටත් වුණෙමු. කලින් ස්ථානය තරම් හොද නැති මුත් යම්තාක් දුරට හොද ස්ථානයක් අපිට හමුවුණි. පැල ගස් 2ක් 3ක් කපා එළි කර එතන සිටීමට පුළුවන් නමුත් එය එක පයින් ප්‍රතික්ෂේප වුයේ දොලපාරේ ගල්පොත්ත තරම් ආතල් නොවූ හෙයිනි.

ගල්පොත්ත වෙත ගොස් කූඩාරම අටවා ළගම ඇති අඩි 7ක් පමණ ගැඹුරු පිහිනුම් තටාකයක් ලෙස විශාලව සැදි තිබු දිය වළකින් නැවෙමු. එවිට පිහිනීමට නොදන්නා මල්ලි කෙනෙක් ගිලෙන්නට ගියේය. එහි ගිලිමට තරම් වතුර නෙවුයෙන් මම ඔහුට අත දුන් අතර මාව ඇදගෙනම ඔහු වල මැද්දට ගියේය. මට ඇප නැතිවන බව තේරුණෙන් මම එතන සිටි අනිත් එකාට අත පෑවෙමි. ඒකත් ඇදගෙන වල මැද්දට ආවෙන් පිනිමට එතරම් නොදත් ඔහු අප අතහැර ගොඩට පීනුවේය. මාව බදාගත් අනිකා මරබයෙන් දැගළුවෙන් මටත් පාලනය කිරීම අපහසු විය. වතුරින් උඩට මූහුණ දාගත් මට කඹයක් දානවා පෙනුණත් මට එය අල්ලන්න බැරි විය. අවසිහියෙන් අනෙකා අත හැරිය මා ගොඩට පිහිනුවෙමි. එවිට කඹය අල්ල ගත් අනෙකා ගොඩට පැමිණියේය. මැරෙන්න තරම් මහන්සි තිබුණත් එයින් බේරීමට පුළුවන් යන විශ්වාසය තිබූ නිසා මට එය ගාණක් නොවීය. අනෙකාටනම් මරණ බිය හොදට දැනී තිබුණි. පිහිනීමෙන් පසුව අපි කූඩාරමට වැද රෑට කන්ට පටන් ගතිමි.

කවදාවත් නැතුව අපි කූඩාරමේ සින්දු කිවෙමු. වෙන පා ගමන් වලදී පණ නැතුව කූඩාරම සාදා නිදා ගන්නා අපි අද වේලාසන කූඩාරම ගැසුහෙයින් තේකක් පවා සාදාගෙන බීවෙමු. වේලාසන නින්දට ගියහොත් පාන්දර සීතලට නැගිට දුක්වීදීමට සිදුවන බැවින් සින්දු කිවෙමු. 10ට පමණ පොඩි වැස්සක් වැටුණ අතර වතුර මට්ටම අඩි 2ක් පමණ නැගී ඇති බව දැක්කත් අපි 11ට පමණ සැකයෙන් නින්දට ගියෙමු. නමුත් අපිට නිදා ගත හැකි වුයේ 1 වන තෙක් පමණි. වතුර මට්ටම ගල්පොත්ත තෙක් ඇවිත් බව කෙළවර සිටින්නා ප්‍රකාශ කළහෙයින් සිතලේම එළියට ගොස් එය බැලුවෙමි. තත්වය දරුණු බව මට පළමු වරට තේරුණි. නමුත් එය නොපෙන්වා පඬුරක්වත් ගැට ගසමුදැයි යෝජනා කළෙමි. එවලේම මගේ සගයාගෙන් පඬුරක් ලැබුණ අතර එය කුඩාරමට ඇතුළෙන් මුදුනේ ගැට ගසා සමන් දේවාලයට ගොස් වැඳපුදා ගන්නා බවට භාර වීය. නමුත් වැස්ස අඩුවක් නැතුව වැටුණි. වතුර ගල්පොත්තට දැමුවොත් ඉතා ඉක්මනින්ම ගල්පොත්ත යට නොවන නිසා කූඩාරම ගලවා එය විනාඩි 5න් ඇසීරීමටත් බඩු ටික ගල්පොත්තට ගෙන ඒමටත් තීරණය කළෙමු. දැන් අපිට නින්දක් නොවූයෙන් කුණුදිය පර්වතය නැගීමට තරම් ශක්තියක් නැති බැවින් නැවත පාරට ගොස් සීතගඟුල අම්බලමට ගොස් රැයක් නතරවී ආතල් එකේ ආපස්සට පැමින ගෙදර යාමට මම යෝජනා කළෙම්. එයට කවුරුත් එකග විය. එක වරම කූඩාරම තුළට වතුර ගසනවා කී සැණෙන් මාත් තවකෙක්කුත් එළියට බැස එය පරීක්ෂා කළෙමු. තත්වය අසාධ්‍යබව තේරුණෙන් කූඩාරමින් එළියට බැසීමට අණ දී ගමන්මලු එළියට ඇද්දෙමු. කූඩාරම ගැලවීමට පටන්ගන්නවාත් සමග වතුර පාර තවත් වැඩි වූයෙන් කූඩාරම ගසාගෙන යන්ට වූයෙ දෙදෙනෙකු ඇතුළත සිටියදීමය. කූඩාරම අල්ල ගන්න අපි කොතරම් තැත් කළත් අපිට මුකුත් කීරීමට නොහැකි විය. ඇතුළත සිටින දෙදෙනා එළියට පැන ගත් අතර කූඩාරම එතන තීබු ගල් දෙඹුක්කාවක් තුළට ගියේය. එය සිරවී ඇති නිසා එහි ආශාව අතහැර ජීවිත ආශාව නිසා ගල්පොත්තට අඩි 7ක් පමණ උසින් තිබූ ගල් පර්වතයට ගොඩවිමු. එක පෙළට වාඩි ගමන්මලු උඩ වාඩි ගත් අප දැඩි වැස්සෙන් බේරීමට කළු ඉටි කොළයක් ඔසවා ගත්තෙමු.

විනාඩි 10ක් ඇතුළත ඉතා ශීඝ්‍රයෙන් වතුර පාර ඉහළ නැග්ග අතර මෙතනින් හැර බේරීමට හැකි ආකාරයක් ඇත්දැයි විදුලි පන්දමක් ගසා බැලුවෙමු. එය පමණක් හුදකලා වී තිබූ අතර වටේටම සැඩ වතුර පහර දිය ඇල්ලක් මෙන් ඉතා වේගයෙන් ගලා ගියෝය. අඩි 20ක් පමණ දුරින් ගොඩබිම වූවත් එය වෙත යාමට කිසිදු මාර්ගයක් අප සතු නොවීය. අඩි 7ක් වූ පර්වතයේ මුදුනේ සිටි මට වතුර පාරක් කකුලට වැදුණ විට මට මරණබිය පළවන පාරට ඇති විය. තුන් සරණය කවියක් කීමට ගත් නමුත් බිය නිසාම එය වැරදුණි. කට්ටයම බය වී ඇති බැවින් පිරිත්වත් කියමුද අසා කරණීයමෙත්ත සූත්‍රය කීමට පටන් ගත්තෙමි. බය නිසාම කට වෙව්ලන අතර කරණීයමෙත්ත සූත්‍රය මට කීප සැරයක්ම වැරදුණි. කවුරුන්හෝ භාරයක් වෙමු යැයි යෝජනා කළේය. මෙයින් කරදරයක් නොවුණහොත් අපි සියලුම සැලැස්මවල් අහෝසි කර නියමිත පරිදිම සිරීපාදෙට ගොස් වැදීමට භාර වුණෙමු. ඒත් වැස්සෙ කිසිදු අඩුවක් නොවීය. පාන්දර 3.30 වන විටත් වැස්ස වැඩිවීමක් මිස කිසිදු අඩු වීමක් නොවීය.

මට ගෙදර මතක් වුණි. ගෙදර බර කරගැසීමට ඉන්නේ මා යැයි අම්මා තාත්තා විශ්වාස කරයි. අවුරුදු ගාණක් මට උගන්වා මගේ මෝඩකමට මෙවන් ගමනක් පැමිණ මිය ගියහොත් පවුලට යන කලදසාව මොකක් වේවිද. වතුරට ගසාගෙන යන විට පීනනවාද නැතහොත් මැරෙන්නට දී බලන් ඉන්නවාද යැයි මම සිතුවෙමි. දැන්නම් ඇඩෙන්නටත් එයි. කවුරුත් අඩන්නෙ නැත. තවමත් නොනවත්වා පිරිත් කියයි. වතුර තිබහ බැවින් මගේ උගුර වේලි කතා කිරීමටත් නොහැකි තත්වයට පත් වී ඇත. වතුර මට්ටම අඩියක් පමණ සීමාවකට අපිට කොටුකළහොත් බියවූවන් දැගලිමට පටන්ගන්නවා ඇත. මා කොතරම් බය වුවද කියතොත් සමන් දෙවියන්ට කෑ ගසා කියා සිටියේ ආයෙත් මෙසේ මෝඩ වැඩ නොකරන බවත්, අනෙක් පුද්ගලයන්ද මෙවන් මෝඩවැඩ නොකරන්න දැනුවත් කරන බවත්, ගොඩගිය විට සිරීපාදෙය අනිවාර්යයෙන්ම වැද ගෙදර යන බවත්, එපමණක් නොව සෑම අවුරුද්දකම බාලදක්ෂ සමූහයත් සමග වාරයට සිරිපා කරුණා කරණ බවත්ය. තුන්සරණය සහිතව පන්සිල් ගෙන නැවත කරණීයමෙත්ත සූත්‍රය කිවෙමු.

ආශ්චර්ය යන වචනය මා විශ්වාස නොකළෙමි. නමුත් එම භාරය වී පැය කාලක් යන විට වැස්ස අඩු වී නැති විය. එළිවෙනකන් ගල්පිළිම ලෙස එකතැනම සිට පිරිත් කිය කියා සිටියෙමු. එළිය වැටෙන විට වතුර මට්ටම ගල්පොත්ත පෑදෙන්න අඩු වී තිබුණි. 7 පමණ වන විට ගසාගෙන ගිය කූඩාරම දැකීමට පුළුවන් විය. ගල්පොත්ත තරමක් පෑදුණ විට මම බැස වතුර බෝතලයට වතුර එකක් ගත්තෙමි. තද වතුර තිබහේ සිටි අපි මඩ වතුර බීවෙමු. කූඩාරම ගොඩ ගැනීමට උත්සහ කල පසු එය අපහසුවකින් තොරව ගැනීමට හැකි විය. හදිසියේ කූඩාරම ගැලවිම නිසා කූඩාරම් කූරු කැඩි තිබුණි. මම සිතුවේ වතුර පාරේ සැරට කූඩාරම සොයා ගෑනීමටවත් නොහැකි වේ කියයි. නමුත් එය එසේ නොවී තිබුණි. කූඩාරම සිරවී තිබුණේ එහි තිබු කුණු බෑගය නිසාය. කූඩාරම හා බඩු අසුරා අපි යන්ට ලැහැස්ති විය. ඒ වන විටත් යාමට තරම් පාර සුදුසු තත්වයේ නොතිබුණි. තවත් වතුර බසිනකන් සිටීමට යෝජනා විය. නමුත් එය ක්‍රියාත්මක නොවුනේ නැවත පොදයක් පටන් ගත් හෙයිනි. වැහි පොදයකට කල හැකි දේ දන්නා බැවින් අපි යෑමට පාරවල් සෙවුවෙමු. මාත් තව ජනාධිපති බාලදක්ෂයෙකුත් කඹයක් බැදගෙන පිටත් වුණේ අපි ආ පාර පරීක්ෂා කිරීමටයි. අමාරුවෙන් ගල් පොත්තකට නැගගත් මට පෙනුණේ දිය ඇල්ලක් ලෙස එන තැනකින් මැරු වීමට අපහසු බවයි. එය අතහැරි විට අනෙක් ලී පදක්කම් ධාරි බාලදක්ෂ නායකයා වතුර හරහා පිහිනිමට කඹයක් බැදගෙන උත්සහ කළේය. වතුර පාරේ සැඩබව කෙසේද කියතොත් කකුල දණහිසට පහළින් කඩාගෙන යන්නාක් ලෙස දැනුණ බව ඔහු මට පසුව පැවසීය. අපි සිටි ගල්පර්වතයට පිටුපසින් යෑමට ක්‍රමයක් ඇද්ද යන්න පරීක්ෂා කල අපිට එයත් නිෂ්ඵල බව තේරුණි. අවසානයේ තවත් ජනාධිපති බාලදක්ෂයෙක් මා උත්සහ කල දිය පාර තරණය කිරීමට යෝජනා කළේය. තවත් කිරීමට දෙයක් නොවූයෙන් වැස්ස නවතින තෙක් මෙතෙන සිටිනවාට වඩා තවත් උත්සහයක් දාන්න අවසර දුන්නෙමු. 5වන නීතිය ප්‍රයෝගික කිරීමට ඔහු කඹයක් බැද පිටත් විය. අපේ වාසනවාවට ඔහුට එතනින් පැන ගැනීමට හැකි විය. තව දුරටත් පාර නිවැරදි දැයි බැලීමට තවත් කෙනෙකුද පිටත් විය. ඔවුන් ගොස් ප්‍රකාශ කළේ පාර පැහැදිලිබවය. එකින් එක ගමන් මලු හා පුදුගලයන් එගොඩ කරීමට හැකි විය.

අපි එගොඩ වනවාත් සමගම වැස්ස අධික විය. එය නවතා තිබ්බේ අපිට එගොඩට යන්න මෙනි. එගොඩට ගිය වහාම අපි ආ මාර්ගයේම යුහුසුළුව ගමන් කළෙමු. පැමිණි ලෙසම ගසක බඩ ගෑමට අපිට ශක්තියක් නොවුයෙක් තවත් ඉදිරියට ගොස් කාණුවක් මෙන් දියපාරයක් දිගේ ඉහළට නැග්ගෙමු. වැස්සට තෙමී ගමන් මලු බර වී තිබුණ අතර පස මඩ වීම නිසා ලිස්සන සුලු විය. අපිට ඊළග බාධකය වූයේ කුණකටුවෙක්ය. මට ඉස්සරහින් යන්නාගේ කකුලට පෑගිමට ගොස් එයින් බේරි ඌ නැවතුණේ අපේ පාර හරහටය. ඒකව අරන් දෑමීමට අපිට පණක් නොවීය. කුඩා බෑගයක් තිබූ අයෙක් ඒකාව කෝට්ටකින් එහාට කර දමුයෙන් අපිට ඉදිරියට ගමන් කිරීමට පුළුවන් විය. ආ මාර්ගයේම ගමන් කල අපිට පාරට ඒමට හැකිවිය. නමුත් වැස්ස කිසිදු අඩුවක් නැතුව කඩන් හැළුණි. සෙරප්පු සියල්ල ගමන්මලු වල ගැට ගසා ඇති බැවින් පාවහන් රහිතවම අපි සිරිපාදය නැගීමට පිටත් විය. දහවල් 11.30 වන විට අපි සීතගඟල අසලට පැමිණියෙමු. අධික වර්ෂාව නිසා ශීත ගගුල ගොඩ ගලා තිබූ අතර පාරට වඩා අඩි 4ක් පමණ උඩින් ජලකද වේගයෙන් ඇදී ගියේය. හොදටම තෙත බරිත වී තිබු අපි සීතගඟුල අම්බලමේ නැවතී බිස්කට් කා දවල්ට උයන්න පටන් ගත්තෙමු. හැමතැනම වැල් ගැට ගසා ඇදුම් වේලෙන්න දැමු අතර පිරිසක් නිවා දමා තිබු ගිනිමැලයක් පත්තු කිරීමට සැරසුණි.

අපේ අපලය තවත් දිග බව තේරුණේ උයන්න ගිය විටයි. රැ කෑම වේල රොටි වු අතර ඒ සදහා ලුණු ගෙනවිත් තිබුණේ නැත. ඒ වෙනුවට අජිනමොටෝ ගෙනා බව කීවේ අපව ඇල්ලෙන් එතෙර කරන්න දායක වූ සොයුරාමය. එය කිසිවිටයත් ජනාධිපති බාලදක්ෂයෙක්කුගෙන් බලාපොරොත්තු වූ පිළිතුරක් නොවේ. ඔහුට බැණ අපි ලුණු හා පොල් නැතුව පාන්පිටි හා කිරිපිටි වලින් රොටි සෑදුවෙමු. අම්බලම තුළ කූඩාරම කූරු රහිතව එල්ලා ගැසූ අතර එයට එළිමට අම්බලමේ තිබු ෆයිබර් දොරවල් යොදා ගතිමු. අම්බලමට එහාපැත්තේ කඩයෙන් තවත් දොරක් සමුවූ අතර එය පිසදා ගැසු විට එළියට ආවේ අගල් 10ක් 12ක් විතර දිග ගරුඬෙකි. පත්තෑයන්ගෙ ලොකු එකා ගරුඬා ලෙස අසා තිබුණත් එතරම් විශාලවේයයි මා කිසිදා නොසිතුවෙමි. නැවතත් එළු දොරවල් ගසා කූඩාරම දැමූ අතර කූඩාරමට සතුන් ඒම වැළැක්වීමට භුමිතෙල් ඉරක් යැවුවෙමු. හවස 4 පමණ විට වැස්ස නැවතුන අතර වතුර මට්ටම සෑහෙන ලෙස අඩු විය. නමුත් එයින් මේ වෙලාවට පැනයාමට තරම් ශක්තියක් අප තුළ නොවීය. එම නිසා රෑට කා හොදට උණුසුම්ව නින්දට ගියෙමු.

පසුදා උදේ නැගිටි මට පෙනුණේ සීතගඟුල තරණය කිරීමට හැකි මට්ටමට පැමිණ ඇති බවයි. නැවත වැස්සක් පටන් ගතහොත් එය අසාර්ථක විය හැකි බැවින් අපි ඉක්මනින් උදේ කෑම සකසා ආහාරයට ගෙන පිටත් වුණෙමු. ඒ අවස්ථාව වන විට අවුරැල්ලක් පායා තිබුණි. හැරමිටිපාන අසල හමුදා කඳවුරේ ආපනශාලාවෙන් තේකක් පානය කිරිමට හැකි විය. පෙරදා කෑමට නොහැකිවූ රොටි කා තේ බිව් අපි යුහුසුළුව කන්ද නැගීමට පිටත් වුණෙමු. අධික සීතලේ සිටි අපිට නැවත වැස්ස බාධා කළේය. සුළං කපොල්ල හරියේදී වැස්ස අධිකව වැටුණි. කෙසේ හෝ දවල් 12.30 වන විට උඩමළුවට කරුණා කිරීමට අපිට හැකි විය. එහිදී මළුව භාරකරුගෙන් තේ වේලක් ලැබුණි. ප්‍රමාණවත් තරම් ආහාර නොලැබුණ බැවින් එය අපිට මහත් පිටුවහලක් විය. ඒය ඉවරවුන වහාම අපි පිටත් වුණේ ආ කාර්‍ය ඉෂ්ට කිරීමටයි. පද්මය අසලට ගිය අපි තිසරණ සහිත පන්සිල් සමාදන් වි කූඩාරමේ ගැටගෑසු පඬුර ගැට ගසා අපි භාරය ඔප්පු කල බව කීවේමු. තරුණයන් පිරිසක් මෙසේ භාර ඔප්පු කරන එක ලැජ්ජාවට කරුණක් ලෙස පෙනුණත් පෙර රා රාත්‍රිය අපිට අමතක නොවන බැවින් අපි නොපැකිලිව එය ඉටු කරෙමු. විගස හැටන් මාර්ගයෙන් බැස යාමට පටන් ගතිමු.

භාරයේ කොටසක් තවත් ඔප්පු කිරිමට ඇති නිසාදෝ අපිට තවත් කරදර ගාණකට මුහුණ දීමට විය. වර්ෂාව අඩු නොවීම, හැටන් වලට යාමට බස් නොවීම, නල්ලතන්නියේ ආහාර ගැනීමට කඩයක් නොවීම, හැටන් වල සිට කොළඹට හවස 6.30 න් පසු බස් නොවීම ආදී කරදර ගණනාවකට මුහුණ දුන්නෙමු. කොළඹට බසයක් ඇත්තේ පාන්දර එකකුත් ගාණකට වීම නිසා අපිට මගේ විශ්වවිද්‍යාලයේ දෙමළ සොයුරෙක් උදව් විය. ඔහුගේ ගෙදර ගොස් තේකක් බී නිදාගෙන කලට වෙලාවට බස්එකට ගොස් අපි ගෙදර යන විට පසු දා උදේ 7.30 පමණ විය. ගමන එසේ නිමා කළේ භාර වූ පරිදි එන අවුරුද්දේ වාරයට කට්ටියත් සමග සිරිපා එනබවට වූ පොරොන්දුවත් සිහියේ තබා ගනිමිනි.

ප.ලි – මෙය අවාරයේ සිරිපාදය කරුණා කිරීම පිළිබඳ මගේ මාර්කටින් පාරක් නොවේ. මෙවන් මෝඩකම් නැවත නොකිරිමට ඔබ වෙත කරන අවවාදයකි.

%d bloggers like this: