මිය යන රටක සිට

දීර්ඝ ලිපියක් ලියන්නේ හිතේ ඇති තරහ හා කලකීරීමට මැඩ පවත්වා ගැනීමටයි. මෙයට තර්ක විතර්ක බලාපොරොත්තු නොවේ.

මා වෙන රටක වෙන ජාතියක සිටියේ නම් මෙතෙක් දුක් නොවනු ඇත. මා දුක්වන්නේ රට වැසියා නොහොබිනා දේවල් කරන නිසාවත් ඔවුන් නිකරුණේ පව් සිද්ධ කරන නිසාවත් නොවේ. මේ සියල්ලම පිටරුටියන්ගේ උවමනාවට ඔවුන්ගේ බත බුලත සරු කිරීමට අපි කරනා කත් ඇදීම නිසාවෙනි. තමන්ගෙ සල්ලි නම් අවැඩය සිදුවන්නේත් තමන්ට නම් අනිත් එවුන්ට ඇති අමාරුව කුමක්දැයි දැන් දැන් නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නකි. සියලු පව් වැඩ, තර්ක ඉදිරිපත් කර ඒවා හොද වැඩ හා කල යුතු වැඩ කිරීම, ඒවා සංස්කෘතියේ අංගයක් කිරීම දැන් සිරිතක්ව සිටී. මේවායින් ජාතියක් ලෙස අපි සදාචාරයක් නැති වුන් ලෙස පහතට වැටෙන අතර ඒවා කිරීමට පිටරටට සල්ලි යවන බැවින් ආර්ථික අතින්ද අපි පහළට වැටෙනු ඇත.

ස්ප්‍රයිස් ප්‍රපෝසල් එකක් දැක සියල්ල එහි හොද නරක ගැන කතිකාවතක් පටන් ගෙන ඇත. උන් දෙන්නට හොදයි නම් අපිට මොකද යැයි කීමට හැක. සිතිය හැක. නමුත් අනාගතයේ එය ව්‍සංගතයක් මෙන් හැම තැනම පැතිරී අති දුෂ්කර පෙදෙස්වලට ඔය විෂබීජය යා හැකිය. නොයෙක් ව්‍යාපාරිකයින්, වැඩසටහන් අධ්‍යක්ෂකයන්, නැටුම් කණ්ඩායම් මෙයින් හොදට හම්බකරනවා ඇත. මේවා සංස්කෘතියට එක් කරන්නට වැඩිම දායකත්වය දෙන්නේ ඔවුන්ය. පැකේජ් එකට ප්‍රී ශූට් එක නිකන් දෙන්නේත්, තැන්කියු කාර්ඩ් නිකන් දෙන්නේත් මේවා සමාජ ගත කර එවා සමාජයේ අවශ්‍යතාවයක් කිරීමටයි. අද සමාජයට විහිළුවක් වන මෙවැනි දේවල් හෙට පරපුරට අනිවාර්‍ය දේවල් වන බව කාටවත් තේරෙන්නේ නැත.

ලංකාවේ පරිපාලන කේෂත්‍රයට පුහුණු කාලය තුළ මත්පැන් පානයට, රාත්‍රී සමාජ ශාලාවලට යාමට පුරුදු කරන්නේ ඇයි දැයි මට ප්‍රශ්නයකි. රජයේ උසස් නිලධාරීන්ද ඒවා වැරදි ලෙස සලකන්නේ නැත්නම් වත්මනේ මත්පැන් පානය, දුම්වැටි බීම සාමාන්‍ය දෙයක් වුණා මෙන් අනාගතයේ රාත්‍රී සමාජ ශාලාවලට යාමත් සාමාන්‍ය දෙයක් වනු ඇත. දැනටමත් එය සාමාන්‍ය දෙයක් දැයි මම නොදනිමි. කාන්තාවක් මත්පැන් බොන එක දැනටත් සමාජයේ පිළිකුල් කරයි. මා දන්නා තරමින් මා විෂ්‍ය විද්‍යාලයේ සිටි කාලයේ කෙල්ලන් මත්පැන් ගත්තේ නැත. දෙතුන් දෙනෙක් අප්‍රසද්ධියේ ගත්තා විය හැක. නමුත් දැන් ඔවුන්ගෙන මත්පැන් නොබොන අය ඉන්නවාදැයි මා නොදනී. තම දරුවන්ට මත්පැන් දී සමාජ ශාලාවලට යන පිටරැටියන් මෙන් අනාගතයේ අප මව්වරුත් කරනවා ඇත. මෙතරම් කෙටි කාලයක් තුළ වූ වෙනස්කම් දරා ගත නොහැකි තරම්ය.

මේ පරිගණකයට ඇබ්බැහි වූ මා වුණත් එහි එක්තරා කොටස් කාරයෙකි. නැවත කියන්නේ අපිට මූලික අවශ්‍යතාවයන් අමතක වී ඇති අතර නව අවශ්‍යතාවයන් අපට හදුන්වා දෙමින් තිබේ. අපිව සදාචාරාත්මක් අතින්ද ආර්ථක අතින්ද පහළට දැමීමට සියලු කටයුතු සිදුවේ.

ප.ලි – අනවශ්‍ය උවමනා සමාජගත කිරීමට මූලින්ම දායකත්වය දක්වන පිරිසට සාප කරමි. පසුගාමීන්ට සාප නොකරන්නේ මමත් ඔවුන් අතර වන බැවිනි.

 

Advertisements

අහසක කඳුළු

මගේ පොඩි වැස්සට
ඔබේ ගඟ දිය පිටාර යයි නම්

ගං වතුරත් කොහෙට හෝ යා යුතුය.
ගඟ සිදෙන තෙක් බලා සිටිමි.
මා කල වරද ගැන දුක් වෙමි.
ගඟ දිය සිදෙන තුරු
මා සුළං හැමුවෙමිබැරිම තැන කෑ ගැසුවෙමි.
මට කල හැක්කේ එපමණද

නැවත පුරවගමි, මා දුන් කඳුළු දිය
ආයෙත් වැටෙන් නැති වෙන්නම
හිතට දුක නැති නිසා නොව
වැවක් වන්නට බැරි නිසා

.ලිමම අහස. ඔබ බාරුසිය. ඔව්, කවදා හෝ මගේ අහස් ගඟ.

දූවිලි

මට හරි යන කර පටියක් ගන්න බැරි වුන නිසාම සුපිරි වෙළද සැලෙන් එලියට බැහැලා වට පිටේ කඩ වල කර පටි බල බලා ආවා. පාර අයිනෙ පඩිපෙලක් යට පුංචි කඩයක මට ඕන දේ තියනවා මන් යන්තන් දැක්ක නිසා ගොඩ වැදුනා. ඕන දේවල් අරගෙන එලියට බහිනකොට ඇගේ වැදුනෙ පුංචි කෙලි පැටියෙක්. මගෙ හිත අතීතයට ගියා. මගේ අතීතය ඇගේ වර්තමානය වෙලා. සෙල්ලම් බත් උයන්න බෝනික්කො නලවන්න ගෙදරට වෙලා ඉන්නෙ නැතිව ඇය පාරෙ වාහන දිහා බලන් ඉන්නවා. වාහන වල යන පොඩි උන් දිහ බලන් ඉන්නවා. ඇගේ අනාගතය ගොඩ දාන්න අම්මයි තාත්තයි පාරෙ මිනිස්සුන්ට බාල්දු වෙනවා. දුවේ! උඹ කවදා හරි ලොකු වේවි. උඹේ වයසෙ වුන් පාසල ඇරිලා ගෙදර යනකොට උඹට කඩයට එන්න වේවි. අම්මා තාත්තා නැති වෙලාවට වෙළදම් කරන්න වේවි. අනිත් වුන් සෙල්ලම් කරනකොට උඹට වාහන ගනින සෙල්ලම විතරක් කර කර ඉන්න වේවි. වේලක් දෙකක් නොකා ඉන්න වේවි. දස බිම්බර මාර සෙනග උඹව කන්න හදාවි. පාරෙ දූවිල්ලෙක් උඹ වැහිලාම යාවි. ඒ දූවිල්ල පිහගෙන ඉගෙනගෙන ලෝකය දිණුවොත්. උඹේ ළමයින්ට ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා සෙල්ලම් කරන්න පුලුවන් වේවි. අද උඹ බලන් ඉන්න වාහනේක යන්න පුලුවන් වේවි. ඒ වාහනෙන් සුපිරි වෙළද සැල් වලට යන්න පුලුවන් වේවි. ඒකට ගියාම තමන්ගෙ කඩේ ආයෙත් මතක් වුනොත් දුවගෙන වරෙන් ඒ ලෑලි කඩයකට.

ප.ලි – ආදරය කරපන් උඹ හුස්ම ගත් දූවිල්ලට.

අත්තා

අපේ ආතාට දැන් වයස 80ක් විතර ඇති. 100ක් වුණා නම් මට කටක් ඇර සීයා කිය හැක. ආතාගේ තාත්තා අපිට මුත්තාය. මට අවුරුදු 15ක් විතර වෙනකොටත් මුත්තා යහතින් සිටියේය. මුත්තා එලොව යන අවුරුද්ද වෙනකන් අවසන් කාලය ගෙව්වේ හරක් බලාගනිමින්ය.

තාත්තාගෙ දේ පුතා නොකළොත් නොට්ටිගෙ පුතාය. අපේ පුංචිගේ පුතාට අපලයක්ද මොකකද එහෙකට කිරි හරකෙක් නිදහස් කරන්න බඩදරු එළදෙනක් ගෙනාවාය. එළදෙනගේ කටයුතු ආතා භාරගත්තේ කැමැත්තෙනි. ඇයගේ පැටවා හමුවුන පසු කිරි දෙව්වේ ආතා විසිනි. පුංචිගේ බලකිරීමට එළදෙන කොහෙටදෝ බාර දුන් නිසා ආතා නැවත තනි වුණි.

නමුත් පුංචිට හොරා එළදෙනක් මිලට ගෙන ඇගේ වැඩකටයුතු කරන්න ආතා බය වුණේ නැත. පහළ ඕවිටෙත් ගැරජය අසල පේර කැලෙත් ඇය සුවසේ ජීවත් වුණි. ඇයටත් පැටවු ලැබුණෙන් අපිට එළකිරි වැරදුණේ නැත. ඕවිටේ සිට පේර කැලයට හරක් දෙදෙනාගෙන ආ යුත්තේ මහපාරෙනි. මහවැස්සි වාහන සද්දෙට බයේ දුවන බැවින් පැටවා හම්බන් කිරීමට තවකෙක් උවමනාය. මෙම අවස්ථාව වැඩිමනක් ලැබුණේ මල්ලීටය. මල්ලි නැති දාට මටත් අවස්ථාවක් නොලැබුණා නොවේ.

ආතාව දකින්නටත් පෙරම ඉවෙන් මෙන් එළදෙන සුපුරුදු ලෙස තප්පුලයි. ‘ආ එනවා එනවා. හිටපන් ඔහොම‘ කියා ආතා කියන්නේ ආතාටත් ඇයව පෙනිලා නොවේ. නමුත් පුදුමෙකට මෙන් මහවැස්සි අපි එන දිහාවම බලා සිටී. ඇයව ගැලවූ විගසම වත්ත පිටිපස්සේ කොස්ගහේ වැටුණ වැල කෑමට දිව යයි. වැල ටික ඉවර වෙනකන් ඇයිව හොල්ලන්නවත් මට බැරිය. පැටියා ගැලවූ වහාම ඇය පැටියා පස්සෙන් යන නිසා වැඩය පහසුය. ඇත්තටම උන් හරක්ය. වැටවල් පාරවල් උන්ට වැදගත් නැත. අපි කොහෙන් ආවත් නැතත් උන්උන්ට හිතෙන පාරේ යයි. මට කල හැක්කේ උන් එක්ක ඇදී යාම පමණි. ආතා ඒ අතින් ශක්තිවන්තය.

ආතාගේ ඇහේ සුද ආවේ ආතාගේ කරුමයටය. පුංචිගේ වදයට අම්මා සමග ඉස්පිරිතාලයට ගොස් සැත්කමක් සදහා දිනයක් ලබා ගත්තේ බොහොම අමාරුවෙන්ය. හරකෙක් බලන්නවත් ඇස් දෙක පෙන්න එපැයි කියා පුංචි නිතර කියන නිසා ඔහුට එය සිත්විය. මල්ලීත් නොසිටි බැවින් හරක් බලන වැඩය බාරවුනේ මටය. ඇත්තටම මට බාරවුනේ පුංචි හදලා දෙන පුන්නක්කුටික ගෙනිහින් ඔවුන්ට බොන්න දෙන එක පමණි. කෙහෙල් ලෙලි, පරණ බත් සමග අනා දෙන බාල්දි දෙක බෑලු මට අපුලය. මේවා මහපාරේත් ටික දුරක් උස්සන් යන එකට වඩා අවුල එක එකා පාර මැද නවත්තගෙන ආතා ගැන ප්‍රශ්න ඇහීමයි. මගේ අකමැත්ත අසාවක් බවට පත්වෙන්නේ ආතාට දෙන තප්පුලව්ව මටත් ලැබෙන විටයි. පුළුවන් ඉක්මනට උන් දෙන්නා ගාවට යන මා බාල්දි දෙක තිබූ විලස එය සුරුස් ගා ඉවර කරන විට ඇයගේ ඔළුව අතගාන්නේ ඒ අසාවමය. මා ඒ විදි ආස්වාදය…

‘ආතාගේ හරක් දෙන්නා නැතිවෙලා කියන්නෙ‘ අම්මා එදා ගෙදරට ගොඩවුන ආතාගෙන් අසන විට මාත් සාලයට ගියෙමි. මෑතකදී ආතාට එළදෙනුන් 3ක් සිටියහ. මහඑකාට තව පැටියෙක් ලැබෙන්නට හිටියාය. ආතා පැත්තක් බලාගෙන බැරූරුම් විදිහට “ඔවු. පෙරේදා නැතිවුණේ” කියා කතාව පටන් ගත්තේය. මහඑකාත් පැටියාත් අතුරුදන්ව ඇත. දෙවනියා එහා වත්තට පැන බේරි ඇතත් ඇතිවූ කම්පනයට ඌ කෑගහන්නේවත් කන්නෙ බොන්නේවත් නැත. ගමේම එවුන් ආරංචිය අම්මාට කියා තිබුණත් ආතා ගෙදර කාටවත් නොකියා ලැබෙන ලැබෙන තැන් වල විපරන් කර ඇත. මුලු පමුණුවේම කරක් ගසා ආතා හොයාගත් විස්තරය නම් ගමේම හරක් නැති වීඇති බවයි. එවලේම ආතාව ලැහැත්ති කරගත් අම්මා ගියේ බෙල්ලන්විල බෝධියට බාර වීමටයි. ආතාගේ ඕනෑකම නවගමුවේ දේවාලයට යාමටයි. වෙනදාට දේවාලයක් කිව්වත් අම්මාට බැනගෙන යන මා කට වහන් හිටියේ ආතාට කවදාවත් නොලැබෙන හරක් දෙන්නා වෙනුවෙනි. දවස් 7ක් බාර ගෙවීමට නවගමුවටත් බෙල්ලන්විලටත් අම්මා සමග ගිය මුත් ආරංචියක් අවේ නැත. ඉතිරි පැටියාට කෑම දෙන්න ගියත් ආතාට වැඩි කල්පනාවක් තිබ්බෙ නැත.

හරක් මරපු ලොරියක් අල්ලලා ආතා කීවේ පුවත පත්තරේ යන්නත් කලියෙනි. ආතා දැන්වත් හිත හදාගනීවි කියා සිතුවත් වුණේ අනෙකකි. ආතාගෙ රුධිර පීඩනය වැඩිවී නැවත අම්මා සමග ඉස්පිරිතාලයට ගොස් බේත් ගෙනාවේය. දරුවන් දෙදෙනෙකුගේ පියෙක්ගේ ජීවිතය අද එක් එළදෙනෙක්ට පමණක් සීමා වී ඇත.

ප.ලි – මෙච්චර කතාවක් ලිව්වේ පුදුම තරහකින්. තමන්ට වාසිදේ විතරක් අමාරුවෙන් බුද්දාගමෙන් හොයන් සාධාරණීකරණය කරගෙන අනිත් එවුන්ට හූ කියන්නත් බලන් ඉන්නවා.  හරක් මරණ වුන් නෙමේ හරක් මස් කන එවුන්ට වෙඩිතියලා මරන්න ඕනෙ කියලා පනතක් ගෙනාවනාවත් මායි ආතයි පක්ෂව ඡන්දෙ දෙනවා.

තවත් පිටුවක්…

කොහෙම පටන් ගන්නද අවසානයක් මෙහෙම ලියන්න.
කොහොඹ ගහ යට අපේ කන්තෝරුවෙ කරපු දේවල් දෙයියනේ.
මුල මතක නැති වන තරමට අග හරිය මාර ජොලි.
උඹෙන් ඉගෙන ගත් දේ බෙහෙමයි.
අපි මැච් ගැහුවා, පිරිත් ඇහුවා, ට්‍රිප් ගියා කොච්චර සතුටුද?
ඒවායෙ වුන අවාසනාවන්ත සිද්ධි වලදීද්
අපෙ පිටිපස්සෙන් හෙවනැල්ල වගේ හිටිය වුන් දාල එන්ට වුනා.
මේකෙ ලිපි බලලාත් තෝ පල යන්න කියන්නෙ නැතිව
දිගටම ලියපන් කිව්ව ඒ මනු+ස්+සයාවත් තනිකරලා ආවා වගේ හිතෙනවා.
නෙත්ලෝල, කන්ලෝල, මනලෝල හැම ලෝලයකම අය
දාල එන එක ඉතින් ප්‍රිය විප්පයෝගම තමා.
ආයෙ ඉතින් නාවල පාරෙ කරක් ගහන්ට,
කොට්ටං ගහ යට බයිලා ගහන්ට,
තිත්ත මල් පේර කන්ට, කොට්ටම්බයක් තලන් කන්ට
ඔරුවෙ තණකොල අරං යන වුන් බලන්ට…
මෙලෝ දෙයක් නෑනෙ.
එනකොටත් ආයෙත් හැරිලා බැලුවෙ
තවත් පාළුවට යන අපේ මුල්ල දිහා
මම නම් ඉතින් එලියට බැහැලා ආවා.
වරදක් වුනානම් සමා වෙයන්.
උඹලාට ජය!

ප.ලි – දුකයි තමා. දුක්වෙන්න නම් හේතුද නැත්තෙ.

මෙහෙම බැරිද?

දෙයියනේ කියලා ජීවත් වෙන්න
රට්ටුන්ගෙන් කතා හදා ගන්නෙ නැතුව මැරිලා යන්න
හුගක් ඉගෙන ගෙන රස්සාවක් කරන්න ගත්තා.
තව ඉගෙන ගන්න ඕනෙලු
අරක කියවන්න ඕනෙලු
හැම වෙලාවෙම හිතන්න ඕනෙ
අර විභාගෙ කළොත් ගොඩලු
පශ්චාත් උපාධියක් නැත්නම් වැඩක් නෑලු
මැරෙනකන් ඉගෙනගන්න ඕනෙලු
එහෙම නැතුව බැරිද?

කැමති දේ විතරක් ඉගෙනගන්න
ඒ පින්මෙන්ම රස්සාවක් කරන්න
ඒ කැමති දේ කෙනෙක්ට කියලා දෙන්න
අලුත් අවුරුද්ද ජයටම කන්න
මාස හය හතක් නිවාඩු ගන්න
කුඹුක් ගහක් යට නිදාගන්න
නියරක වාඩි වෙලා හුළං වදිද්දි,
කල්පනා ලෝකෙ තනිවෙන්න
ගමේ ගොඩේ ඇවිදින්න
අත්තා කෙනෙක්ගෙ කතාවක් අහන්න
අම්බලමෙදි කවියක් කියන්න
හවසට කඩමණ්ඩියෙ දාම් අදින්න
හත්දවසෙ දෙවොල් මඩුවක නැටුම් බලන්න
පැලක නිදිමරන්න
කොල්ලො එක්ක කැලේ පනින්න
කෙල්ලෙක් එක්ක කතා කරන්න
ප්‍රශ්න ආවාම හිතලා මතලා
ඕන මගුලක් වෙච්චාවෙ කියලා මහන වෙන්න
සංසාරෙම දුකක් වෙලත්
නිවන දුරයි මේ
උපාධියක් හින්දා

ප.ලි – මේවා හිතලා තියෙන රස්සවත් නැතිවෙයිද මන්දා.

මාඋස්සා

ලගකදී සිට මා ගිය සියලු චාරිකා එක පිට එක අසතුටුදායක වුනේ මන්දැයි මා නොදනී. එය පටන් ගත්තේ සප්ත කන්‍යා නැගීම කෙල වීමෙන් පසුව යැයි මට සිතේ. ගැමියන්ගේ පොර ටෝක්, කන්දේ බෑවුම ඉතා වැඩි වීම, දිඹුල් ගාලක් මැද්දෙන් යාමට සිදු විම නිසා ඒ ගමන ප්‍රසන්න එකක් වුනේ නැත. පොර මෙන් එකෙක්ට සෙරප්පු 2කත් දන් දී මීටර් 200ක් 300ක් පළල දුඹුල් ගස් යායක් පහු කල මට කටු ඇනී ජීවිතයම අපායක් විය. ඒ මදිවට ගමේ පාලමක් ගාව කඳවුරු කර ගැමියන්ට බයිස්කෝප් පෙන්නීම නිසා ඒ පැත්තේ දැන් පස් පෑගීමට ලැජ්ජය. බෑන සමනල යාමට ගොස් වුනු අකරතැබ්බය මන් කලින් කිව් නිසා නැවත කියන්න නොයමි. ඒ බාර ඔප්පු කරන්ට වාරයේ සිරීපාදය නැග්ගත් එදා අවු 20කට පසු නුවර එළියේ අවම උශ්නත්වය වාර්තා කලේය. නකල්ස් නැගීම සාර්ථක වුවත් අධික වැස්ස, වතුර නැතිව දුක් විදීම, අම්බානෙකට කූඩැල්ලන් කෑම, පාර වැරදී දුර ගමකට ගොස් විකාර වීම නිසා එයත් මට දුකක් පමනි.

හරි. මාතෘකාව ගස් ගැනය. මට එපා වුන මුල්ම ගස තේක්කය. ලන්සින් විසින් ගෙනාවයි සැලකෙන (මතක විදිහට) කොහොමත් ලංකාවට ගැලපෙන්නක් නොවේ. සමගාම් විසින් ධන උල්පත් ලෙස පෙන්වා දුන්නත් ලංකාව මුඩු බිම් කිරීමට තේක්ක සපයන දායකත්වය සැලකිය යුතු තරම් විශාලය. ඊලගට එපා කරන්නේ පයිනස් හා සර්පන්ටයින්ය. කඳුකරට ලස්සන චිත්‍රයක් ලබා දුන්නද මුලු කඳුකරයම නිසරු කරමින් ඒවා ආක්‍රමනය කරයි. සුද්දොන්ගේ තේ ගස් පවා මට මවන්නේ ලස්සන චිත්‍රයක් නොවේ. නමුනුකුල තේ වතු නිසා වින්ද දුක් තාමත් මතකය. දැරණියගල ඇලි හත බැස එන ගමන් පරිසර ඇමති වුනොත් මුලු කඳුකරයේම පයිනස් ගස්, සර්පන්ටයින් ගස්, තේ ගස් ගලවා කොස්, ජම්බු පැල කර ඒවායේ පලදාව අපිව මහ වැස්සේ දැරණියගලට ගෙනත් දාපු ලොරියට දෙන බවට කිය කියා ආපු බව මතකය.

නමුත් ඒවා සීතල හතුරන්ය. ඒවායින් අපිට කරදරයක් වෙන බව දැනගන්නකොට වෙන්න තියන දේවල් වෙලා අහවරය. අපිට දැනෙන්න කෙල කරන්නේ ලංකාවේ ගස්මය. දිඹුල් පඳුරු නිසා වින්ද වදය මන් පැවසුවෙමි. නුවරඑළිය පීඩෘ කඳවුරට යද්දි අදුනගත්තේ මේ ගස වල් ස්ටෝබෙරි ලෙසය. මල්බෙරි තරම් රසවත් ගෙඩි එන ගසක් වන මෙය වල් ස්ටෝබෙරි ලෙස හැදින්වේ. වල් යන වචනය යෙදෙන්ටත් හොද හොද කතා ඇත. හරි හරි. ඒකත් මාතෘව නොවේ. මාතෘකාව මාඋස්සය.

පටන් ගන්නේ අවසාන චාරිකාව වූ නකල්ස්ය. උදේ පාන්දරින් කොළඹින් පිටත් වී හුන්නස්ගිරියට කොහොම හරි ගියා කියමුකො. එතන සිට මීමුරේ පැත්තට යන්න බස් හෝ වෑන් කට්ටක් සෙට් නොවිනි. වෙන එව්න්ගේ පස්සෙන් ගිය මන් යන පැත්තක් වත් නොදැන සිටියෙමි. අවසානයේ රු600කට 5 දෙනක් බඩු බෑග් සමග ත්‍රීවල් එකකින් අරන් යන්න ඉදිරිපත් වුනි. මට මතක විදිහට අපි යන්නේ ලූල්වත්ත මන්සංදියටයි. එයට යන කැඩුනු තාර පාර වැටී ඇත්තේ දුම්බර රක්ෂිතය මැද්දෙනි. පාර දෙපැත්තේ සූරියකාන්ත, ගඳපාන, බිනර, බෝවිටියා වැනි මන් දන්නා මල් මෙන්ම මන් නොදන්නා වෛවාරන මල් ගනනවාක් පිපී තිබුනේ ලංකාවේ ලස්සන කියා පෑමටය. සැබවින්ම මා ගිය අනෙක් වනාන්තර සමග සසදන කල දුම්බර ලස්සනය.

ලූල්වත්තෙන් බැස්ස අපිට යා හැකි කෙටි මාර්ගයක් පෙන්නුවේය. තාර පාරේ යන එක දුර වැඩි නිසාත් කැලයට ගොස් ඉක්මනින් ඇදුම් මාරු කරගත හැකි නිසාත් අපි කිසි කතාවක් නැතුව කෙට් මාර්ගය දිගේ උඩට නැග්ගෙමු. ඇඳුම් මාරු කරගත් කල්හි වැසි වැටුනෝය. ටික වෙලාවකින් පාර වැරදි බට අපිට තේරුනේ පාර ඉදිරියත් නැති නිසාවෙනි. සුපුරුදු පරිදි සුදුසු දිගාංශටය පල්ලම් බැසීමට පටන් ගත්තෙමු.

බර බෑග් උස්සන් ආපු කට්ටිය පස්සෙන් ආ නිසා තැනක අපි මදක් නතර වී බලාසිටියෙමු. එක පාරටම කඩියෙක් හැපුවා මෙන් දැවිල්ලක් ඇති වුන අතර පිසදා බැලුවද මඩ නිසා කිසිම දෙයක් සොයා ගැනීමට නොහැකි විය. අනිත් එවුන්ටත් මේ මාර්ගයේ සතුන් වර්ගයක් සිටී කියා වෙන පැත්තකින් එන්න කී අපි වහා පල්ලම් බැස්සෙමු. එන්න එන්නම වේදනවා වැඩි විය. කෙතරම් වැඩි වුනාද කිවහොත් අපි බැස්සේ මොලෝ සිහියක් ඇතුව නෙමේ. පදුරු ගාල් කඩාගෙන දිරච්ච අතු උඩින් පැන ඒවා තරහින් කඩා, වැටී වැටී ඉක්මනින් තාර පාරට ගියෙමු. පාර දිගේ ගලාඑන වතුරෙන් සේදුවත් වේදනවා කිසිත් අඩු නොවිය. එකෙක් කිව්වේ අපි ආවේ කහඹිලියා ගාලක් මැද්දෙන් කියාය. කහඹිලියා කහනවා කියා අසා තිබුනද මෙසේ වේදනා දෙනවා කියා අසා තිබුනේ නැත. යෝජනාව වූයේ පාරේ උඩට ගොස් වතුර පාරකින් නා ගැනීමය. බූව ඔඩු දිව්වොත් වැඩේ බරපතල වන බැවිනි.

පාලමක් යටන් යන ඇල පාරක් දැක මන් වහා බෑග් එක විසි කර කමිසය විසික් කර අත හේදුවේමි. දැවිල්ල ගතිය වැඩි වුනේ ඇසට කදුලු එක් කරමිනි. හෝදන්න හෝදන්න දැවිල්ලෙ වැඩි වීමක් මිස අඩු වීමක් නොවීය. ඊ ලග යෝජනාව වූයේ භූමිතෙල්ය. තෙල් බෝතලය පල්ලෙහාට ගෙන්න ගත් මන් තෙල් ටිකක් මූඩියට ගෙන අතට හලා ගත්තෙමි. එය අතේ ගා ගත් විට දැවිල්ල මදක් අඩු විය. පිහියකින් සීරීමට යෝජනා විය. උඩට ගිය මන් පිස්සෙක් මෙන් පිහියක් හොයා ගෙන තෙල් ගෑ අත පිහියෙන් සීරුවෙමි. අත කපා දැම්මානම් හොදයි කියා සිතෙන තරමට රිදුන් දුන්නා පමනි. සියල්ල උඩට පැමින නැවතත් ගමන පටන් ගත්තෙමු. යන්න කලින් පැනඩෝල් 2 බැගින් ගත්තේ කෝකටත් තෛලය ලෙසයි.

කෝබට්ස් ගැප් පැත්තට එන කොට මට සෑහෙන්න අමාරුය. අපේ එවුන් කදවුරු කරමු යැයි කීවේ හොදට හුලන් එක කපොල්ලකය. එතන හිටියොත් හීතලෙන් මැරෙයි. අවසානයේ අපි පහලට බැස්සේ ඈත පෙනෙන හිස් ගෙයක් වැනි තැන කවුරුත් නොහිටියොත් නිදා ගැනීමටය. නමුත් එය දෙමළ ගෙයක් විය. එහි කාන්තාවගෙන් මෙයට ප්‍රතිකාරයක් ඇසුව නමුත් ඇය කීෙව් එයට කල හැක්කක් නොමැති බවයි. හෙට මේ වෙලාව වෙන විට හොද වෙයි කිව්ව විට මට හිතින් කෑ ගැස්සුනි. තෙල් ටිකක් ගා සූරන්න කිවාය. ඇය ළමයා ගෙනා තෙල් බෝතලය දුන් නමුත් එහි තෙල් කදුලක් හෝ නොවීය. කමක් නෑ අපි මාගරින් ගාලා කපන්නම් කියා ඇයට පිටත් වුනි. කූඩාරම් ගැසිමට තැන් ලැබුනත් ඒවායේ නැවතීමට තරම් හැකියාවක් නොමැති බැවින් කතාවක් නැතිවම පල්ලම් බැස්සෙමු. වැහි පොදයක් නොගියාම නොවේ. අවසානයේ ප්‍රජා ශාලාවක් අපේ නවාතැන විය.

කූඩාරම ගැසීමට කට්ටියක් ගිය අතර අනිත් එවුන් වතුර ගෙන කැඳ හැදුවෝය. වතුර රත් වෙන ගමන් එකෙක් මගෙ අතේ මාගරින් ගා පිහියෙන් හීරුවේය. තවත් වේදනාවක් පමනක් විය. මාගරින් ගෑම නිසා අත මාගරින් සුවද ගැසීය. මන් කූඩාරම ගැසූ පසු මම නම් ඒකට ගොස් නිදා ගන්න බැලුවෙමි. පෙරලෙන පෙරලෙන විට වේදනාව වැඩි විය. බලෙන් නිදාගන්න හැදුවත් නින්ද ගියේ නැත. ටික වෙලාවකින් අනිත් එවුන් මාව නැගිටවා කැද එක දුන්නේ පැනඩෝල් සමගය. ඒක බොන්න පෙර එලියට බැස්සෙ සැනසෙන්නය. හීතල හුලගට ආවරනය වුන විගස නැවත ඉදිකටු අනෙනේනා ලෙස ඇදුම් කෑවේය. ඒ වැඩය ඉවර වුන විගස මන් කූඩාරමට පැමින තිබුන විස්කෝතු දෙක තුනක් සමග මෙලෝ රහක් නැති කැඳ එකක් බී පැනඩෝල් 2ක් බිව්වෙමි. කට්ටියම නිදා ගන්න උත්සහ කලෝය. නමුත් වේදනාව නිසා එයා වුයේ නැත.

එකෙක් යෝජනා කලේ ලුනු ඇතිල්ලීමයි. ලුනු වලට විස බස්නා ගුනයක් ඇති බැවින් කට්ටිය ලූණු පෙති කපා අතුල්ලන්න ගත්තෝය. එය ඇතිල්ලීම නිසා අත යටි පැත්තේ කොටසක වේදනාව අඩු විය. එය තේරුන විලස කවුරුත් හිත හදාගෙන ලූණු උරච්චි කරන්න විය. එයින් වුනේ ලූනු ඉස්ම නිසා දැවිල්ල වැඩි වීම හා කූඩාරම පුරා ලූණු ගද ගැසීම පමනි.නිදා ගන්න ගත් සියලු උත්සයහයන් අසාර්ථක විය. පසුව එක එකා කතන්දර කියන්න පටන් ගත්තෝය. නමුත් එය ඇහැරී ගියේය.

මේ වන විටත් ජාති දෙක තුනක් ගා තීබූ මගේ අත කුණු ගද ගසන බව මටම තේරුනි. බැරිම තැන මම කිව්වේ උණු වතුරෙන් ඇග තැවීමටය. එය ක්‍රියාත්මක වුනේ පාන්දර 4 පමනය. කෙසේ හෝ එය නිසා කට්ටියට හොදට පැය එකාහමාරක් පමන නිදා ගන්නට පුලුවන් වුනි. නැගිට්ට විලස කට්ටිය කතා වුනේ සියලුම ගමන් අත්හිටුවා ගෙදර බලා පලා යාමටයි. දෙදෙනෙක් ගොස් පාරේ ආ වෑන් රථයක් නතර කර අපේ දුක කියා තිබුනි. මෙය කහබිලියා නොව මාඋස්සා බව මුලින්ම කිව්වේ එහි රියදුරුය. කහබිලියා, බලු හුජ්ජ වැනි ගස් ගෑ වුන විට පැය 2ක් පමන කසන බවත් මාඋස්සා ගෑවුන විට දවස් 4ක් වේදනා දෙන බව ඒ උන්දෑ කිව්වේය. අපිට ඇඩුනි.

පැය භාගයක් ඇතුලත කූඩාරම් ගලවා අස්පස් කර අපි වෑන් රථයට ගොඩ විය. මග දිගට මේ ගස් ගැන ඇසුවත් කිසිම සතුටු දායක පිලිතුරක් ලැබුනෙ නැත. මා උස්සා යනු පාවට්ටා (ආඩතෝඩ) ගසට සමාන බූව ඇති ගසකි. මෙය දුම්බර පෙදෙසට පමනක් ආවේනික විශේෂයකි. මෙයට කිරීමට ඇත්තේ පොල්තෙල් ගා සීරීම පමනි. මෙයට ඇල් වතුර විසය. පොල්තෙල් ගා පහන් දැල්ලට ඇල්ලීම කල හැක. නැත්නම් පොල් ගා පූසාට කන්න දුන්විට පූසා විස උරාගත් පොල් ටික කයි. මේ දෙකම අපිට හරි යන්නේ නැති ගොඩ වෙදකම්ය. වෑන් එක තේ බොන්ට නතර කල පසු එහි මුදලාලි කිව්වේ දැනට දින 3කට පෙර තමාගේ කකුලේත් මාඋස්සා ගෑවුන බවත් එයට වෙදකමක් නැති බව වෙද මහත්තයාත් කිව් බවත්ය. නමුත් දේශගුණය වෙනස් වන විට මෙය එහා මෙහා විය හැකි බව රියදුරා පැවසීය.

කෙසේ හෝ නැවත හුන්නස්ගිරියට පැමිනි අපි පෙර දා දවල්ට කෑ කඩෙන්ම උදේට කෑවෙමු. කා අත සේදීමට ගිය එවුන්ගේ මූණු ගොරකා මෙන් විය. කඩේ කෙනෙක් පැවසූවේ නම කිව්වොත් දවස් දහයක් වැඩි වන බවය. ලගම රෝහලට යාම, කොළඹ සිටින දන්න කෙනෙක්ගෙන් බේතක් අසා ගැනීම, හොද වේදනා නාශකයක් ගැනීම වැනි යෝජනා ගනනාවක් විය. දෙදෙනෙකු ගොස් කොහේ හෝ තැනකින් පෙති වගයක් ගෙනා අතර අපි ඒවාත් බිව්වෙමු. අල්ල පනල්ලේ අපි මහනුවරට පැමින කොළඹට පැමිනියෙමු. කොතරම් රස්නය තිබ්බාත් දාඩිය මදක් හෝ දැම්මේ නැත.

එකෙක් කොළඹ මහා රෝහලෙන් බේත් ගන්න පිටත් විය. ගෙදර පැමිනි විගස මා පූංචිට විස්තරය කියා ඇගේ පොල්තෙල් ගා කපන වැඩේ පටන් ගත්තෙමි. පානක් පත්තු කර තෙල් රත්කර එය ගා පිහියෙන් සීරුවේය. මුලදී රිදෙන මුත් පසුව එය අඩු විය. කොහොමත් මොනා හෝ ගාන විට වේදනාව අඩු වේ. එය වේලෙන විට නැවත වේදනා දේ. පුංචිගෙ පුතාව වෙද මහතෙකුට පෙන්න බවත් මටත් ආවා නම් බේත් ගන්න පුලුවන් බව පුංචි පැවසීය. නමුත් පොල්තෙල් නාගෙන එහි යන්න බැරි බව මන් පැවසුවෙමි. එවිටත් මන් එක අතක පොල්තෙල් සත්කාරය දී තිබුනි. නම කීමට නුසුදුසු බැවින් මගෙන් එය කොල කෑල්ලක ලියා ගත් ඈ වෙද මහතාට පෙන්වා ඇත. ලෙඩා බැලිය යුතු බව මට දුරකථනයෙන් කිව් බැවින් පොල්තෙල් ඇගපුරාම ගාගෙන කමිසයක් ඇද වෙද ගෙදරට පිටත් විය.

වෙද මහතා විස්තර අසා මෙයට ප්‍රතිකාරයක් තමන් නොදන්නා බවත් සිද්ධාන්තානුකූලව දහඩිය මගින් විස පිට කර ඇග තෙල් වැනි දෙයකින් තෙතමනයෙන් තියෙන මෙන් උපදෙස් දුනි. මාව හුමාලය මගින් සම්බාගහනය කර දහඩිය පිට කරන ලදී. ගෙදර ගොස් උණුවතුරින් නා තෙල් ආලේප කරන මෙන් අවවාද කලේය. දහඩිය පිට කිරීමට කුරුඳු කොල හූමාලය අල්ලන ලෙසත් කීෙව්ය. ගෙදර ආ විගස උණුවතුර නා බුලත් කොලයකින් පොල්තෙල් ආලේප කර නින්දට වැටුනි. මහ රෑ පැදුරේ එහාටයි මෙහාටයි පෙරලි පෙරලි සිටි මා නැගිටුනේ හීනෙන් බය වුනු මෙනි. වේදනාව මෙන්ම රස්නයත් නිසා මන් වැනි වැනී සාලයට ගියේමි. එහි විදුලි පංකාව යට පුටු සැටියේ දිගාවුනු මම නිදාගත්තෙමි. නැවත සැරයක් නැගිටින විට තාත්තා පැමින සිටියේය. තැඹිලි ගෙඩියක් මතුරා ගෙනත් තිබුන අතර අදික පිපාසාවෙන් සිටි මම එය බීගෙන ගියෙමි. තාත්තා විසින් බුදු පාන අසල තියා තිබූ තැඹිලි තෙල් කුප්පියක් ගෙන මගේ අතේ තෙල් ගෑවේය. එයින් පසුනම් මට හොදින් එලිවෙනකන් නින්ද ගියේය.

මේ ලියද අදට සති 2ක් ගත වී ඇතත් තාමත් අත පය තැන් තැන් දන්න ගනී. අවසානයේ මට මතක් වෙන්නේ නරියෙක් කී කවියකි. මල පහරන්න ගිය නරියාගේ පස්සේ කහඹිලියා කොලයක් ගෑ විය. වේදනාව නිසා නරියා කීවේ මෙහෙම කවියකි.

එක පත්‍රං දෙපත්‍රංච
ත්‍රික පත්‍රං මහා බයං
මේකේ මලක් පිපුනෝතින්
සර්වලෝකේ විනස්සතී

ප.ලි – නරියාට මාඋස්සා ගෑ වුනා නම් කැලේ මාරු කරනවා නිසැකය.

Previous Older Entries

%d bloggers like this: