මෙලොව පොල්

හැම එකාම පොල්වල ගණන් කතා කරන නිසා මට හිතුණා පොඩිකාලේ වගේ පොල් ගැන රචනාවක් ලියන්න. මේක දේශපාලන සාකචඡාවක් නෙමේ.  පොඩි එකෙක් වගේ මට හිතෙන දේවල් ලියලා දැම්මා.

පොල් පරිභොජනය කවදා කොහෙන් පටන් ගත්තාදැයි මම නොදනිමි. Wikipedia ට අනුව ලෝකයේ පොල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් වලට ලංකාවට හිමිව ඇත්තෙ 7වන ස්ථානයයි. නමුත් ප්‍රතිශතයක් වශයෙන් පොල් පාරිභොජනය අතින් ලංකාව ඇත්තෙ ඉදිරියෙන්ම බව මගේ මතයයි. ලංකා වාසීන් පොල් භාවිත කළේ ලංකා ඉතිහාසය ඇරඹෙන මීට අවුරුදු 30000කට පෙර යැයි බොරු කිවීමට මම උත්සහ නොගන්නෙ එය ඇත්තටම මම නොදන්නනා නිසාය. කෙසේ හෝ හෙළයන් පොල් භාවිතයට ඇත්තේ අවුරුදු 1000ක 2000ක අතීතයක් නොවන බව නම් සත්‍යකි. සිංහලයන්ගේ බල බිඳිමට ලන්දේසීන් ගෙනා දෙල් වලින් හෙළයන්ට කරදරයක් නොවුයේ පොල් නිසා බව නොරහසකි. උයන පිහන හැම මගුලටම ලංකාවේ එවුන්ට පොල් අත්‍යාවශ්‍යය. පොල්කිරි දැමූ හොද්දක් නොසෑදූ කැම මේසයක් නොමැති තරම්ය.

කෙසේ හෝ මම කීමට බලාපොරොත්තු වන්නෙ පොල් ගෙඩිය ගැන නොවේ. ඒ ආශ්‍රිතව මිනිසුන්ගේ නිර්මාණ ගැනය. පොල් ගෙඩියේ ඇටයේ මදය ආහාරයට ගත හැකි බව එය සුද්ද කරගත් වඳුරෙක්ටත් තේරුම් ගැනීමට පහසුය. (පොල් ලෙලි ගසාගෙන කන වඳුරන් හෝ වානරයන් ඉන්නවා යැයි මා නොදනිමි.) නමුත් එම මදයෙන් ඉතා සිහිනියට ගාගෙන එය වතුර සමග මිරිකා එළකිරි වගේ පොල්කිරි ලබාගත හැකි බව සොයා ගත් මිනිසා විශිෂ්ටයකි. එසේ පොල් ගා ගැනිමට සදා ගන්නා හිරමනය නැමැති සරල උපකරණය ගැන සිතුවාද? එය කොතරම් සරලද? පොල් මිරිකීමට භාවිතා කරන කිරිගොට්ට කෙරම් සරලද? එමෙන්ම පොල් වලින් තෙල් ගැනීමට පුළුවන් යැයි මිනිසා සොයා ගත්තේය. එයට හිරමනයට වඩා විශිෂ්ට නිර්මාණයක් වූ සෙක්කුව නිර්මාණය කෙරිණ. සිතා බලන්න. පොල්තෙල් ලබාගැනීමට මම කුඩා කාලයේ පැලපොල් ගැනීමෙන් පසුව ඉතිරි වන පොල්මධයෙන් උත්සහ කර තිබේ. එය පහසු වුයේ නැත. එයට සෙක්කුවට වඩා සරල උපකරණයක් (සෙක්කුවෙ යාන්ත්‍රණය නොමැති) අද වන විටත් සාදා නැත.

පොල් මලෙන් රා ගැනීමට පුළුවන් බව සොයා ගැනිම අනෙක් විශිෂ්ට සොයා ගැනීමය. මල්වලින් පැණි ගන්නවාට වඩා වෙනත් ආකාරයකට රා ලබා ගන්නා බව ඔබ හොදටම දන්නා කාරුණකි. එසේ ලබා ගන්නා රා වලින් පැණි සදාගැනීමට පුළුවන් බවත් සොයා ගෙන තිබේ. රා බිව්ව විට මත්වන බවත් ඒවා පරණ වූ විට විනාකිරි සෑදෙන බවත් එතරම් විශිෂට නිර්මාණයන් නොවන්නෙ ඒවා වෙහෙස මහන්සි වී සොයා ගත් ඒවා නොවන නිසාවෙනි. නමුත් විනාකිරි ආහාර වලට දැමිය හැකි බව සොයා ගැනීම වටින්නේය. එයත් අහම්බෙන් කල සොයාගැනීමක් වන්නට ඇත. පොල් අරක්කු ලෙස වෙළද පොළේ තිබෙන්නෙ 100%ක් පොල් අරක්කු නොවන අතර වැඩි ප්‍රමාණයක් එතනෝල් මද්‍යසාර එක් කල මද්‍යසාර බව සිහිපත් කිරීමට කැමතිය.

අතීතයේ ගම්වැසියන් වහලයට හෙවිලි කළේ පොල් අතුය. පොල් අත්ත එලෙස විවිමට හැකි බවත් එසේ වියා වහලයට දැමිය හැකිබව දැනගත් හෙළයන් විශිෂ්ටය. අනෙක් වාසීන් ශාක පත්‍රවලන් සාධනා වහල මෙන් නොව පොල් අතු වහලය. පොල්අතු වියා එවා තැබීමට රීප්ප බැද වියූ පොල් අතු පිලිවලකට තබා සාදන විශිෂ්ට නිර්මාණයකි.
සුද්දන්ට මිථ්‍යාවන් ලෙස පෙනන අපේ ශාන්තිකර්ම හා අනෙක් සංස්කෘතික, සම්ප්‍රදායික උත්සවයන් සදහා භාවිතා කරන පොල් සෞභාග්‍යයේ සංකේතයයි. පොල් මල හා ගොක් අතු එවන් වැඩ සදහා යොදා ගන්නා වෙනත් ජාතියක් මම නොදනිමි. (ළිදේ ඉන්න මැඩිය වගේ මම දන්නෙ ලංකාව ගැන පමණි.) ගොක් අතු භාවිතයෙන් සාධනා කැටයම් වල විශිෂ්ටත්වය කිවයුතු නැත.

තවත් බොහෝ දේවල් ලිවීමට ඇත. අනාගතයේ නොව වර්තමානයේද පොල් ගස කප්රුකක් වී ඇත.

ප.ලි – රචනා සදහා කුඩා කල මට ලකුණු ලැබිලාම නැත. සිංහල වලට ලකුණු 60ට වැඩි වී නැත. ඒ නිසා දැන් රචනා ලියමි.

%d bloggers like this: