අවසන් ලියුම

______________,
______________,
___________ පාර,
______________.
20__/__/__.

_______මෙනවිය,
_____________,
__________ පාර,
_____________.

හිතවත් මෙනවිය,

ඔබට කලින් දැනුම් දී තිබූ පරිදි 20__/__/__ දින සිට ඔබ කෙරෙහි මා හට පිළිබද සිතක් පහළ වී තිබුණි. ඒදා සිට මාස __ක් ඔබගේ හැසිරීම හා ගතිගුණ පරීක්ෂා කල අතර ඒ සියල්ලෙන් ඔබ විශිෂ්ට ලෙස සමත් වූ බව නැවත දැනුන් දෙන්නේ හද පිරි සතුටිනි.

ඔබ හට මා විසින් ලිඛිත පරීක්ෂණයකට අයදුම්පතක් එවූ අතර එයට ඔබ එකඟ වූ තැන් පටන් ඔබ හා මා අතර පැවැත්වූ සියලුම ලිඛිත හා වාචික පරීක්ෂණ වලින් ඔබේ සුදුසුකම් මනාව දක්වන ලදී. ඒ අනුව 20__/__/__ දින මා ඔබට අවසන් වාචික පරීක්ෂණයකට කැදවුවද එය කාරුණිකව ප්‍රතික්ෂේප කල බැවින් එය දින නියමයක් නැතුව කල් දැමුවෙමි. එයින් දින __කට පසුව එය නැවත පැවැත්වීමට යෝජනා කළත් එවැනි පරීක්ෂණ සදහා අකමැති බව ඔබ මට ලිඛිතව දැනුම් දුන් බැවින් එම පුරප්පාඩුව සදහා කෙරෙන බදාවා ගැනීම් නතර කරන ලදී. නමුත් 20__/__/__ දින හදිසියේ කැදවූ පරීක්ෂණයට ඔබ සහභාගී වු අතර එයින් ඔබ ප්‍රකාශ කර සිටියේ මෙම පුරප්පාඩුවට තමා අර්ථ විරහිත බවත් ඒ සදහා තමාට කල හැක්කක් නොමැති බවත්ය. ඒ කෙසේ වෙතත් නැවත දෙතුන් වරක් ඔබ මෙයට අකමැත්ත ප්‍රකාශ කිරීමත් ඔබ හා තිබූ සියලූම සංනිවේදන කටයුතු ඔබ විසින් වළක්වා තබූ බවත් සදහන් කරන්නේ හද බැදි දුකෙනි.

මෙසේ දිගින් දිගටම ඔබ හා කටයුතු කිරීමට අප ආයතනය අකමැති බැවින් මේ සදහා යොදා ගත් සියලූම මානව හා භෞතික සම්පත් නැවත කැදවනු ලැබේ. මේ ලිපිය ලැබී දින __ක් ඇතුළත ඔබ විසින් යහපත් ප්‍රතිචාරක් දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නොවුවහොත් මෙය සිදුකීරීමට නියමිත අතර එයට බාධා පැමිණවීම හෝ බාධා පැමිණවීමට අනුබල දීම හෝ සිදුකළහොත් අප ආයතනයේ ව්‍යවස්ථාවට අනුකූලව නීතිප්‍රකාරව නඩු පවරා අච්චු කරනු ලැබේ.

බෙහෙම ස්තුතියි!

මෙයට,
තාමත් සේවයේ නියතු,

__________________
මානව සම්පත් කළමනාකරු,
මගේ හිත.

ප.ලි – මෙය 20__/__/__ දින වෙනත් අයවලුන් කිහිප දෙනෙකු විසින් යෝජනා කරනු ලැබූවක් වන අතර මා විසින් 2012/10/29 දින ලියා ප්‍රසිද්ධ කරන ලදී.

සැප වෙත ලියමි

සැප,

ඔබ සතු‍ටින්ද? කලිකින් නාවේ මන්ද? මාව අමතක වෙලාවත්ද? හුගක් කට්ටිය මාව අමතක කරලා. ඊයෙ පෙරේදා ඉදන් විවේකයත් මාත් එක්ක තරහ වෙලාද කොහෙ‍ද.

පොඩි කාලෙ ඉදලා ඔයයි,මායි විවේකයයි හොද යාළුවො. කොච්චර ගැළපීමක්නැතත් අපි එක හිටියා. පොඩීම කාලෙ මොන්ටිසෝරි යනකොට විවේකය අපෙන් ඈත් වේනන පටන් ගත්තා. ඒත් ‍එහෙටයි, ඉස්කෝලෙ යද්දියි එයා අපි එක්කම ආවා. හවසට ගෙදරදි අපි හම්බවුණා. 5 වසර ශිෂ්‍යත්වෙ විභාගෙ කාලෙ එයා එච්චර හම්බවුණේ නැතත් ඊට පස්සෙ එයා අපිත් එක්කම හිටියා.අඩුගානේ උසස්පෙළ කාලෙදිවත් එයාට අපිව අමතක වුණේ නෑ. දෙවනි පාර උසස්පෙළ කරද්දි ගෙදරදි පොත් දිග ඇරගෙන මනෝ ගහද්දියි දවල්ට ඇතිවෙන්න නිදාගනිද්දියි එයා මගේ හොදම යාළුවා වෙලා හිටියා.

මම දැන් රස්සාවකට යනවනෙ. එහෙදි සල්ලි කියල කෙනෙක් හම්බවුණා. එයාව තමා මේ දවස් වල ආශ්‍රය. එහෙ හුගක් කට්ටිය එයාව ලගින්ම ආශ්‍රය කරනවා. එයා නම් කියනවා ඔයාව හොදට අදුනනවා කියලා. එයා විවේකයට එච්චර කැමති නෑ වගේ. එයාව ආශ්‍රය හින්දද මන්ද විවේකය මාත් එක්ක තරහ වෙලා ඉන්නෙ. සල්ලි ආශ්‍රය කරපු හුගක් කට්ටිය එක්ක විවේකය තරහයිලු. අනේ මන්ද, මට නම් එයාව තරහ කරගන්න ඕනෙ නෑ. ඔයාට පුළුවන්නම් ආයෙ එයාව මාත් එක්ක යාළු කරලා දෙන්න. ආදරයත් ආදරයෙන් මතක් කළා කියන්න. මම කොච්චර කැමති වුණත් එයා නම් මට ආයෙ හම්බවෙන එකක් නෑ. කැත එවුන්ට කොහෙද එහෙම පිනක්. එහෙනම් මම නවතින්නම්.

ඔබට කතරගම මහසෙන් පිහිටයි!

මීට,
දුක

ප.ලි – එන 4 වෙනිදට විශ්වවිද්‍යාලයේ ගොයින්ඩවුන් එක තියෙනවා. ඔයායි විවේකයයි එකට ඒවි කියලා මම බලාපොරොත්තු වෙනවා. පුළුවන්නම් අරයටත් ඇවිල්ල යන්න කියන්න.

%d bloggers like this: