ඉරිදාට…

අද දවසත් පුළුවන් ඉක්මනට ගෙවිලා යාවි.
ඇයි මං ඉරිදට මෙච්චර ආදරේ
සතියෙ දවස් පහට අච්චර අකමැති?
කොයි දවසටත් පැය 60යි. හෝරා 24.
ඒත් මට ඒක තේරෙන්නෙ නැති හැටි.
මංම මවාගත්ත ලෝකයේ
සතියෙ දවස් 5 මමම අකමැති වෙලා.
ඉරිදට විතරක් කැමති වෙලා.
කොච්චර වැඩ තිබ්බත්
ඉරිදා තියෙන නිහඩ බවට තනිකමට
මන් හරිම ආසයි.
මං කැමති හින්දම ඉරිදා මාව දාලා යනවා.
සඳුදා අඟහරුවාදා මගෙ වටේ කරකැවෙනවා.
ඉරිදට අකමැති අයත් ඇති.
හුගක් අය වගේ,  මං තාම බලන් ඉන්නෙ සිකුරාදා එනකන්.

.ලිඇවිල්ලා ඒකත් ඉවර වෙනකන්.

යහපාලනේ

සල්ලි ටිකක් ගන්න බැංකුවට ගියා
NDB එකක් නෑලු WTC එකේ
කවුද යකෝ මුදල් ඇමති?
මේකද යහපාලනේ?

හවස පට්ට බඩගිනී
කන්න PNS එකට ගියා
ඔක්කොම කෑම ඉවරයි
මේකද යකෝ යහපාලනේ?

එලියට බැස්සම හොදටම වැස්ස
අපි යනවෙලාවටම වහිනවා රෙද්ද
මොකටද අපි මුන්ට ඡන්දෙ දුන්නෙ?
කැබිනට් ඇමතිලා අච්චරලු මෙච්චරලු
වැස්සට වග කියන්න එකෙක් නෑ
මේකද යහපාලනේ?

තෙමීගෙනම ස්ටේශමට දිව්වා
කෙහෙල් ලෙල්ලක් පෑගිලා තව පොඩ්ඩෙන් හොම්බෙන් යනවා
මිනිහෙක්ට පාරෙ යන්න නෑනෙ
මේකද යකෝ යහපාලනේ?

විනාඩි 5යි පරක්කුවුනේ
කෝච්චිය ගිහිල්ලා
මේකද යහපාලනේ?

ඔක්කොම කරලා මේක දාන්න හදනකොට
ඉන්ටර්නෙට් එක සොලෝ
මේකද යකුනේ යහපාලනේ?

ප.ලි – අනේ මන්දා මෙහෙම ගිහින් දවස් 100ට පස්සෙ මුන් මොනා කරාවිද කියලා.

අනාගතේ බැනුම් අසයි

මට ඕන විදිහට උඹව හදාගන්න
මන් කොච්චර හැදුවත්
හැමදාම තෝ හැදුනෙ
වෙන එවුන්ට ඕන විදිහට
එක එකාගෙ විදිහට තෝ නටනවා නම්
මන් තෝව අතෑරලා දානවා
තෝ නටපන් ඕන විදිහකට
හැබැයි මාව පච නොවෙන විදිහට

ප.ලි – අනේ මන්දා තෝ කවදා හැදෙන එකෙක්ද කියලා

ඒ කාලෙ සිද්ධ වෙච්ච කතාවක් මේ

පොඩි කතාවක් මතක් වුණා. ඔන්න යටගිය දවස බරණැස් නුවර තිබ්බ රටේ එක රජ කෙනෙක් රජකම් කරගෙන යනවා. (දැන්අහන්න එපා බ්‍රහ්මදත්තද කියලා. එයා නෙමේ.) ඉතින් මේ රටේ හැමෝම කළේ ගොවිතැන. එදා වේල කාලා ඉන්න ගොවියන්ට සල්ලි ඕන වුණේ ඇදුමක් ගන්න, ආයුධයක් හදාගන්න, තොරොම්බල් කෑල්ලක් ගන්න වගේ දේවල් වලට විතරයි. උඩට අඳින එක රජතුමා තහනම් කරලා තිබ්බ නිසා ඇදුම් වලටත් වැඩිය වියදමක් නෑ. රජතුමාගේ නීති තමා නීති. ඒවා කොහෙවත් පොතක ලියලා නෑ. එතුමාට හිතුණ විදිහට තමා තීන්දු දෙන්නෙ. සමහරකට මේකෙන් අසාධාරණයක් නොවුනාම නෙමේ. රටේ කසාද බඳින්න පුළුවන් රජතුමාට විතරයි. ඒක නිසා රජතුමාට දෙතුන් දෙනෙක්ම හිටියා. රජතුමාට රටේ දෙතුන් පලක මාළිගා තිබ්බා. වෙන මිනිස්සුන්ට මාළිගා වගේ ලොකු ගෙවල් හදන්න බෑ. කටුමැටි ගෙවල් තමා ඒගොල්ලො හැදුවෙ. අඩුගානෙ සුදු හුණුගාන්නවත් දුන්නෙ නෑලු. රජාට යන්න දෝලාව, අස්සයො, අලි වගේ වාහාන තිබ්බා. මිනිස්සු ගියෙ පයින්ම තමා. මොනා වුණත් ඉතින් රජානෙ කියලා මිනිස්සු ඕවා වැඩිය හිතන්න ගියෙ නෑ. කාලා බීලා හිටියා.

ඔන්න දැන් තමා කතාවෙ හොදම කොටහ. මේ රටට හුගාක් දුරින් තියන රටක නැවක් කුණාටුවකට අහුවෙලා හෙම්බත් වෙලා මේ රටට පා වෙලා ආවා. ඒ නැවියො දැක්ක රට්ටු ඒයාලාට හොදට සැලකුවා. ටිකක් විපරම් කරලා බලපු නැවියන්ට තේරුණාමේ රටේ ඉන්නෙ දුෂ්ට රජ කෙනෙක් කියලා. එක නැවියෙක් ගමරාලට කරුණු පැහැදිලා කළා. මෙහෙ හරියට නීතියක් නෑ. එයාට විතරයි මාළිගා. එයාට හොදයි කියලා හිතෙන නීති. එයා වගේ ලස්සනට අදින්න ඔහේලා කැමති නැද්ද? උඹලා හැමදාම ගොවිතැන් කරලා හිටියොත් ළමයින්ටත් ඔහොම තමා ඉන්න වෙන්නෙ. එහෙම නෙමේ උඹලාත් දියුණු වෙන්න බලපන්. එතකොට අනාගතේ උඹලාටත් දෝලාවක යන්න පුළුවන් වේවි කියලා කිව්වා. ගමරාලටත් තේරුණා මේ රජා ඉන්නකන් මුකුත් කරන්න වෙන්නෙ නෑ කියලා. ගමරාල මේක ගම මහගේට කිව්වා. ගම මහගේ කෝරළේගෙ නෝනාට කිව්වා. ඔහොම ඔහොම මුලු රටම මේ දුෂ්ට රජාගෙ දුෂ්ට කම් දැනගත්තා. වෙන මොනා වෙන්නද? මිනිස්සු කැරැල්ලක් ගහලා රජාව අල්ලලා මැරුවා.

එදයින් පස්සෙ ඔක්කොම වෙනස් වුණා. රජා කියන නමම අයින් කරලා ජනාධිපති කියලා ඔක්කොම කැමති එක්කෙනෙක් පත්කළා. දැන් නීති තියෙන්නෙ පොතේ තියන ඒවා විතරයි. ඕන කෙනෙක්ට නීතියෙන් එක්කෙනෙක් කසාද බදින්න පුළුවන්. ඕනකෙනෙක්ට තම හැකි පමණින් ගෙයක් හදාගන්න පුළුවන්. තමන්ට කැමති විදිහට අදින්න පුළුවන්. වාහනයක් ගන්න පුලුවන්.

දැන් ඉතින් ගෙයක් හදන්න ගොවිතැන් කරලා මදි. සල්ලි හොයාගන්න මිනිස්සු වෙන රස්සා කරන්න පටන් ගත්තා. එකෙක් ලොකු ගෙයක් හැදුවාම අනිකා ඊට වඩා ලොකුවාට හැදුවා. එක ගේක මගුලක් කන්න ගිය ගානට වඩා අනිත් ගෙදර මගුල් කෑවා. පුලු පුළුවන් විදිහට ලොකු ලොකු වාහාන ගත්තා. සල්ලි මදිවෙනකොට සල්ලි තියෙන කට්ටියගෙන් පොලියට ගත්තා. ඒ සල්ලිගෙවන්න ආයෙ රස්සා කළා. පස්සෙ කාලෙක මිනිස්සුන්ට තේරුණා රස්සාවෙන් එන පඩියට කවදාවත් ජීවත් වෙන්න බෑ කියලා. මිනිස්සු උත්ඝෝෂණ කරන්න ගත්තා ජනාධිපති ඉස්සරහ. අනේ ඔය ඇති කතාව. ඉතින් ඒ මිනිස්සු හුගාක් කල් සතුටින් ජීවත් වුණා.

ප.ලි – මෙච්චර කියලත් එපා වුනේ නැත්නම්, වෙන වැඩක් නැත්නම් උක්ත රජු හා වර්තමාන ජනාධිපති විමසන්න.

වෙන කාගෙද

අපේ ලෝකය හරිම ලස්සනයි. හරියට දිව්‍යලෝකයක් වගේ. අපි ගෝත්‍රික ජනතාවක් තමා. ඒත් අපි සොබාදහමත් එක්ක හොදට ජීවත් වුණා. ගහ කොළ සතාසිව්පාවා පවා අපිත් එක්ක හුගක් සමීපයෙන් කල් ගෙව්වා. වෙන කාගෙවත් ලෝකයක් අල්ලන්න සිහින මැව්වෙ නෑ. කාටවත් කරදරයක් නොවී දෙයියනේකියලා හිටියා.

ඒත් එකපාරටම වෙන දේසෙක එවුන් ටිකක් ඇවිල්ලා මේක උන්ගෙ විදිහට හදන්න ගත්තා. උන් අපේ තිබ්බ ගෝත්‍රික අදහස් පිළිකුල් කළා. අපිව පෙනුණෙවනචාරීන් විදිහට. උන්ට ඕන වුණේ අපේ ලෝකය උන්ගෙ වගේ කරගන්න. උන් අපේ ගහකොළ නැති කරලා දැන්මා. සාමකාමීව හිටි අපේ මිනිස්සුන්වගැනුන්ව ළමයින්ව මරලා දැන්මා.

අන්තිමට අපි තීරණයක් ගත්තා. උන්ට විරුද්ධව සටන් වදින්න. හැම පැත්තෙම අපේ එවුන් එකට එකතු වුණා. එක රජෙක් වටේ. මේක අපිට පුරුදු නැතිදෙයක් නෙමේ. අපි රණ සුරයො. අපි අපේම විදිහට උන්ට පහර දුන්නා. ඇත්තටම කිව්වොත් උන්ට එළව එළවා පහර දුන්නා. උන් දින්නොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා එකෙක් වැටුනොත් සීයක් නැගිට්ටා. එකා පිට එකා වැටුණත් අපේ ධෛර්‍ය අඩු වුණේ නෑ. අන්තිමේදි අපි දින්නා.

ආ බය වෙන්න දෙයක් නෑ. මේ ලංකාවෙ වුණ දෙයක් නෙමේ. අප්‍රිකාවෙ සූලූ ගෝත්‍රයකුත් නෙමේ. ඇමරිකාවෙ රතු ඉන්දියන්වරුන්ගෙ කතාවකුත් නෙමේ.ඔස්ට්‍රේලියාවෙ පිජංජරාවොත් නෙමේ.

ප.ලි – අද මම අවතා චිත්‍රපටිය බැලුවා.

සිරස පාද කතා

ඇහැට කනට පේන කෙල්ලෙක් ඈතට දැක්කත්
නහයෙන් කටින් පැණි හලනවා.
හිතට ගතට දැනෙන්නෙ බලා ගන්න
දත කට මැදන් හිටියට මොකද
හිසේ සිට දෙපතුල දක්වා සිය සැරයක් බැලුවත් මදි.
අතින් පයින් යන එකක්යැ කියලා ගියාට මොකද
ළගට ගියාම ඉහෙන් කණින් දාඩිය දානවා.
තොලයි උගුරයි වේලිලා දිව පැටලෙනවා.
එහෙම ගිහිල්ලත් අකැමතියි කිව්වාම
බඩ පපුව දාලා යනවා.
එහෙන් මෙහෙන් ඔරවන හැටි මතක් වෙනකොට
දෙන්න හිතෙන්නෙ මූණ කට සමතලා වෙන්න.

ප.ලි – සිරස පාද කවි ලෙස ශාන්ති කර්ම වලදී ගායනා කරන ජන ගායනා විශේෂයක්ද ඇත.

ලෝක විනාසය ඔබ වෙත ගෙන එන්නේ…

වෙලාවකට හිතෙනවා ගිය අවුරුද්දෙ උපෙ කරපු එවුන් මොකට අඩනවාද කියලා. විභාග කොමසාරිස්ව පච කරලා ප්‍රතිඵල අරන් කැම්පස් ගියාට මොකද වෙල්කම් එක දෙන්න කලින් ලෝක විනාසෙ වෙනවානෙ. අර ගිය එවුන් පෞද්ගලික විෂ්‍ය විද්‍යාල අරිනවාට විරුද්ධව කෑ ගහනවා. මොන විද්‍යාලෙ දැම්මත් තව දවස් කීයද? ලෝක විනාසෙන් පස්සෙ ඔය ඔක්කොම නෑනෙ. ලොක්කාගෙ මල්ලි පුස්කොළ පොත් හොය හොයා නිදන් ගොඩ දාන්නෙ මොකටද මන්දා. ලෝක විනාසෙන් පස්සෙ යන තැනකට ගෙණියන්නයැ. හෙට වෙනකොට මනුගෙ ඉදන් ලංකාවෙ ඉතිහාසය නෙමේ ලෝක ඉතිහාසය හොයාගත්තාත් වැඩක් නෑනෙ. මේ අවුරුද්දෙ ඔක්කොම ඉවරයි. ආයෙ අපිට ශිෂ්ට වෙන්න අවුරුදු සෑහෙන ගාණක් යාවි. අර බලකාය මේ සොයුරෝ කිය කියා ජන ගායනා එකතු කර කර ඉන්නවා. තියෙන එකක් රීමික්ස් කරලා කීයක් හරි හොයා ගන්නෙ නැතුව. තව ඉතින් දවස් කීයද? ෆොන්සේකා හිරේ ගියාට මොකද මිනිහටත් තව දවස් තුන්සිය ගානනෙ කට්ට කාගෙන ඉන්න තියෙන්නෙ. හම්බන්තොට වරාය හැදන්නෙ මොකටද රාවනා වැටිය කඩන් වතුර ඇවිල්ලා ලෝකෙ විනාසෙ වෙනවනම්. සිංහරාජෙ මැද්දෙන් පාරක් හැදුවත් මොකෝ ලංකාවෙ වටේ ඉන්න තල්මස්සු මැරුවත් මොකෝ. සිරීපාදෙ හොටලය දැම්මනම් සුද්දොන්ට ඇවිල්ලා ජීවිතේ අන්තිම කාලෙ මෙහෙ ඉදලා ලෝක විනාසය බලන්න පුළුවන්. අරුන් කූරගල නෙමේ මුහුදු මහා විහාරය අල්ල ගත්තාත් අපිට මොකද? උනුත් තව මාස දහයක් දොලහක් ඉදී වැඩිම. හාල් වල ආසනික් තිබ්බත් කමක් නෑ කිරිපිටි වල මෙලනින් තිබ්බාත් කමක් නෑ. මොන මෙනා හරි කාලා බීලා මේ ටික දවස ඉන්න පුළුවන්නම්. දැන් ඉතින් ගෑනු ළමයෙක් ලොකුව දැම්මත් කියන්න පුළුවන් “හරි නංගි, ලෝකෙ විනාසෙදි බලාගමු ඈ” කියලා. කවුරු නැතත් කට්ට කාගෙන ඉන්නවා මේ ටික දවසත්. ඔන්න ලෝක විනාසෙ වෙනකන් මන් බලාගෙන ඉන්නෙ. ලෝකෙ විනාසෙ එනවා නේද?

ප.ලි – අඩෙ අප්පා හදිස්සියෙවත් වුණේ නැත්නම්…

Previous Older Entries

%d bloggers like this: