ආ පයින් ගිය දුරක්

අවුරුදු ගානකට පස්සෙ අම්මයි මායි පයින්ම ගෙදර ආවා. ඉස්සර මට මතකයි අම්මා එක්ක ඉස්කෝලෙට දුවනවා. අම්මා මගෙ අතින් අල්ලගෙන ඇදගෙන යන්නෙ. හතාමාරට පටන් ගන්න ඉස්කෝලෙට යන්න ගෙදරින් බහින්නෙ 7.15ට. මම පොඩි නිසා පැය කාලකින් එහෙට දුවන්න බෑ. බස් එකේ යන්නත් තව ටිකක් පස්සට යන්ට ඕන නිසා පයින්ම තමා ගියේ.

මම කවදාවත් පයින් යන්ට බෑ කියලා නෑ. ඒක අපෙ අම්මාගෙ පරම්පරාවෙන් එන දෙයක්. ආතා එක්ක නවරෝහලේ ඉදනුත් පයින් ආවා මතකයි මට. තාත්තා එක්ක බයිසිකලේ එන්නෙ නැති දවසට කඩේ ඉදලා බස් එකේ මහරගමට ඇවිල්ලා එතන ඉදන් පයින් එනවා ගෙදරට අම්මත් එක්ක. එහෙම එනකොට අම්මා කියනවා ‘පුතා හොදට ඉගෙනගෙන ශිෂ්‍යත්වෙ පාස් වෙලා රෝයල් එකට යන්න ඕනෙ. මයෙ පුතා ඉන්ජිනේරුවෙක්ම වෙන්න ඕනෙ’.මම ඒ දවස්වල දන්න ලොකුම ඉස්කෝලෙ කොළඹ රෝයල් එක. ඒකට යන්න මම කොච්චර ආසාවෙන් හිටියද.

කොහොම හරි ශිෂ්‍යත්වය නම් පාස් වුනා. ඒත් රෝයල් තියා මෙලෝ මගුලකට යන්න ලකුණු තිබ්බෙ නෑ. ඒත් අම්මාට සතුටුයි. මට අරන් දුන්නා ටී.වී එකක්. ඉස්සර බලන්න ඕනෙම එකක් තිබ්බොත් හැන්දි ආතාලෑ අහට ගිහින් තමා බැලුවෙ. ළිදක් කපන්න කලින් වතුර ගත්තෙත් එහෙන්. අපි ගෙදට්ට ලයිට් ගත්තාට පස්සෙ වැඩියෙන්ම සතුටු වුන දවස එදා වෙන්ට ඇති. ඒත් ඒ සතුට තිබ්බෙ ටික කාලයයි. ඊට අවුරුද්දකට විතර පස්සෙ නංගිගෙ කන විදින්න ගිය දවසෙ ඒක හොරු ගෙනිහින් තිබ්බා.

ඉන්ජිනේරු හීනෙ අම්මාගෙ හිතේ හැමදාම තිබ්බා. උසස්පෙලට වාණිජ්‍ය කරන්න යන්න ඇහුවම උඹ ගණන් කරන්නම ඕනෙ කිව්වෙ අම්මා. මට වාණිජ්‍ය කරන්නත් කිසිම ඕන කමක් තිබ්බෙ නැති නිසා මම ගණිතයම කලා. අම්මා ඇර අනිත් ඔක්කොම මට කිව්වෙ බාලදක්ෂ එක්ක ඕක කරගන්ට බැරි වේවි කියලා. මම දන්න අදුනන ඔක්කොම කට්ටිය ඕක පාස් වෙලා නැති නිසා පළවෙනි සැරේ B 1යි C 2යි ආවම මට හිතා ගන්න බැරිවුනා. කොටින්ම පළවෙනි වාරෙන් පස්සෙ කිසිම සබ්ජෙක්ට් එහෙකට ලකුණු 50ක වැඩිය ඇවිලලා නෑ. දෙවනි සැරේ අම්මා මට කෝල් කරලා රිසාල්ට් කියන කොට මම හිටියෙ මාතලේ. එදා අපෙ බාලදක්ෂයො 2වැනියා වෙලා හෙන සතුටින් හිටියෙ. අම්මා A 2යි B 1යි කියන කොට මගෙ සතුට ආයෙත් වැඩි වුනා.

ඉංජිනේරුවෙක් කිව්වාම අම්මා හිතේ තියාගෙන හිටියෙ කෝච්චි වල එන්ජින් හදන එකෙක්. නැත්නම් ලොකු බිල්ඩින් හදන එකෙක්. අන්තිමට ඉන්ජිනේරුවන්ගෙන් පොඩිම එකා කියන මෘදුකාංග ඉංජිනේරුවෙක් වුනා. මොකෙක් හරි පුතා ඉංජිනේරුවෙක් නිසා අම්මා කැමතියි. එහෙව් ඉංජිනේරු පුතා එක්ක අදත් අම්මා පයින් යනවා. කඩයක් ගාව නැවතුන අම්මා ඉස්සර වගේම  ‘අයිස් පලමක් අරං දෙනන්ද? ‘ කියලා ඇහුවා. ඉස්සර වගේමයි නේද.

ප.ලි – අපරාදෙ. මට ඒක අම්මාගෙන් අහන්න තිබ්බා.

Advertisements

%d bloggers like this: