අහසක කඳුළු

මගේ පොඩි වැස්සට
ඔබේ ගඟ දිය පිටාර යයි නම්

ගං වතුරත් කොහෙට හෝ යා යුතුය.
ගඟ සිදෙන තෙක් බලා සිටිමි.
මා කල වරද ගැන දුක් වෙමි.
ගඟ දිය සිදෙන තුරු
මා සුළං හැමුවෙමිබැරිම තැන කෑ ගැසුවෙමි.
මට කල හැක්කේ එපමණද

නැවත පුරවගමි, මා දුන් කඳුළු දිය
ආයෙත් වැටෙන් නැති වෙන්නම
හිතට දුක නැති නිසා නොව
වැවක් වන්නට බැරි නිසා

.ලිමම අහස. ඔබ බාරුසිය. ඔව්, කවදා හෝ මගේ අහස් ගඟ.

ඉරිදාට…

අද දවසත් පුළුවන් ඉක්මනට ගෙවිලා යාවි.
ඇයි මං ඉරිදට මෙච්චර ආදරේ
සතියෙ දවස් පහට අච්චර අකමැති?
කොයි දවසටත් පැය 60යි. හෝරා 24.
ඒත් මට ඒක තේරෙන්නෙ නැති හැටි.
මංම මවාගත්ත ලෝකයේ
සතියෙ දවස් 5 මමම අකමැති වෙලා.
ඉරිදට විතරක් කැමති වෙලා.
කොච්චර වැඩ තිබ්බත්
ඉරිදා තියෙන නිහඩ බවට තනිකමට
මන් හරිම ආසයි.
මං කැමති හින්දම ඉරිදා මාව දාලා යනවා.
සඳුදා අඟහරුවාදා මගෙ වටේ කරකැවෙනවා.
ඉරිදට අකමැති අයත් ඇති.
හුගක් අය වගේ,  මං තාම බලන් ඉන්නෙ සිකුරාදා එනකන්.

.ලිඇවිල්ලා ඒකත් ඉවර වෙනකන්.

ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න…

සංචාරකයෙකි.
ගවේෂකයෙකි.
රට පුරා කඳු තරණය කරන්නෙකි.
සුන්දර කඳු මුදුනක, දිය ඇල්ලක මුදුනකට ගිය හැන්දෑවක
මුලු පරිසරයම මී දුමෙන් වැසී යාමට මොහොතකට පෙර
ඔහුට මතක් වන්නේ ඇයයි.
මිතුරන් සමග නොව ඇය සමග තනීවීමට ඇත්නම්…
දුර්ග ගෙවා ආ මග අමතක කර
නෙළු මල් පිපුණු පිනි වැටුණ තණ පත් මත ඇවිදින්න
මගේ සිහින සානුවේ
වලාකුළු වලින් වැහුණු තැනක
කූඩාරමක් ගහගෙන
සීතලට තුරුල් වෙලා ඉන්න
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න…

මීදුම් දුමාරයේ
සීතල හැන්දෑ යාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැළුණු ඈත නිම්නයේ

නිශා නින්ද ඇහැරවා
මල් බිඟුන්ටත් හොරා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැළුණු ඈත නිම්නයේ

වලාවකින් හැඩ දමා
කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න
කොළ පාට හැළුණු ඈත නිම්නයේ

බාගන්න

ප.ලි – තේරුමක් නැහැයි කියූ ගී පදවලට මා දුන් තේරුමයි. සැබෑ තේරුම මමද නොදනිමි. පද මෙන්ම සින්දුවේ සංගීතයත් මතක් කර දෙන්නේ ඒ සංචාරකයායි.

මා එකෙක් පමණි

මා උපන්නේ තනියමය.
හෙට මිය යන්නේද තනියමය.
සුදු පාට මල් ගහ පුරා පිපී සිනාසුනත්,
පැණි බොන්න අරුන් ආවත් ,
මුන් ගියේ නහය පුලුටු කරගෙනය.
ඉදුණු ගෙඩි ඇපල් දොඩම් තරම් රස නැත.
ඒ නිසා කවුරුත් දැන් කන්නේ නැත.
පැහිච්චා ලුණු සමග, කියනකොට කටට කෙල ඉනුවත්
එය දැන් බඩදරුවන්ට පමණි.
තම්බා වෙරළු අච්චරු හදන්න මුන්ට වෙලාවක් නැත.
මුන්ට මගෙන් වැඩක් නැත.
ඕවයින් මක් කරන්නද, කවදා හරි දරට තමා
එකෙක් කියනවා ඇසුනි.
නමුත් මට දැන් ආඩම්බර විය හැක.
හදා වඩා ගන්න මවෙක් පියෙක් නොසිටි මා
මුන්ගෙන් වතුර බිඳක්වත් නොමැතිව තනිවම වැඩුනෙමි.
දූවිලි කකා මුන්ට හෙවන දුන් මම දැන්
විදුලි රැහැනටත් වඩා උසය.
එයම හේතුව කොටගෙන හෙට මාව කපා කොටා දමනු ඇත.
මමය මාගේය කිසිත් නැතිව මා නිවන් දකිනු ඇත.
මුන් තවමත් සසරේ දුක් විදී.

ප.ලි – මට දුක මන් ගැන නොවේ. මුන් ගැනද නොවේ. මන් තරම්වත් වැඩක් නැති අනෙක් ගස් ගැනය.

අවසන් ලියුම

______________,
______________,
___________ පාර,
______________.
20__/__/__.

_______මෙනවිය,
_____________,
__________ පාර,
_____________.

හිතවත් මෙනවිය,

ඔබට කලින් දැනුම් දී තිබූ පරිදි 20__/__/__ දින සිට ඔබ කෙරෙහි මා හට පිළිබද සිතක් පහළ වී තිබුණි. ඒදා සිට මාස __ක් ඔබගේ හැසිරීම හා ගතිගුණ පරීක්ෂා කල අතර ඒ සියල්ලෙන් ඔබ විශිෂ්ට ලෙස සමත් වූ බව නැවත දැනුන් දෙන්නේ හද පිරි සතුටිනි.

ඔබ හට මා විසින් ලිඛිත පරීක්ෂණයකට අයදුම්පතක් එවූ අතර එයට ඔබ එකඟ වූ තැන් පටන් ඔබ හා මා අතර පැවැත්වූ සියලුම ලිඛිත හා වාචික පරීක්ෂණ වලින් ඔබේ සුදුසුකම් මනාව දක්වන ලදී. ඒ අනුව 20__/__/__ දින මා ඔබට අවසන් වාචික පරීක්ෂණයකට කැදවුවද එය කාරුණිකව ප්‍රතික්ෂේප කල බැවින් එය දින නියමයක් නැතුව කල් දැමුවෙමි. එයින් දින __කට පසුව එය නැවත පැවැත්වීමට යෝජනා කළත් එවැනි පරීක්ෂණ සදහා අකමැති බව ඔබ මට ලිඛිතව දැනුම් දුන් බැවින් එම පුරප්පාඩුව සදහා කෙරෙන බදාවා ගැනීම් නතර කරන ලදී. නමුත් 20__/__/__ දින හදිසියේ කැදවූ පරීක්ෂණයට ඔබ සහභාගී වු අතර එයින් ඔබ ප්‍රකාශ කර සිටියේ මෙම පුරප්පාඩුවට තමා අර්ථ විරහිත බවත් ඒ සදහා තමාට කල හැක්කක් නොමැති බවත්ය. ඒ කෙසේ වෙතත් නැවත දෙතුන් වරක් ඔබ මෙයට අකමැත්ත ප්‍රකාශ කිරීමත් ඔබ හා තිබූ සියලූම සංනිවේදන කටයුතු ඔබ විසින් වළක්වා තබූ බවත් සදහන් කරන්නේ හද බැදි දුකෙනි.

මෙසේ දිගින් දිගටම ඔබ හා කටයුතු කිරීමට අප ආයතනය අකමැති බැවින් මේ සදහා යොදා ගත් සියලූම මානව හා භෞතික සම්පත් නැවත කැදවනු ලැබේ. මේ ලිපිය ලැබී දින __ක් ඇතුළත ඔබ විසින් යහපත් ප්‍රතිචාරක් දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නොවුවහොත් මෙය සිදුකීරීමට නියමිත අතර එයට බාධා පැමිණවීම හෝ බාධා පැමිණවීමට අනුබල දීම හෝ සිදුකළහොත් අප ආයතනයේ ව්‍යවස්ථාවට අනුකූලව නීතිප්‍රකාරව නඩු පවරා අච්චු කරනු ලැබේ.

බෙහෙම ස්තුතියි!

මෙයට,
තාමත් සේවයේ නියතු,

__________________
මානව සම්පත් කළමනාකරු,
මගේ හිත.

ප.ලි – මෙය 20__/__/__ දින වෙනත් අයවලුන් කිහිප දෙනෙකු විසින් යෝජනා කරනු ලැබූවක් වන අතර මා විසින් 2012/10/29 දින ලියා ප්‍රසිද්ධ කරන ලදී.

හිතේ උන් දෙවියන්ට

තෙද වරන් පස්වාන් දහසකට දිව්‍ය ඥාන වරන් ලැබූ මුලු ලංකා ද්වීපය සිසාරා කීර්ති ධාරා පතුරුවා හරින්නට, නා ලොවින් අසුර ලොවට වරම් ලබාගෙන දස දහසක් මාරයෝ පරාජය කොට නාග මානවිකාවන් පිරිවාරාගෙන කාළම්බතිත්ත පුරයේ අදටත් යහතින්ම වැඩ සිටින්නාවූ ඔබ දේවියන් වහන්සේට කියා සිටින කන්නලව්ව දිවැස් කරුණාවට ගෙන මොවුන්ගේ සකල අභිමතාර්ථයන් ඉෂ්ට වෙන්ඩ වරන් දී වදාරණ සේක්වා.

තවද ඔබ දේවියන් වහන්සේ ගුරුකුලයේ තපස් රක්නා තැනට මා පැමිණ, සොයුරිය, මට ශිල්පය දෙවයි සැලකළ තැනේදී, ඕකත් මට අපූරුවක්දැයි කියා සිනා පහළ කොට, අනං මනං නොකියන ලෙස පොරොන්දු කරවා, පසුදා අළුයම පැමිණ, උක් මුං පිඟානකින් කොටසක් වළදා ඉතිරිය ගල් වෙන්ට වරම් දී, පල්ලෙ මළුවෙන් පල්ලෙ වීදියටත්, පල්ලෙ විදියෙන් දික්වීදියටත්, උඩ වීදියෙන් උඩ මළුවටත් වැඩ, සගය එසේ නම් අසව්, මම තට දැනුම ලබා දෙමි කියා, වමතින් පුස්කොළ පොතත් දකුණතින් පන්හිදත් ගෙන, ඔබ දේවියන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිච්ච මල් වැටෙන්නා සේ දැනුම ලබා දුන් සත්‍යානුභාවයෙන්ද, එම අවස්ථාවේදී සියලු භූත පිසාචයන් පලා යද්දී, අවස්ථාව ඇතත් පොරොන්දු වූ පරිදි නුඹ දේවියගේ කුමරි බඹසර ආරක්ෂා කල සත්‍යාවාදී බව සැබෑ වී නම්, මේ අතුරයා පිළිබද සිතක් පහළ කරගන්නවැයි, පූජා භාණ්ඩ භාර ගන්නවැයි, ඔබ දේවියන් වහන්සේගේ වන්නාවූ ග්‍රහදෝස, අනවින, ඇස්වහ කටවහාදී දෝසයන්ද තුන්දොස් කිපීමෙන් වැද පැමිණි දෝසයන්ද මෙකී නොකී සකල දෝසාන්ධකාරයන්ද දූරින්භූත කොට උඩින් පායන අව්වත්, වටින් හමනා සුළඟත් හැර අමුතු උවන්දිරමක් වැද්ද සිද්ධ නොදී ආරක්ෂා කර දෙනවැයි, දැන වැරදි නොදැන වැරදි කෝටියක් වැරදි වලට සමාවෙනවැයි, (සියලු දෙවියෝ) පිනට පිහිට වෙනවැයි, පිං ගන්නවැයි ඔබ කීර්ති පස්වාන්දහසක් ආවඩා ආයු බෝ වේවා! ආයු බෝ වේවා! ආයු බෝ වේවා!

ප.ලි – නැවත වරක් වරදක් වූවානම් සමා වෙන සේක්වා…

ජාතිවාදියා

සොයුරිය, ඔබ ලස්සනයි,

ගීතිකා ගයන කටහඩ වටින්නේ කෝල්මුර ගයන්ටය.
පියානෝව හසුරුවන ඇගිලි වලට උඩැක්කියක් පැලිය හැක.
කකුල් තබන තාලය එදා මඩු නටපු බව කියයි.
කොණ්ඩයේ මැදින් ඉර හෙලේ මනාලි මතක් කරයි.
ඔබේ අක් බඹරු එරන්දති බිසව් පරදවයි

අනේ සොයුරිය,

මඳුරුවෙක්වත් මරපු නැති ඔයාලා
අද කුකුල්ලු පුච්චන් කන හැටි.
වයින් වීදුරුව මතක් කළේ නැද්ද
ලේ බිබී තිරිවානා කන එවුන් දිහා
අපි බලන් හිටපු හැටි?

අම්මාපල්ල! ඇයි කියන්නෙ නැත්තෙ,

අපි සිද්ධ පත්තිනි මෑණියො වදින්ට මඩු ගියපු විදි.
කතරගම දෙවියො වදින්න මීගමුත් ගිය විදි.
නත්තලට කලින් අවුරුදු කාපු හැටි.
ඒවානම් කොච්චර කිව්වත් මදි.

පරන්ගි මරන්න අපි මුල්ලේරියාවට ගියා මතකද?

කොළඹ කොටුවම අපි වටකළා මතකද?
පන්සල් වල ගල් ගල්කිස්සසට එනකොට බේරගන්ට ඒවා වෙනස් කරපු හැටි මතකද?
උඩ විසික්කර බිළිඳුන්ට කඩු අල්ලනකොට නම් වෙනස් කරපු හැටි මතකද?
එහෙමත් බැරි කොට ඔයාලා ආගම වෙනස් කළා මතකද?
තඹ පාට තුප්පහි හමක් එන්න හේතුව මතක නැද්ද?
කැප්පෙටිපොලලෑ පවුල එක්ක ඔයාලෑ මොළ හේදුව නිසා ඒවා අමතකද?

එහෙම වෙනස් වුණ ඔහේලෑ කට්ටියක්,

ඇයි අර මහාවංසෙන් බොරු ගහන්නෙ.
ධාතුසේන කාලෙට නෑයො වෙනවා කියන්නෙ.
කොහොමද එන්ගලන්තෙ නටබුන් මෙහෙන් මතුවුණේ?
අපේ එවුන් ඇයි ඔයාලෑ කරගන්ට හදන්නෙ?

ඉතින් සොයුරිය,

සර්ව ආගමික කතා ඔයාලා කියනකොට,
ඒවා ඉවරයි අපි ඔක්කොම එකයි කියනකොට,
මේවා කියන අපිට ජාතිවාදියො කියන කොට,
වාසගම එකක් වුණත් ගන්න බෑ නේද යකඩදෝළියටවත්.

ඒත් සොයුරිය ඔබට සන්තානම් මෑණියන්ගෙ පිහිටයි!

ප.ලි – ඔයාත් මිහිරියි. මාත් මිහිරියි. දෙන්නගෙ අච්චාරුව අමිහිරියි.

සිරස පාද කතා

ඇහැට කනට පේන කෙල්ලෙක් ඈතට දැක්කත්
නහයෙන් කටින් පැණි හලනවා.
හිතට ගතට දැනෙන්නෙ බලා ගන්න
දත කට මැදන් හිටියට මොකද
හිසේ සිට දෙපතුල දක්වා සිය සැරයක් බැලුවත් මදි.
අතින් පයින් යන එකක්යැ කියලා ගියාට මොකද
ළගට ගියාම ඉහෙන් කණින් දාඩිය දානවා.
තොලයි උගුරයි වේලිලා දිව පැටලෙනවා.
එහෙම ගිහිල්ලත් අකැමතියි කිව්වාම
බඩ පපුව දාලා යනවා.
එහෙන් මෙහෙන් ඔරවන හැටි මතක් වෙනකොට
දෙන්න හිතෙන්නෙ මූණ කට සමතලා වෙන්න.

ප.ලි – සිරස පාද කවි ලෙස ශාන්ති කර්ම වලදී ගායනා කරන ජන ගායනා විශේෂයක්ද ඇත.

මම කැමති කෑලි

නිල නෙතුයි, නා දළු දෙතොලුයි, රන තිසරුයි, ඉරයි හඳයි තරුයි, වලාකුළුයි… හැම තැනම එකම දේවල්. ඒ අතරෙ මේ පේලි වෙනස් වගේ.

පෙරවදනක් නැතී
හේෂාරවය කරන රුදුරු අතීතය
නෙතු මල් වස්සන කොඳ කැකුළි
පාන්දර ඇවිත් නූපුර සලා රඟන්නී
ඉඟ නෙරියේ රැලි හදාපු සවන් පතට තෝඩු දාපු
ඉඟි පපා සිනාවෙන විටයි අගේ
ඇඟ සමබර කර එන්නෙ කොහොමද හමනා විට ආදරේ කුණාටුව
අප හරහට උන් ඒ තරු ගලපා
කවි පන්තියේ එළිවැට අසයි මගෙන්
තනි ඇතා සේ හිතින් හිතපු මල්වියේ අරුමේ
ගී පිරිතක් විඳී ජීවිතේ

පලි – පද හල සළුවක නුරා හැඟුම් පොදි කතා ගොඩක් පැවසෙයි

අපෙ නංගි ගෙදර ඇවිත්

වැනි වැනී ගෙට ඇවිල්ලා අල්මාරියෙ දොර ඇරලා මගේ හැබිලිය ඒක ඇතුලට වීසි කලා.

“මම ආවා” කියලා පිටිපස්සෙන් බදා ගත්තා.

“අත ඇරහන් වදේ”

“තමුසෙට තමා අපිව අගේ නැත්තෙ. මේ මට කොල්ලෙක් මේක දුන්නා. කොල්ලෙක් මට කැමතී කිව්වනෙ. මට ලිවුමකුත් දුන්නා. ”

“කෝ දැන් ලිව්ම? හිටපන් මම අම්මට කියන්න.”

“කියන්න දෙයක් නෑ. මම ඒක අම්මට දුන්නා.”

දෙන්න උත්තර නැති නිසා මම ඇඳුම් මාරු කරන්න පටන් ගත්තා.

“තමුසෙට නම් ගානක් නෑ. පොඩි අයියට කිව්ව නම් කොල්ල හොයලා  කෝල් කරලා බනින්නෙ.”

“එහෙනම් ඌට කියහන්”

මම සපත්තු දෙක ගැලවීමට ඇඳ උඩ වාඩි වුනෙමි.

ලගදී සැදුන පැපොල් ලප කැලැල් තවමත් ඇගේ මුනේ ඇත. අව්වෙ කට්ට කෑම නිසාම කුඩා කලට වඩා මූණ කළු පාට වී තඹ පැහැති වී ඇත.

“එගොල්ලෝ මගේ පොතේ ලිව්වා. මට අයියගෙන් අහගන්න ඔනේ. මට ඔවා තේරෙන්නෙ නෑනෙ.”

ඇය බෑගයෙන් නිල් පැහැති පොතක් එලියට ඇද්දේය. ජාතික ශිෂ්‍යභට බලකායේ දින පොතක් වූ එය ඇගේ ප්‍රියතම පොත වන අතර මගේ අප්‍රියම පොතය. අපේ නංගීගේ සමරු සටහන් පොත වන එහි ඇති සියලුම සටහන් මට කියවීමට හෝ ඇසීමට සිදුවී ඇත.

“මේක මම කිවන්නද ?”

“මට මොකටද? අන්න අරහෙට ගිහිල්ල කාටවත් ඇහෙන්නෙ නැතුව කියවනවා”

මට දෙකක් ඇන එය කියවිමට පටන් ගත්තේය. මම එය අසන බවක් පේනෙන්ට නෙපෙන්වා දිගටම මගේ වැඩේ කලෙමි. පට්ට රස්නය නිසා නා ගැනීමට තුවාය සෙවීමට කුස්සියට ගියෙමි. එන විටත් ඇය එය ශබ්ද නගා කියවයි.

“අයියෙ මේ මොකක්ද ලියලා තියේනනෙ? මට කියලා දෙනවකො.”

“මට මේ වැඩ තියෙනවා. මල සමයන් බලන්න වෙලාවක් නෑ”

“අනේ. මේක ලිව්වෙ රොයල් එකේ සාර්ජන්.  පළමු දින දැන අදිනුවේ නැතත් අද  ………” ආයෙ පටන් ගත්තාය.

මම නා කියා ගන්න  ගිහිල්ල දොර වහ ගත්තෙමි. ඒ පාර දොරට තට්ටු කරනවා.

“අයියෙ ඔයා ඇතුලෙද ? මම මේක ඔයාට ඇහේනන මෙතනින් වාඩි වෙලා කියන්නද ?”

මම වචකයක් වත් නොකියා නා ගත්තෙමි. පැමිණ පරිගණකයේ සින්දුවක් දා ගත්තෙමි. ඇගේ කියවිල්ල අඩු වුනේ නැත.

“අපෙ රෝසා ඉන්නෙ. අයියා දන්නෙ නෑනෙ එයාට රෝසා කියන්නෙ ඇයි කියලා. ඒකි ගිහිල්ලා කැන්ටිමේ අන්කල්ට කියලානෙ මොක්ද අන්කල් අපිට තාම හරියට සාර්ජන්ට කිරි තේකක්වත් දෙන්න බැරි වුනා කියාලා.

ඒ කටනම් මටත් හිනා ගියේය. මගේ හිනාවෙන් පනක් ලැබුන ඇය කියවීම නැවත ඇරඹිය.

“මේකි ගිහින් පාන් දෙන තැන කියලනෙ උණු පාන් කෑල්ලක් කාපු කාලයක් මතක නෑ කියලා. ”

බැරිම තැන මම සින්දුව කියන්න පටන් ගත්තෙමි.

“අනේ මේක කිවලා දේනකො.”

බැරිම තැන මම එය කියවන්න ගත්තෙමි. පළමු සටහනේම මට තේරෙන්නෙ නැති චචන දෙක තුනක් තිබුනි. මලලසේකර සරණ ගිය විට ඇය මට නක්කලේ දාන්ට විය.

“අයියො තමුසෙ කොහොමද කැම්පස් ගියෙ? ……………..”

අමාරුවෙන් එක තේරුම් කර දී නින්දට ගියේය.

” අනේ මේකත් තියෙනවා. මේකත්”

නිදි මතක් නැතත් කන පැලෙන්න නිදිමත බව ඇගෙව්වෙමි. නමුත් බේරුමක් නොමැත.

” ජීවිතයම fuck වෙන්න කියන්නෙ මොකක්ද ? ”

“මොකා ? ”

මම පොත ගෙන බැලුවෙමි. කොල්ලෙක් ඇගෙ පොතේ කුණු හරප ලියා ඇත. කෙල්ලෙග්ගෙ පොතක කුණුහරප ලියන එක හෙන වැඩේ කියලා හිතන අපතයොත් ඉන්නවනෙ.

මම නිදාගන්නට ඇස් වැසුවෙමි. ඇය තාම කියවයි.

“ඔයා ඔය අහගෙනද ඉන්නෙ ?”

දැන් ඉතින් මාසයක් යනකම් කඳවුරු විස්තරය ඇසීමට සිදු වනු ඇත. මගේ කන පිරවී දොරෙ ගලනා ඇත.

ප. ලි – මොනා උනත් මට මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කෙල්ල. මම එච්චර ආදරේ නොකලත්.

Previous Older Entries

%d bloggers like this: