මා දුටු කඨින පෙරහර

දීපංකර බුදුන් කල
රිද්දි බිසව් හත් දෙනෙකි.
උස්සන්ගොඩද? කූරගලද? කෙසේ හෝ
ඔවුන් කපු වැව්වෝය, නෙළුවේාය,
කපු කැටුවෝය, විව්වෝය.
මුල්ම කඨින සිවුර මැසුවෝය, පිදුවෝය.
කල්ප ගාණක් ගත වුණි.
මහා භද්‍ර කල්පය වුණි.
ගෝතම බුදුන් පිරිනිවණින්
අවුරුදු දෙදෙහස් පන්සීයයක් ඉක්මුණි.
අදත් සිරිත පවතී.
කපු වවන්නේ තියා දකින්නවත් නැත.
කඩෙන් ගන්නා සිවුරක් ගෙදරක තබාගෙන,
දළදා පෙරහරක් ලෙසටම හිතාගෙන,
එකෙක් පරයා තව එකෙකුට නොදෙවෙනිව,
ඇත් අස් රිය පාබල පෙරට ගෙන,
යකඩ කටින් පිරිතක් දමාගෙන,
ඇහැරවන් ඉන්න මිනිසුන් නිවාඩුවේ නිදාගෙන,
අන්තිම හරියෙ පන්සලට කඩාගෙන බිදගෙන,
ගොස් පුදයි කඨින සිවුරක් පන්සලට.
නිධාන කතාවක් නොදත් මිනිසුන්
ඇහුවොත් කියාවි..
මේ අපේ සංස්කෘතිය බොලව්.

ප.ලි – අපි නොදන්න සංස්කෘතිය. අවුරුදු 5කට කලින් මල් පෙරහරක් පමණක් ගිය, දැන් චතුරංගනී සේනාවම එක් කරගෙන දුක්විදින.

Advertisements

ඒ කාලෙ සිද්ධ වෙච්ච කතාවක් මේ

පොඩි කතාවක් මතක් වුණා. ඔන්න යටගිය දවස බරණැස් නුවර තිබ්බ රටේ එක රජ කෙනෙක් රජකම් කරගෙන යනවා. (දැන්අහන්න එපා බ්‍රහ්මදත්තද කියලා. එයා නෙමේ.) ඉතින් මේ රටේ හැමෝම කළේ ගොවිතැන. එදා වේල කාලා ඉන්න ගොවියන්ට සල්ලි ඕන වුණේ ඇදුමක් ගන්න, ආයුධයක් හදාගන්න, තොරොම්බල් කෑල්ලක් ගන්න වගේ දේවල් වලට විතරයි. උඩට අඳින එක රජතුමා තහනම් කරලා තිබ්බ නිසා ඇදුම් වලටත් වැඩිය වියදමක් නෑ. රජතුමාගේ නීති තමා නීති. ඒවා කොහෙවත් පොතක ලියලා නෑ. එතුමාට හිතුණ විදිහට තමා තීන්දු දෙන්නෙ. සමහරකට මේකෙන් අසාධාරණයක් නොවුනාම නෙමේ. රටේ කසාද බඳින්න පුළුවන් රජතුමාට විතරයි. ඒක නිසා රජතුමාට දෙතුන් දෙනෙක්ම හිටියා. රජතුමාට රටේ දෙතුන් පලක මාළිගා තිබ්බා. වෙන මිනිස්සුන්ට මාළිගා වගේ ලොකු ගෙවල් හදන්න බෑ. කටුමැටි ගෙවල් තමා ඒගොල්ලො හැදුවෙ. අඩුගානෙ සුදු හුණුගාන්නවත් දුන්නෙ නෑලු. රජාට යන්න දෝලාව, අස්සයො, අලි වගේ වාහාන තිබ්බා. මිනිස්සු ගියෙ පයින්ම තමා. මොනා වුණත් ඉතින් රජානෙ කියලා මිනිස්සු ඕවා වැඩිය හිතන්න ගියෙ නෑ. කාලා බීලා හිටියා.

ඔන්න දැන් තමා කතාවෙ හොදම කොටහ. මේ රටට හුගාක් දුරින් තියන රටක නැවක් කුණාටුවකට අහුවෙලා හෙම්බත් වෙලා මේ රටට පා වෙලා ආවා. ඒ නැවියො දැක්ක රට්ටු ඒයාලාට හොදට සැලකුවා. ටිකක් විපරම් කරලා බලපු නැවියන්ට තේරුණාමේ රටේ ඉන්නෙ දුෂ්ට රජ කෙනෙක් කියලා. එක නැවියෙක් ගමරාලට කරුණු පැහැදිලා කළා. මෙහෙ හරියට නීතියක් නෑ. එයාට විතරයි මාළිගා. එයාට හොදයි කියලා හිතෙන නීති. එයා වගේ ලස්සනට අදින්න ඔහේලා කැමති නැද්ද? උඹලා හැමදාම ගොවිතැන් කරලා හිටියොත් ළමයින්ටත් ඔහොම තමා ඉන්න වෙන්නෙ. එහෙම නෙමේ උඹලාත් දියුණු වෙන්න බලපන්. එතකොට අනාගතේ උඹලාටත් දෝලාවක යන්න පුළුවන් වේවි කියලා කිව්වා. ගමරාලටත් තේරුණා මේ රජා ඉන්නකන් මුකුත් කරන්න වෙන්නෙ නෑ කියලා. ගමරාල මේක ගම මහගේට කිව්වා. ගම මහගේ කෝරළේගෙ නෝනාට කිව්වා. ඔහොම ඔහොම මුලු රටම මේ දුෂ්ට රජාගෙ දුෂ්ට කම් දැනගත්තා. වෙන මොනා වෙන්නද? මිනිස්සු කැරැල්ලක් ගහලා රජාව අල්ලලා මැරුවා.

එදයින් පස්සෙ ඔක්කොම වෙනස් වුණා. රජා කියන නමම අයින් කරලා ජනාධිපති කියලා ඔක්කොම කැමති එක්කෙනෙක් පත්කළා. දැන් නීති තියෙන්නෙ පොතේ තියන ඒවා විතරයි. ඕන කෙනෙක්ට නීතියෙන් එක්කෙනෙක් කසාද බදින්න පුළුවන්. ඕනකෙනෙක්ට තම හැකි පමණින් ගෙයක් හදාගන්න පුළුවන්. තමන්ට කැමති විදිහට අදින්න පුළුවන්. වාහනයක් ගන්න පුලුවන්.

දැන් ඉතින් ගෙයක් හදන්න ගොවිතැන් කරලා මදි. සල්ලි හොයාගන්න මිනිස්සු වෙන රස්සා කරන්න පටන් ගත්තා. එකෙක් ලොකු ගෙයක් හැදුවාම අනිකා ඊට වඩා ලොකුවාට හැදුවා. එක ගේක මගුලක් කන්න ගිය ගානට වඩා අනිත් ගෙදර මගුල් කෑවා. පුලු පුළුවන් විදිහට ලොකු ලොකු වාහාන ගත්තා. සල්ලි මදිවෙනකොට සල්ලි තියෙන කට්ටියගෙන් පොලියට ගත්තා. ඒ සල්ලිගෙවන්න ආයෙ රස්සා කළා. පස්සෙ කාලෙක මිනිස්සුන්ට තේරුණා රස්සාවෙන් එන පඩියට කවදාවත් ජීවත් වෙන්න බෑ කියලා. මිනිස්සු උත්ඝෝෂණ කරන්න ගත්තා ජනාධිපති ඉස්සරහ. අනේ ඔය ඇති කතාව. ඉතින් ඒ මිනිස්සු හුගාක් කල් සතුටින් ජීවත් වුණා.

ප.ලි – මෙච්චර කියලත් එපා වුනේ නැත්නම්, වෙන වැඩක් නැත්නම් උක්ත රජු හා වර්තමාන ජනාධිපති විමසන්න.

අනාගතයේ ඉතිහාසයෙන් බිදක්

පුරාණයේ අපේ රට වැසියන් තම රාජකාරී ඉවර වී නිවැස් කරා පැමිණ තම කාන්සිය මාන්සිය නිවා දමා ගැනීම පිණිස බාවිතා කල සමාජ අඩවියක් ගැන මෑතකදී කරුණු අනාවරණය කරගන්නා ලදී. මෙය Facebook(ෆැසේබූ) ලෙස හදුනාගෙන තිබේ.

තම සිතුවිලි අන්‍යන් සමග බෙදා ගැනීමටත් තමන්ට අන්‍යන්‍ය සුහදතාවය වර්ධනය කරගැනීමටත් ඔවුන් තුළ වූයේ බලවත් කැමැත්තකි. මෙය ක්‍රම දෙහෙකට සිදු කර ඇතැයි මේ ගැන පරීක්ෂණ පැවැත්වූ පරණවිතානයන් කියා සිටී.

පළමුවැන්න නම් චැට් කිරීමයි. මෙය අද අප භාවිතා කරන චැට් ක්‍රමයේ මුල් අවදියයි. අක්ෂර භාවිතයෙන් අන්‍යන් සමග සන්නිවේදනය කිරීම මුලින්ම සිදු වී ඇත. අද තරම් බ්‍රෑන්ඩ්විත් එකක් නොවූ ඒ අවදියේ එය කාර්‍යක්ෂම ලෙස භාවිත කිරීමට කෙටි යෙදුම් හා සංකේත භාවිත කර ඇති බව පරණවිතාන මහතා ප්‍රකාශ කර තිබේ. බෙහෙමයක් චැට් පටන් ගෙන ඇත්තෙ hi (හි) ලෙසය. මෙය ඔහු විග්‍රහ කරන්නේ ‘හිතුණා’ ලෙසයි. මට ඔබ සමග චැට් කරන්න හිතුණා යන්න ඔවුන් මෙසේ ඉදිරිපත් කර ඇති සැටියෙන් පේන්නේ ඔවුන් තුළ වූ සුහද තාවයයි. එසේම බෙහෙමයක් ඒවා ඉවර කර තිබුණේ bye (බියෙ) ලෙසය. මෙසේ ඇතැම් වචන දැනටමත් සොයා ගෙන තහවුරු කර තිබෙන අතර ඇතැම් වචන කුමකට යොදා ගත්තා දැයි ප්‍රශ්නයකි. පිරිමින් අතර වැඩියෙන් පාවිච්චි වී ඇති WTF කුමක්ද යන්න තවමත් අබිරහසකි.

එමෙන්ම 🙂 😀 😦 ලෙසින් වන්නාවූ අක්ෂර සංකේතද භාවිතා කර ඇත. මේවායෙන් කියන්නේ මොනාද යන්න තවමත් හරියටම හදුනාගෙන නැත. 🙂 යන්නෙන් හොද පුද්ගලයෙකුත් 😀 යන්නෙන් සතුටින් සිටින පුද්ගලයෙකුත් 😦 යන්නෙන් දුකින් සිටින පුද්ගලයෙක් නිරූපණය වන බව පරණවිතායන් විස්තර කරයි. නමුත් එයට විරුද්ධ මතයක් ඉදිරිපත් කරන මේධානන්ද මහතා ප්‍රශ්න කරන්නෙ එවිට 😛 යන්නෙන් ඉදිරිපත් කරන්නේ කුමන පුද්ගලයෙක්ද යන්නයි. 🙂 යන්න සඳටත් 😀 යන්න ඉරටත් භාවිත කර ඇති බව මේධානන්දයන් අදහස් දක්වයි. ඉරට හා සඳට වැදුම් කල ඔවුන් නිතර මෙය චැට් වල යොදා ගෙන ඇති බව ඔහු හේතු වශයෙන් ඉදිරිපත් කරයි.

මෙවුන් යොදා ගත් දෙවන ක්‍රමය වෝල් එකේ ලිවීම ලෙස හදුන්වයි. මෙය අද භාවිතා කරන කුරුටු ගීත වලට සමානය. තමාගේ අදහස් අනුන්ට පේන ලෙස දැමීමත් ඒ දාන ඒවා හුවමාරු කිරීමටත් ඔවුන් දැන සිට ඇති බව සොයා ගෙන ඇත. ඇතැම් ඒවා ආදරය දුක ආදී සිතුවිලි ඉස්මතු කර ඇත. තමාව නිරූපණය කිරීමට තමාගේ පින්තූරයක් දාගැනීම ඔවුන් සිරිතක් ලෙස සිදු කර ඇත. නමුත් ඇතැමුන් එයිට අමතර සංකේත යොදා ගෙන ඇත. 6% ලෙසින් තැඹිලි පාටින් ඇති සංකේතයක් වැඩිපුර භාවිතා කර ඇති අතර එය එකල තිබූ කුලයක සංකේතයක් බව ඇතැමුන් ප්‍රකාශ කර ඇත. නමුත් එයට හාත්පසින්ම වෙනස් මතයක් දරන මේධානන්දයන් ප්‍රකාශ කරන්නේ ලෝක විනාශය සිදුවුණේ අධික උෂ්ණත්වය නිසා බවත් කි.ව 2012දී කුමකින් හෝ 6%කින් උෂ්ණත්වය ඉහළ යාම නිසා දෙවියන්ට එය කියමින් යාඥා කර බවත්ය. මේවාට අදාළ පුද්ගලයන් දෙදෙනෙක් මේවායින් හමුවී තිබෙන අතර ඔවුන්ගේ නම් SB, බන්දුල වේ. ඔවුන් එකල සිරි පූජයකයන් විය හැකි බව මේධානන්දයන් ප්‍රකාශ කර සිටී.

ප.ලි – ඉතිහාසය පුනරාවර්තනය වේ.

ලෝක විනාසය ඔබ වෙත ගෙන එන්නේ…

වෙලාවකට හිතෙනවා ගිය අවුරුද්දෙ උපෙ කරපු එවුන් මොකට අඩනවාද කියලා. විභාග කොමසාරිස්ව පච කරලා ප්‍රතිඵල අරන් කැම්පස් ගියාට මොකද වෙල්කම් එක දෙන්න කලින් ලෝක විනාසෙ වෙනවානෙ. අර ගිය එවුන් පෞද්ගලික විෂ්‍ය විද්‍යාල අරිනවාට විරුද්ධව කෑ ගහනවා. මොන විද්‍යාලෙ දැම්මත් තව දවස් කීයද? ලෝක විනාසෙන් පස්සෙ ඔය ඔක්කොම නෑනෙ. ලොක්කාගෙ මල්ලි පුස්කොළ පොත් හොය හොයා නිදන් ගොඩ දාන්නෙ මොකටද මන්දා. ලෝක විනාසෙන් පස්සෙ යන තැනකට ගෙණියන්නයැ. හෙට වෙනකොට මනුගෙ ඉදන් ලංකාවෙ ඉතිහාසය නෙමේ ලෝක ඉතිහාසය හොයාගත්තාත් වැඩක් නෑනෙ. මේ අවුරුද්දෙ ඔක්කොම ඉවරයි. ආයෙ අපිට ශිෂ්ට වෙන්න අවුරුදු සෑහෙන ගාණක් යාවි. අර බලකාය මේ සොයුරෝ කිය කියා ජන ගායනා එකතු කර කර ඉන්නවා. තියෙන එකක් රීමික්ස් කරලා කීයක් හරි හොයා ගන්නෙ නැතුව. තව ඉතින් දවස් කීයද? ෆොන්සේකා හිරේ ගියාට මොකද මිනිහටත් තව දවස් තුන්සිය ගානනෙ කට්ට කාගෙන ඉන්න තියෙන්නෙ. හම්බන්තොට වරාය හැදන්නෙ මොකටද රාවනා වැටිය කඩන් වතුර ඇවිල්ලා ලෝකෙ විනාසෙ වෙනවනම්. සිංහරාජෙ මැද්දෙන් පාරක් හැදුවත් මොකෝ ලංකාවෙ වටේ ඉන්න තල්මස්සු මැරුවත් මොකෝ. සිරීපාදෙ හොටලය දැම්මනම් සුද්දොන්ට ඇවිල්ලා ජීවිතේ අන්තිම කාලෙ මෙහෙ ඉදලා ලෝක විනාසය බලන්න පුළුවන්. අරුන් කූරගල නෙමේ මුහුදු මහා විහාරය අල්ල ගත්තාත් අපිට මොකද? උනුත් තව මාස දහයක් දොලහක් ඉදී වැඩිම. හාල් වල ආසනික් තිබ්බත් කමක් නෑ කිරිපිටි වල මෙලනින් තිබ්බාත් කමක් නෑ. මොන මෙනා හරි කාලා බීලා මේ ටික දවස ඉන්න පුළුවන්නම්. දැන් ඉතින් ගෑනු ළමයෙක් ලොකුව දැම්මත් කියන්න පුළුවන් “හරි නංගි, ලෝකෙ විනාසෙදි බලාගමු ඈ” කියලා. කවුරු නැතත් කට්ට කාගෙන ඉන්නවා මේ ටික දවසත්. ඔන්න ලෝක විනාසෙ වෙනකන් මන් බලාගෙන ඉන්නෙ. ලෝකෙ විනාසෙ එනවා නේද?

ප.ලි – අඩෙ අප්පා හදිස්සියෙවත් වුණේ නැත්නම්…

පැමිණීම……

මහීකාන්තාව දිව්‍යලෝකයට වැඩලා.
හිටපු අපායෙන් ලගදි බිමට වැටිලා.
දැන් යන්න ලෝක හොයනවා.
මා ලොකු දේවිය ගිය තුසිතයට යන්න වරම් ඉල්ල ගත්තා.
එහෙ යන්න පින් කරාවිද මන්දා.
එහෙම වුනොත් ප්‍රේම පාරමිතාවත් හරි.
ගලගොඩ කුමාරිහාමි වගේ
සුදලියට ගහයිද කියලයි බය.
රිද්දි බිසෝවරු මට උදව් කරවි.
බ්‍රහ්ම ලෝක වලට යන්නද දන්නෙ නෑ හිතන් ඉන්නෙ.
උමා බිසව් වගේ තුන්කල් බලන්නෙ නැතිව
සෝමා දේවි වගේ ඉස්සරහටම ගියොත් හොදා.
මැණික්පාලිගෙන් පටන්ගෙන
අපෙ අම්මගෙන් ඉවරකලත්
එයාගෙ ගුණ ඉවර කරන්න බෑ.
එහෙව් මඳෝරි කවදා හරි
මගේ නාග ලෝකයටත් ඒවි.

ප.ලි – පැය ගානකට මාත් හෙට දිව්‍යාලෝකෙ පැත්තෙ යනවා.

අවුරුද්ද ගැන නොදන්න දේවල්

අරිසෙන් අහුබුදු සූරින්ට අනුව……..

අවුරුදු නම් විශේෂ දවසයි. සමකයට ඉර මුදුන් වන්නෙ මාර්තු 21 වන දිනයි. සමකයට අංසක 23 1/2ක් උතුරින් වූ කටක නැවැත්මට හෙවත් කර්කට නිවර්තනයට ඉර මුදුන් වන්නෙ ජුනි 21වැනිදාය. මේ ගමනට දින 92ක් වැයවේ. ලංකාව පිහිටා ඇත්තෙ උතුරු අංසක 5ත් 10ත් අතරේය. ඉපැරණි රජ දහනක් වූ කොග්ගලැ, වළස්ගල ඇත්තෙ හරියටම අංසක 6ක් සලකුණු වන තන්හියැ. (වා+අළ+අස්+ගල වළස්ගල වේ. වා නම් අවුරුද්දයි. වස්>වහ>වා වෙයි. අළ නම් ඉදිරිපත් කල යනුයි. අස් නම් අංසකයයි. ) එවිට අංසක 6ක් යෑමට ගතවන කාලය දින 23.48ක් ගනී. මාර්තු 21 සිට දින 23.48 ක් ගිය කල අප්රේල් 13 වැනි දින සවසයි. අවුරුදු උදාව ලෙස සිංහලයන් සලකන්නෙ මේ වෙසෙසි දවසයි.

හෙළ රැස එළු රැස වෙයි. සකු බසින් මේෂ රාශිය වන්නෙ එයයි. නිමි රැස මීන රාශිය වේ. අවුරුද්ද නිම වී හෙල රැසට එන දිනය අවුරුදු වේ. භාග්‍යයෙන් අග තැන් ගන්න මාසය බක් මස නම්වේ.

හැදුණු ලොව මුල්ම රජු මනු රජ අබිසෙස් ලබන්නෙ හෙළ අවුරුදු දිනකය. ඒ කි.පු 28200 වැන්නේය. අපේ පැරණි පොත පතේ එන නකත් කෙළි නමින් හැදින්වෙන්නෙ අවුරුදු උලෙළම විය හැකිය. සිංහළ අවුරුද්ද සිංහළ-හින්දු අවුරුද්දක් බවට පත් කැරුණේ 1885 මාර්තු 17 වන දින නිකුත් කැරුණු රජයේ ගැසට් පතිනි. එසේ කැරුණේ පොන්නම්බලම් රාමනාදන් වැනි දෙමල නායකයන් සැනසිම පිණිස උපායක් ලෙසිනි. එය සිංහළ-දෙමල අවුරුද්ද ලෙස නිල කැරුණ් 1984 දී ජේ.ආර් ජයවර්ධන රජය විසිනි.

ප.ලි – අරිසෙන් අහුබුදු ශුරීන්ගේ ‘හෙළ අවුරුදු වග’ නම් කෘතියෙ පරිදි මා විසින් කපා කොටා මෙසේ සකසා ලියන ලදී.

මෙලොව පොල්

හැම එකාම පොල්වල ගණන් කතා කරන නිසා මට හිතුණා පොඩිකාලේ වගේ පොල් ගැන රචනාවක් ලියන්න. මේක දේශපාලන සාකචඡාවක් නෙමේ.  පොඩි එකෙක් වගේ මට හිතෙන දේවල් ලියලා දැම්මා.

පොල් පරිභොජනය කවදා කොහෙන් පටන් ගත්තාදැයි මම නොදනිමි. Wikipedia ට අනුව ලෝකයේ පොල් නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් වලට ලංකාවට හිමිව ඇත්තෙ 7වන ස්ථානයයි. නමුත් ප්‍රතිශතයක් වශයෙන් පොල් පාරිභොජනය අතින් ලංකාව ඇත්තෙ ඉදිරියෙන්ම බව මගේ මතයයි. ලංකා වාසීන් පොල් භාවිත කළේ ලංකා ඉතිහාසය ඇරඹෙන මීට අවුරුදු 30000කට පෙර යැයි බොරු කිවීමට මම උත්සහ නොගන්නෙ එය ඇත්තටම මම නොදන්නනා නිසාය. කෙසේ හෝ හෙළයන් පොල් භාවිතයට ඇත්තේ අවුරුදු 1000ක 2000ක අතීතයක් නොවන බව නම් සත්‍යකි. සිංහලයන්ගේ බල බිඳිමට ලන්දේසීන් ගෙනා දෙල් වලින් හෙළයන්ට කරදරයක් නොවුයේ පොල් නිසා බව නොරහසකි. උයන පිහන හැම මගුලටම ලංකාවේ එවුන්ට පොල් අත්‍යාවශ්‍යය. පොල්කිරි දැමූ හොද්දක් නොසෑදූ කැම මේසයක් නොමැති තරම්ය.

කෙසේ හෝ මම කීමට බලාපොරොත්තු වන්නෙ පොල් ගෙඩිය ගැන නොවේ. ඒ ආශ්‍රිතව මිනිසුන්ගේ නිර්මාණ ගැනය. පොල් ගෙඩියේ ඇටයේ මදය ආහාරයට ගත හැකි බව එය සුද්ද කරගත් වඳුරෙක්ටත් තේරුම් ගැනීමට පහසුය. (පොල් ලෙලි ගසාගෙන කන වඳුරන් හෝ වානරයන් ඉන්නවා යැයි මා නොදනිමි.) නමුත් එම මදයෙන් ඉතා සිහිනියට ගාගෙන එය වතුර සමග මිරිකා එළකිරි වගේ පොල්කිරි ලබාගත හැකි බව සොයා ගත් මිනිසා විශිෂ්ටයකි. එසේ පොල් ගා ගැනිමට සදා ගන්නා හිරමනය නැමැති සරල උපකරණය ගැන සිතුවාද? එය කොතරම් සරලද? පොල් මිරිකීමට භාවිතා කරන කිරිගොට්ට කෙරම් සරලද? එමෙන්ම පොල් වලින් තෙල් ගැනීමට පුළුවන් යැයි මිනිසා සොයා ගත්තේය. එයට හිරමනයට වඩා විශිෂ්ට නිර්මාණයක් වූ සෙක්කුව නිර්මාණය කෙරිණ. සිතා බලන්න. පොල්තෙල් ලබාගැනීමට මම කුඩා කාලයේ පැලපොල් ගැනීමෙන් පසුව ඉතිරි වන පොල්මධයෙන් උත්සහ කර තිබේ. එය පහසු වුයේ නැත. එයට සෙක්කුවට වඩා සරල උපකරණයක් (සෙක්කුවෙ යාන්ත්‍රණය නොමැති) අද වන විටත් සාදා නැත.

පොල් මලෙන් රා ගැනීමට පුළුවන් බව සොයා ගැනිම අනෙක් විශිෂ්ට සොයා ගැනීමය. මල්වලින් පැණි ගන්නවාට වඩා වෙනත් ආකාරයකට රා ලබා ගන්නා බව ඔබ හොදටම දන්නා කාරුණකි. එසේ ලබා ගන්නා රා වලින් පැණි සදාගැනීමට පුළුවන් බවත් සොයා ගෙන තිබේ. රා බිව්ව විට මත්වන බවත් ඒවා පරණ වූ විට විනාකිරි සෑදෙන බවත් එතරම් විශිෂට නිර්මාණයන් නොවන්නෙ ඒවා වෙහෙස මහන්සි වී සොයා ගත් ඒවා නොවන නිසාවෙනි. නමුත් විනාකිරි ආහාර වලට දැමිය හැකි බව සොයා ගැනීම වටින්නේය. එයත් අහම්බෙන් කල සොයාගැනීමක් වන්නට ඇත. පොල් අරක්කු ලෙස වෙළද පොළේ තිබෙන්නෙ 100%ක් පොල් අරක්කු නොවන අතර වැඩි ප්‍රමාණයක් එතනෝල් මද්‍යසාර එක් කල මද්‍යසාර බව සිහිපත් කිරීමට කැමතිය.

අතීතයේ ගම්වැසියන් වහලයට හෙවිලි කළේ පොල් අතුය. පොල් අත්ත එලෙස විවිමට හැකි බවත් එසේ වියා වහලයට දැමිය හැකිබව දැනගත් හෙළයන් විශිෂ්ටය. අනෙක් වාසීන් ශාක පත්‍රවලන් සාධනා වහල මෙන් නොව පොල් අතු වහලය. පොල්අතු වියා එවා තැබීමට රීප්ප බැද වියූ පොල් අතු පිලිවලකට තබා සාදන විශිෂ්ට නිර්මාණයකි.
සුද්දන්ට මිථ්‍යාවන් ලෙස පෙනන අපේ ශාන්තිකර්ම හා අනෙක් සංස්කෘතික, සම්ප්‍රදායික උත්සවයන් සදහා භාවිතා කරන පොල් සෞභාග්‍යයේ සංකේතයයි. පොල් මල හා ගොක් අතු එවන් වැඩ සදහා යොදා ගන්නා වෙනත් ජාතියක් මම නොදනිමි. (ළිදේ ඉන්න මැඩිය වගේ මම දන්නෙ ලංකාව ගැන පමණි.) ගොක් අතු භාවිතයෙන් සාධනා කැටයම් වල විශිෂ්ටත්වය කිවයුතු නැත.

තවත් බොහෝ දේවල් ලිවීමට ඇත. අනාගතයේ නොව වර්තමානයේද පොල් ගස කප්රුකක් වී ඇත.

ප.ලි – රචනා සදහා කුඩා කල මට ලකුණු ලැබිලාම නැත. සිංහල වලට ලකුණු 60ට වැඩි වී නැත. ඒ නිසා දැන් රචනා ලියමි.

Previous Older Entries

%d bloggers like this: