අපේ පැත්තෙ කෙනෙක්

කොට්ටාවෙ ජාලිස් වෙද මහත්තයා ගැන දැන ගත්තාම තමා මට හිතුණෙ අපේ පැත්තෙ හිටපු වීර චරිත මොනාද කියලා හොයලා බලන්න. 1848 නිදහස් අරගලයෙදි සේනාධිපති ලෙසට කටයුතු කරපු පුරන් අප්පු මී මුත්තා මොරටුව පැත්තෙ. එයිටත් කලින්, අවුරුදු 12 ඉදන් 120 වෙනකන් සටන් කරපු, පරංගින්ටයි උන්ට කඩේ ගියපු අයටයි පුදුම හිස රදයක් වෙලා හිටපු ටිකිරි කුමාරයා නැත්නම් රාජසිංහ රජුරුවො හිටියෙ සීතාවක. ඒ කියන්නෙත් කොළඹ දිස්ත්‍රික්කෙම තමා. වෙසමුණි රජුරුවො වගේම හොරණට නම දුන්න හිරන් කසුබ් වගේ අය ගැන කතා නොකරම ඉමුකො.

එච්චර ලොකු ඉතිහාසයක් නැතත් මහරගම වැදගත් චරිතයක් නැද්ද කියලා මන් කල්පනා කළා. වීරකමයි වැදගත් කමයි පැත්තකට තියලා අඩුගානෙ විශේෂ කෙනෙක්. ඉස්කෝලෙදි කාගෙත් හිතවතා වෙච්ච රංජි අයියා ගැන ලගදි දැක්කම මට කෙනෙක්ව මතක් වුණා. රංජි අයියා නෙමේ. අපේ ඉස්කෝලෙ මුල්ම විදුහල්පති වුණ සොයිසා සර්ව.

පුද්ගලයෙක් විදිහට මනුස්ස පාට තිබ්බ නිසා හොද මනුස්සයෙක් වෙන්න ඇති. අපි පොඩි කාලෙමනෙ සර් විශ්‍රාම ගියෙ. එතුමා කරපු කතා දෙකක මට මතක හිටපු පොඩි කොටස් දෙකක් නිසා මට ඔහු විශේෂ චරිතයක් වුණා.

2001 හරි 2002 හරි තිබුණ ගුරු උපහාර උළෙලකදි උන්දැට විශේෂ කතාවක් ලැබුණා. ඒකෙත් තමන් ඉස්කෝලෙ මේ තත්වයට ගේන්න ගත්තු උස්සහය කිව්වාම මට ඇත්තටම ඔහු ගැන ආඩම්බර හිතුණා. එදා මිශ්‍ර පාසලක් වුණ අද මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ කොටසක් ලෙස තමා අපෙ ඉස්කොලෙ පටන් අරන් තියෙන්නෙ. ළමයි එකසිය ගානකින් මට මතක විදිහට.

ඉස්කෝලෙ පිටීම පස්සෙ පිට්ටනියෙ තියෙනවා ළිං දෙකක්. ඕකෙ බිත්ති දෙකට චූ කරපු නැති කොල්ලෙක් මහරගම ජනාධිපතියෙ ඉන්නෙ නැතුව ඇති. එදා ඉස්කෝලෙ ළමයින්ට බොන්න වතුර ඇන්න ඇවිත් තියෙන්නෙ ඔය ළිං දෙකෙන්ලු. හෙට දවසෙ ළමයින්ට බොන්න උඩහ වතුර ටැංකියට (මට මතක විදිහට අදටත් පිට්ටනියෙ තියෙන ලොකු ටැංකියට) වතුර ඇදලා තියෙන්නෙ විදුහල්පතිතුමාම තමා. ළිං දෙකේ ඉදන් වතුර ටැංකිට දුර මීටර් දෙසියක් විතර ඇති. ඒ මදිවට උඩහටම අදින්න ඕනි. ළමයි එකසිය ගාණකට වතුර ඇද්ද කිව්වාම ප්‍රින්සිපල් කෙනෙක්.

අද බන්ධනාගාරය වගේ වට කරලා ගහලා තියෙන තාප්පය හරි පොඩියි ඒ කාලෙ. ලංකාවට මුල්ම ඔලිම්පික් පදක්කම දිනපු ඩන්කන් වයිට් ලැගලා හිටපු ගෙය තිබ්බෙ අපෙ පිට්ටනිය ගාව. ඒක තමා පස්සෙ කාලෙක විදුහල්පති නිල නිවාසය වගේම ඉස්කෝලෙ කාර්්‍යාලය වුණේ. ඔය ගේ ගාවම දැන් පිට්ටනිය මැද තියෙන කොහොඹ ගස කිට්ටුවම තිබු බෝ ගහක්. ඒ බෝ ගහ හැදිලා තිබුණෙ තල් ගහක් වට කරගෙන. කවුරුත් කිව්වෙ බෝතල් ගහ කියලා. අපේ රුස්වීම ගත්තෙ පිට්ටනියෙ ඔය ගහ ගාව.

දවසක් ඒ රුස්වීමට ආපු විදුහල්පතිතුමා කියපු කවියක පද තුනක් මට සෑහෙන කාලයක් මතක තිබ්බා. ලගදි තමා ඒකෙ සම්පුර්ණ පද ටික හොයා ගත්තෙ. කුංකුණාවෙ හාමුදුරුවො පන්සලේ බිත්තියකට ඇදෙන කූඹි රංචුවක් දැකලා තමා මේ කවිය කිව්වා කිව්වෙ.

අනේ කුහුඹුවනේ
තොපටත් රජෙක් ඇත්තෙ
අපිට ඇයි නැත්තේ
අපේ කරුමෙද මෙහෙම වෙන්නෙ

රජෙක් ලැබුණෝතින්
කැවුම් කිරිබත් කන්නම්
පෙරහැර කරන්නම්
සාදු කාරෙන් ගිගුම් දෙන්නම්

ප.ලි – අද විදුහල්පති කෙනෙක් මේ කවිය කිව්වොත්…

කවලම් අච්චාරු

වෙන වෙනම ලියන්න තිබ්බ ඒවා එකතු කරලා එකක් ලියන්න හිතුනා.

——————————————————

පහත සදහන් පුද්ගලයන් ශ්‍රි ලංකාවේ බල ප්‍රදේශයට ඇතුල් වුනහොත් වහාම අත් අඩංගුවට ගෙන දස වස දිලා කනට ගහලා පයින් ගහන්න ඕනෙ.

1. GTalk එකේ ඉන්විසිබල් කෑල්ල හදපු එකා
2. Internet Explora හොයා ගත්ත එකා
3. ඩෙනිම් කලිසමට බොත්තම් දාපු එකා

——————————————————

ගත කල කාලය තුල මම දුටු චාටර්ම ගස් ටික පහතින් දැක්වේ. ඔබ අකමැතිම ගස යටින් ඉරක් අදින්න.

අ) සයන්ස් බවන ගාව කෝන් ගස (ගෙඩි තිබ්බට පොල්ලක්වත් ගහන්න බැරි වුන නිසා)
ආ) සයන්ස් එකේ නුග ගස (අම්මානෙකට ලස්සනට ගෙඩි ආවට කන්න බැරි නිසා)
ඇ) ඇණ උයනෙ ජෑම් ගස (කොච්චර ගෙඩි ආවත් මම කන්න යනකොට ගෙඩි නැති නිසා)
ඉ) භික්ෂු මධ්‍යස්ථානයේ සංඝා වාසය අසල පිණි ජම්බු ගස (ලස්සනට ගෙඩි ආවට එක ගෙඩියක්වත් කඩා ගන්න බැරි නිසා)
ඊ) ලීඩ්ස් එකේ තියෙන මාදං ගස (කන්න පුලුවන් විදිහට අත පාත ගෙඩි ආවෙ නැති නිසා)
උ) ජනාධිපතිය ඉස්සරහ තිබ්බ තැඹිලි ගස (ගෙඩි කඩා ගන්න පුලුවන් වුනාට ගෙඩි නැති නිසා)

——————————————————

චාල්ස් ඩාවින්ගේ සාපේක්ෂතා වාදය බොරු බව ඔප්පු කිරීමට මෙම වාක්‍යයෙන් පුලුවන.

-පට්ට ගඳ තැනක සිට(මරදානෙ වැසිකිලි වල) ගඳ නැති තැනකට ආ කෙනෙකුට එතැනින් සුවදක් නොදැනේ.-

——————————————————

අසම්පූර්ණ කවිය සම්පූර්ණ කර ලිව්වෙමි

සුවඳැල් කෙතට ඇතිය උඹෙ ඇල්මක්
ඒත් ගොයමෙන් නැහැ නේද බැල්මක්
වැඩක් නෑ තව එවන්නෑමයි සුලං රැල්ලක්
ආඩම්බරයි ලෝවාමහපායෙ කණු

——————————————————

ප.ලි – මේවා ඉතින් මෙහෙම ලියනවා මිසක්වා වෙන කොහොම ලියන්නද

අට්ටාල කවි

කඳවුරු භූමියට ඇතුල්වන දෙරටුව සදහා මුර අට්ටාලයක් ගැසීම බාලදක්ෂයන් විසින් සම්ප්‍රදායික ලෙස සිදු කරයි. එම කටයුතත මුල් කරගෙන අනාදිමත් කාලයක් තිස්සෙ පරම්පරාවෙන් පරම්පරාවට ආ කවි විශේෂය අට්ටාල කවි නම්වේ.

තොරණ බදින්නන්ගේ මෙන්ම බාලදක්ෂයන්ගේද පූජනීය ගස පුවක් ගසයි. කඳවුරක් ආසන්න වෙන විට මාසයකට කලින් විතර ඔවුන් එකට අවශ්‍ය පුවක් ගස් හා බට ගස් සොයමින් ගම වටා ඇවිදියි. එසේ යාමට පෙර තමුන්ට හොද ගස් ලැබේවා! යැයි කියා රංවල දේවාලෙට භාරයක්වී යාම සිරිතයි. මෙසේ ගස් සොයමින් ඇවිදින්නන් කියන කවියකි මේ.

පුවක් ගසට අධිපති රංවල දෙයියා
පවක් නැතුව මොරපු ගස් දියල්ලා
පුවක්පිටියෙ දේවාලෙට පේ වෙල්ලා
වල්ලක පුවක් දෙනවා දෙයියන් පල්ලා

පුවක් ගස් තිබෙන හැම ගෙයකින්ම ගස් ලබා දෙන්නෙ නැත. ඇතැමුන් ඔවුන්ට බැණ එළවා ගනී. මේ එවන් සිද්ධියක් අරඹයා කී කවියකි.

ගෙඩි නැති පුවඟු ගස් හෙම මෙහෙ තියෙනවාද
ගෙඩියක් දෙකක් කෑවට බඩ පිරෙනවාද
විදුලි කොටපු පුවඟට ගෙඩි හැදෙනවාද
එහෙම ගහක් දුන්නොත් හෙණ ගහනවාද

දින කිහිපයක්ම වෙහෙස වී ගසක් සොයා ගැනීමට නොහැකි වූ විට ඇතැම් ප්‍රදේශ වල කපටිකමින් පුවක් ගස් කිහිපයක් කපා ගනී. (කපටිකමින්ද නොහැකි වූ විට හොරෙන් ගස් කපා ගනීමක්ද පසුකාලයේ සිදු වී ඇත.) වරක් මේ පුවක් ගස කපන්නද කියා අසා ඇත්තෙ ගසට කිසිම හිමිකමක් නැති ඒ අසල හිටි බීමත් මිනිසෙකිගෙනි. මල්ලි කපා ගන්න මල්ලි කී විගස කිසිවක් නොකියා හනික පුවක් ගස පෙරළා එහි කොටන් ඇදීම සිදු කර ඇත. එසේ කුඹුර දිගේ කොටන් අදින විට ගසේ ඇත්ත අයිතිකරුට බුදුබව පැතීමට බාලදක්ෂයන් අමතක නොකරයි.

ගහක් හොරෙන් කැපුවම පව් සිදුවෙනවා
මලක් දෙකක් තැලුවම පැණි බේරෙනවා
හනික තියන පය දැන් නම් ලිස්සනවා
ගහට අයිතිකරු අද හෙට බුදු වෙනවා

මුර අට්ටාලයට පුවක් ගස් පමණක් ප්‍රමාණවත් නැත. කහඋන වලින් එය වැඩ දැමීමක් සිදුකෙරේ. පුවක් ගසේ දුර්ලභ බව නිසා වර්තමානයේ වැඩිමනක් උණ භාවිතා කරයි. අවශ්‍ය උණ නෙලීමට යනවිට ද ඔවුන් මෙසේ කවි කියා තම වෙහෙස මහන්සිය මග හැර ගනී.

වස්දඬු හදන්නට බටගස් කපඤ්ඤයි
මැයි මස කූඩුවට බටලී පලඤ්ඤයි
සරුන්ගලේ බට පතුරින් හධඤ්ඤයි
පැලට බදින්නට මහඋණ නෙලඤ්ඤයි

වහලය සැදිමට පිඳුරු හෝ පොල්අතු භාවිතා කරයි. පොල්අතු වියිම ගැනුන්ගේ වැඩකි. නමුත් මුර අට්ටාලෙට අතුවියන්නෙ පිරිමිය. (ගැනුන් වියූ පොල් අතු මුර අට්ටා වහලයට දෑමීමට නුසුදුසු බව ඇතැම් පැරැන්නන් කියනවා මා අසා ඇත.) තමන්ට හැකිනම් අත්තක් දෙකක් වියළා දීමට ගෑනු ළමයින්ට ආරාධනා කරන්නට ඔවුන් මෙසේ මල්වාරම් කියති.

පොල්අතු කපන විට හිනැහෙන එහා වත්තෙ බිනරමලී
බංගලි වළලු පටලවලා හෙලේ රටා දැම්ම මලී
අත්ත වියන සද්දෙ නුඹට ගැලපෙනවා සමන්මලී
සද්දෙ නැතුව දෙකක් තුනක් වියළා දියන් සඳකොමලි

තොරන් සාදනවා මෙන්ම අට්ටාලය සෑදීමට පෙර මල්පැලක් සාදා බුදුන් දෙවියන් පිදීම සිදු කෙරේ. එසේ කරන ශාන්තිකර්ම ගී වල මෙම කවිය ඇතුළත්ය.

පළමුව බුදුන් වැද දෙවනුව දහම් වැද
තෙවනුව සඟුන් වැන්දෙමි මම මෙහෙම අද
මායා රටට අධිපති දුනුමුණ්ඩ වැද
ගහන මෙහෙව් අට්ටාලය රකිනු මැන

උදේ නැකතට පටන් ගන්නා අට්ටාල බැදිම පසුදින ආරම්ඹක උත්සවය පෙර සාදා නිම කල යුතුය. අට්ටාලය සෑදීම සර්වරාතිකව සිදුවන්නකි. අට්ටාලය උඩ සිටින්නා තම කාන්සිය පිළිබදව කඳවුරු භූමියට ඇසෙන්න මෙසේ අඬහැර පායි.

බඳින බඳින පැලැල්ල දැන් ලිහෙන්නා
නගින නගින පුවක් කණුව වැනෙන්නා
දකින දකින ලිප්වල දුම් දමන්නා
කොත්තමල්ලි නැද්ද මල්ලි අහන්නා

කඳවුරේ නිල පානය කොත්තමල්ලිය. ඉහත කවිය ඇසෙන ඇතින් පිහිටි කඳවුරු භූමියේ අට්ටාල බදින්නෙක් කියන්නෙ කොත්තමල්ලි වෙනුවට තේ බිහන් කියාය. අට්ටාල බැදීමේදී අවශ්‍යවන ශිල්පීය ක්‍රමයන්ද මෙම කවියේ ඇතුළත්ය.

වේළුණ ලනුකැරලි වතුරින් පොඟල්ලා
වැනෙන කණුවකට කඹයක් අදිල්ලා
ලාම්පු තෙල් ටිකක් ලිපකට දමල්ලා
කොත්තමල්ලි වෙනුවට තේ බීයල්ලා

පාන්දර වන විට මුර අට්ටාලයේ වැඩ ඉවර කරගෙන උදේ කඳවුරු ආරමභය වෙනුවෙන් ඔවුන් පිළිවෙලින් පෙළ ගැසෙත්. සර්වරාත්‍රිකව සිදුකළ වැඩේ අවසන් කර යන්නන් තම සතුට ප්‍රකාශ කිරීමට මෙසේ ගායනා සිදුකරයි.

තොරන් ගසන්නට දවසක නිදි මරන්නේ
මූණයි කටයි හෝදාගෙන පේවෙන්නේ
තොරන් ගහපු අත්වල කිලි ඇරගන්නේ
මෙදා කඳවුරත් මෙලෙසින් අරඹන්නේ

ප.ලි – ‘ප්‍රාග් බාලදක්ෂ ජනකවි’ යන මනඃකල්පිත කෘතියෙන් උපුටා ගන්නා ලදී.

%d bloggers like this: