සිරස පාද කතා

ඇහැට කනට පේන කෙල්ලෙක් ඈතට දැක්කත්
නහයෙන් කටින් පැණි හලනවා.
හිතට ගතට දැනෙන්නෙ බලා ගන්න
දත කට මැදන් හිටියට මොකද
හිසේ සිට දෙපතුල දක්වා සිය සැරයක් බැලුවත් මදි.
අතින් පයින් යන එකක්යැ කියලා ගියාට මොකද
ළගට ගියාම ඉහෙන් කණින් දාඩිය දානවා.
තොලයි උගුරයි වේලිලා දිව පැටලෙනවා.
එහෙම ගිහිල්ලත් අකැමතියි කිව්වාම
බඩ පපුව දාලා යනවා.
එහෙන් මෙහෙන් ඔරවන හැටි මතක් වෙනකොට
දෙන්න හිතෙන්නෙ මූණ කට සමතලා වෙන්න.

ප.ලි – සිරස පාද කවි ලෙස ශාන්ති කර්ම වලදී ගායනා කරන ජන ගායනා විශේෂයක්ද ඇත.

අට්ටාල කවි

කඳවුරු භූමියට ඇතුල්වන දෙරටුව සදහා මුර අට්ටාලයක් ගැසීම බාලදක්ෂයන් විසින් සම්ප්‍රදායික ලෙස සිදු කරයි. එම කටයුතත මුල් කරගෙන අනාදිමත් කාලයක් තිස්සෙ පරම්පරාවෙන් පරම්පරාවට ආ කවි විශේෂය අට්ටාල කවි නම්වේ.

තොරණ බදින්නන්ගේ මෙන්ම බාලදක්ෂයන්ගේද පූජනීය ගස පුවක් ගසයි. කඳවුරක් ආසන්න වෙන විට මාසයකට කලින් විතර ඔවුන් එකට අවශ්‍ය පුවක් ගස් හා බට ගස් සොයමින් ගම වටා ඇවිදියි. එසේ යාමට පෙර තමුන්ට හොද ගස් ලැබේවා! යැයි කියා රංවල දේවාලෙට භාරයක්වී යාම සිරිතයි. මෙසේ ගස් සොයමින් ඇවිදින්නන් කියන කවියකි මේ.

පුවක් ගසට අධිපති රංවල දෙයියා
පවක් නැතුව මොරපු ගස් දියල්ලා
පුවක්පිටියෙ දේවාලෙට පේ වෙල්ලා
වල්ලක පුවක් දෙනවා දෙයියන් පල්ලා

පුවක් ගස් තිබෙන හැම ගෙයකින්ම ගස් ලබා දෙන්නෙ නැත. ඇතැමුන් ඔවුන්ට බැණ එළවා ගනී. මේ එවන් සිද්ධියක් අරඹයා කී කවියකි.

ගෙඩි නැති පුවඟු ගස් හෙම මෙහෙ තියෙනවාද
ගෙඩියක් දෙකක් කෑවට බඩ පිරෙනවාද
විදුලි කොටපු පුවඟට ගෙඩි හැදෙනවාද
එහෙම ගහක් දුන්නොත් හෙණ ගහනවාද

දින කිහිපයක්ම වෙහෙස වී ගසක් සොයා ගැනීමට නොහැකි වූ විට ඇතැම් ප්‍රදේශ වල කපටිකමින් පුවක් ගස් කිහිපයක් කපා ගනී. (කපටිකමින්ද නොහැකි වූ විට හොරෙන් ගස් කපා ගනීමක්ද පසුකාලයේ සිදු වී ඇත.) වරක් මේ පුවක් ගස කපන්නද කියා අසා ඇත්තෙ ගසට කිසිම හිමිකමක් නැති ඒ අසල හිටි බීමත් මිනිසෙකිගෙනි. මල්ලි කපා ගන්න මල්ලි කී විගස කිසිවක් නොකියා හනික පුවක් ගස පෙරළා එහි කොටන් ඇදීම සිදු කර ඇත. එසේ කුඹුර දිගේ කොටන් අදින විට ගසේ ඇත්ත අයිතිකරුට බුදුබව පැතීමට බාලදක්ෂයන් අමතක නොකරයි.

ගහක් හොරෙන් කැපුවම පව් සිදුවෙනවා
මලක් දෙකක් තැලුවම පැණි බේරෙනවා
හනික තියන පය දැන් නම් ලිස්සනවා
ගහට අයිතිකරු අද හෙට බුදු වෙනවා

මුර අට්ටාලයට පුවක් ගස් පමණක් ප්‍රමාණවත් නැත. කහඋන වලින් එය වැඩ දැමීමක් සිදුකෙරේ. පුවක් ගසේ දුර්ලභ බව නිසා වර්තමානයේ වැඩිමනක් උණ භාවිතා කරයි. අවශ්‍ය උණ නෙලීමට යනවිට ද ඔවුන් මෙසේ කවි කියා තම වෙහෙස මහන්සිය මග හැර ගනී.

වස්දඬු හදන්නට බටගස් කපඤ්ඤයි
මැයි මස කූඩුවට බටලී පලඤ්ඤයි
සරුන්ගලේ බට පතුරින් හධඤ්ඤයි
පැලට බදින්නට මහඋණ නෙලඤ්ඤයි

වහලය සැදිමට පිඳුරු හෝ පොල්අතු භාවිතා කරයි. පොල්අතු වියිම ගැනුන්ගේ වැඩකි. නමුත් මුර අට්ටාලෙට අතුවියන්නෙ පිරිමිය. (ගැනුන් වියූ පොල් අතු මුර අට්ටා වහලයට දෑමීමට නුසුදුසු බව ඇතැම් පැරැන්නන් කියනවා මා අසා ඇත.) තමන්ට හැකිනම් අත්තක් දෙකක් වියළා දීමට ගෑනු ළමයින්ට ආරාධනා කරන්නට ඔවුන් මෙසේ මල්වාරම් කියති.

පොල්අතු කපන විට හිනැහෙන එහා වත්තෙ බිනරමලී
බංගලි වළලු පටලවලා හෙලේ රටා දැම්ම මලී
අත්ත වියන සද්දෙ නුඹට ගැලපෙනවා සමන්මලී
සද්දෙ නැතුව දෙකක් තුනක් වියළා දියන් සඳකොමලි

තොරන් සාදනවා මෙන්ම අට්ටාලය සෑදීමට පෙර මල්පැලක් සාදා බුදුන් දෙවියන් පිදීම සිදු කෙරේ. එසේ කරන ශාන්තිකර්ම ගී වල මෙම කවිය ඇතුළත්ය.

පළමුව බුදුන් වැද දෙවනුව දහම් වැද
තෙවනුව සඟුන් වැන්දෙමි මම මෙහෙම අද
මායා රටට අධිපති දුනුමුණ්ඩ වැද
ගහන මෙහෙව් අට්ටාලය රකිනු මැන

උදේ නැකතට පටන් ගන්නා අට්ටාල බැදිම පසුදින ආරම්ඹක උත්සවය පෙර සාදා නිම කල යුතුය. අට්ටාලය සෑදීම සර්වරාතිකව සිදුවන්නකි. අට්ටාලය උඩ සිටින්නා තම කාන්සිය පිළිබදව කඳවුරු භූමියට ඇසෙන්න මෙසේ අඬහැර පායි.

බඳින බඳින පැලැල්ල දැන් ලිහෙන්නා
නගින නගින පුවක් කණුව වැනෙන්නා
දකින දකින ලිප්වල දුම් දමන්නා
කොත්තමල්ලි නැද්ද මල්ලි අහන්නා

කඳවුරේ නිල පානය කොත්තමල්ලිය. ඉහත කවිය ඇසෙන ඇතින් පිහිටි කඳවුරු භූමියේ අට්ටාල බදින්නෙක් කියන්නෙ කොත්තමල්ලි වෙනුවට තේ බිහන් කියාය. අට්ටාල බැදීමේදී අවශ්‍යවන ශිල්පීය ක්‍රමයන්ද මෙම කවියේ ඇතුළත්ය.

වේළුණ ලනුකැරලි වතුරින් පොඟල්ලා
වැනෙන කණුවකට කඹයක් අදිල්ලා
ලාම්පු තෙල් ටිකක් ලිපකට දමල්ලා
කොත්තමල්ලි වෙනුවට තේ බීයල්ලා

පාන්දර වන විට මුර අට්ටාලයේ වැඩ ඉවර කරගෙන උදේ කඳවුරු ආරමභය වෙනුවෙන් ඔවුන් පිළිවෙලින් පෙළ ගැසෙත්. සර්වරාත්‍රිකව සිදුකළ වැඩේ අවසන් කර යන්නන් තම සතුට ප්‍රකාශ කිරීමට මෙසේ ගායනා සිදුකරයි.

තොරන් ගසන්නට දවසක නිදි මරන්නේ
මූණයි කටයි හෝදාගෙන පේවෙන්නේ
තොරන් ගහපු අත්වල කිලි ඇරගන්නේ
මෙදා කඳවුරත් මෙලෙසින් අරඹන්නේ

ප.ලි – ‘ප්‍රාග් බාලදක්ෂ ජනකවි’ යන මනඃකල්පිත කෘතියෙන් උපුටා ගන්නා ලදී.

දින පොතක කවි

හැම දාම අරන් යන දින පොතේ එහෙන් මෙහෙන් හොයා ගත්ත කවි ලියලා තිබ්බා. මේවා ඉතින් ජන කවිම නෙමේ.

මේක යාළුවෙක් කිව්වෙ. ඒකා නෙමේ කියලා තියෙන්නෙ. මතක විදිහට කොත්මලේ ගණිතයා හරි බරණ ගණිතයා හරි තමන්ගෙ ගෑනු ළමයට තමා කියලා තියෙන්නෙ.

තුන්පස සිසිලසෙහි දිසිවුවන පූරණ
තුනුවිසි සිව් කළා රතිමායම් නිපුණ
තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන
තුන් සතරෙන් එකක් හැර මාවත සිටින

මිනිහා ගණන්කාරයා නිසා ගණිතයෙන්ම තමා දීලා තියෙන්නෙ. තුන්පස (3 x 5 = 15) සිසිලසෙහි දිසිවුවන පූරණ කියන්නෙ පසළොස්වක දවසෙ පේන පූර්ණ චන්ද්‍රයට. තුන්විසි සිව් (3 x 20 + 4 = 64) කළා රතිමායම් නිපුණ කියන්නෙ ඉතින් හොදට 64 මායම් දන්නවා කියලනෙ. තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන කියන්නෙ තුන් කල් (ඒ කියන්නෙ අතීතය, අනාගතය හා වර්තමානය) වලීදිම ලස්සන ගැනු ළමයෙක් කියලා. තුන් සතරෙන් එකක් හැර (3 x 4 – 1 = 11 ) මාවත සිටින කියන්නෙ 11 වන රාශිය වන කුම්භ එහෙම නැත්නම් කළයක් අරන් පාරෙ ඉන්නවා කියන එකනෙ. අනිවා ගෑනු ළමයා මල සමයන් කියලා මාරු වේන්න ඇති.

වෙට්ට පිත්තල කට්ට තක්කඩි
තට්ට කට්ටඩි උන්නැහේ
පොට්ට මාමට බොන්න බැරුවට
නැට්ට නැති දෙහි හෙව්වනේ

මේක රබන් කවියක්. කියවන්න ටිකක් අමාරුයි වගේ නේ?

ගුරුන්ටත් අකුරු වරදී
ඉන් දොස්කීම වැරදී
තමන් හට නොවරදී
කියන අය හට නිතර වරදී

මේ කවිය වැඩියෙන්ම කියෙව්වෙ මම උසස්පෙළ ගණිතය පන්ති ගිය ගුරුතුමා තමා.

ඉවසන දනා රැපු යුදයට ජය කොඩිය
ඒ බව කී එකාගෙ කට කෑවත් මදිය
ඉක්මන් වුණ එකා ළග හිටියේ හත අටය
ඉවසපු නිසා මම තාමත් තනිකඩය

මේක නම් ඉතින් හොදට අහලා තියනවනේ. ඊළග කවිය ටිකක් විශේෂයි. මේක සිරස fm එකේ “අහන් ඉන්න” කියන වැඩ සටහනේ ගියෙ. මෙතනින් එහාට ඔක්කොම කවි ඒකෙන් තමා ඉස්සුවෙ.

ඉස්සර ගැමියො හුගක් හොද කවියො. එහෙම කවියෙක් හිටියා. මිනිහගෙ රස්සාව වෙළදාම. මිනිහා උඩිස්පත්තුවෙ වෙළදාමේ ගිහිල්ලා එනකොට මිනිහගෙ ගෑනි හාරිස්පත්තුවා කියලා වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහිල්ලා. තමාගෙ අම්මාම තමා ඉතින් උදව් කරලා තියෙන්නෙ. මිනිහට මාර කේන්තියි. මිනිහා හොද කවියා. ඒ නිසා මිනිහා තමන්ගෙ කේන්තිය පිට කළේ කවියෙන්.

උඩිස්පත්තුවේ මම වෙළදාමෙ ගියා
ගෙදර එනකොට මගෙ ගෑනි නෑ
අම්මාත් ඒකට උදව් කළා හාරිස්පත්තුවා අහුවුනොතින් මම මරං කනවා

මිනිහට යකා වැහිලා හිටිය නිසා පද ගැළපීම හරියට තිබ්බෙ නෑ. ඒ වුණාට මිනිහා කවියෙන් කිව්වා තමාගෙ කේන්තිය.

මේක අකුරු දෙකෙන් හදලා තියෙන කිවියක්. අකුරු දෙක පේනවනෙ.

වල්ලව වෙලේ වේ වැල්ලේ වවුල්ලූ
වේලවල වේල් වල විල්වල ලූල්ලූ
වැල්ලව වෙලේ වී වැව්වේ වාල්ලූ
වැල්වල වලව්වල ලලොලු ලෑලිලු

ඊළග කවියත් මලට කියපු කවියක්. මිනිහෙක් බත් කන්න ගියාම මාළු වෙනුවට ජාඩි තියල තියෙන්නෙ. මිනිහට යකා නැගල ඒක විසික් කරලා මෙහෙම අමුතු කවියක් කිව්වලු.

බයනු අල්තයනු කෑමට ගිය කලට
මායනු ළුයනු නැතිබව පෙනුණි කෑමට
ජායනු ඩියනු තම්බා තිබුණි කෑමට
වීයනු සියනු කර ආවෙමි මම පිලට

අන්තිම එක සරසවි කුරුටු ගියක් කියලා තමා කිව්වෙ. මොනා වුණත් තමා කැමති ගෑනු ළමයා ගැන කොල්ලෙක් මෙහෙම මේසෙක ලියලා තිබ්බලු.

මගේ අතින් වට ගත හැකි සිගිති ඉඟක් ඇත්තෙත් නැහැ
පිට මැද්දේ කඩා හැලෙන කෙස් කළඹක් ඇත්තෙත් නැහැ
මගේ හිතේ දුක නිවන්න මිහිරි හඩක් ඇත්තෙත් නැහැ
ඒ වුණාට මගේ හිතේ ඇයට තැනක් නැත්තෙත් නැහැ

තව කවි තියනවා. ඒවා ඉතින් පස්සෙ ලියන්නම්. ටිකක් සුන්ගාරාත්මක ඒවා නිසා ලියන්න මොකක්ද වගෙ. එහෙම කිව්වට වල් කවි නෙමේ. සිංහල පොතේ තිබ්බ කවි වලට වඩා වෙනස් මේ වගේ කවි තියනවනම් කියන්න. මම මේ වගේ ඒවට හරි ආසයි.

ප.ලි- මේ ලියපු කවි වල අයිතිකාරයො ඉන්නවනම් අනේ සමාවේන්න. මම මේවා විකුණන් කන්නෙ නෑනෙ.

%d bloggers like this: