මා දුටු කඨින පෙරහර

දීපංකර බුදුන් කල
රිද්දි බිසව් හත් දෙනෙකි.
උස්සන්ගොඩද? කූරගලද? කෙසේ හෝ
ඔවුන් කපු වැව්වෝය, නෙළුවේාය,
කපු කැටුවෝය, විව්වෝය.
මුල්ම කඨින සිවුර මැසුවෝය, පිදුවෝය.
කල්ප ගාණක් ගත වුණි.
මහා භද්‍ර කල්පය වුණි.
ගෝතම බුදුන් පිරිනිවණින්
අවුරුදු දෙදෙහස් පන්සීයයක් ඉක්මුණි.
අදත් සිරිත පවතී.
කපු වවන්නේ තියා දකින්නවත් නැත.
කඩෙන් ගන්නා සිවුරක් ගෙදරක තබාගෙන,
දළදා පෙරහරක් ලෙසටම හිතාගෙන,
එකෙක් පරයා තව එකෙකුට නොදෙවෙනිව,
ඇත් අස් රිය පාබල පෙරට ගෙන,
යකඩ කටින් පිරිතක් දමාගෙන,
ඇහැරවන් ඉන්න මිනිසුන් නිවාඩුවේ නිදාගෙන,
අන්තිම හරියෙ පන්සලට කඩාගෙන බිදගෙන,
ගොස් පුදයි කඨින සිවුරක් පන්සලට.
නිධාන කතාවක් නොදත් මිනිසුන්
ඇහුවොත් කියාවි..
මේ අපේ සංස්කෘතිය බොලව්.

ප.ලි – අපි නොදන්න සංස්කෘතිය. අවුරුදු 5කට කලින් මල් පෙරහරක් පමණක් ගිය, දැන් චතුරංගනී සේනාවම එක් කරගෙන දුක්විදින.

%d bloggers like this: