කූඩාරම

61604713046136c44707126e060b5425

ඊයෙ එකෙක් කතා කරලා ටෙන්ට් එකක් ඉල්ලුවා. එතකොට තමා මට මතක් වුණේ කූඩාරමක් ගන්න මං හිතන් හිටියා කියලා.කූඩාරමක් නෙමේ පා ගමන් යන්න සම්පූර්ණ ගමන් මල්ලක්ම හදා ගන්න ඕනෙ කියලා අදහසක් හැම පාගමනක් යන්න දවසකට කලින් මට ඇති වෙනවා. මුලින්ම අපි කූඩාරම් ගැන කතා කරමු.

පාගමනට අවශ්‍යම හා සොයා ගැනීමට අපහසුම ද්‍රව්‍ය මා පෙර කී කූඩාරමයි. මට මුලින්ම මතක් වෙන්නේ බාලදක්ෂ කුටියේ වූ හම යනකන් පාවිච්චි කල කිලෝ 10ක් විතර බර යකඩ කූරු සහිත කාර් ටෙන්ට් එකයි. ශාප කරමින් පරිහරණය කරත් එය අවුරුදු10ක් පමණ හොදින් පරිහරණය කල බව දන්නෝ දනිති. පාගමනක් සදහා සුදුසු කූඩාරමක පහත සදහන් දේවල් සලකා බැලිය යුතුය.

  • තෙමෙන නොතෙමෙන බවවැස්සොත් තෙමෙන්නේ නැති කූඩාරමක් මට අද වන තෙක් හමු වී නැත. ලංකාවට බහුතරයක් කූඩාරම් ලැබෙන්නේ මැදපෙරදිගින්ය. වර්ෂාවක් නොදකින ඔවුන්ගෙන් ලැබෙන්නේ හොදට වාතාශ්‍රය ලැබෙන ආකාරයට දැල් සහිත සමර් ටෙන්ට්ය. ඒවායේ ඇති fly sheet ලෙස හදුන්වන කූඩාරම උඩට එළෙන රෙද්දෙන් වන්නේ පින්නෙන් ඔබව ආරක්ෂා කිරීම පමණි. සම්පූර්ණයෙන් වැසෙන කුඩා කවුළු සහිත ආනයනය කරන කූඩාරම් ඇත්තේ ඉතා සුළු වශයෙන්ය. ඒවා රුපියල් 30000කට වඩා වැඩිය.
  • බරපාගමන් වලට ආධුනිකයෝ කූඩාරමේ බර අවතක්සේරුවෙන් කතා කරයි. වරක් එකෙක් කිලෝ 15ක් පමණ බර කූඩාරමක් රැගෙන එනන් සැදුවේය. පාගමන අවසානයේ බර අඩු කිරීමට ප්ලාස්ටික් බෝතලයත් විසිකරන තත්වයට පත්වන බව ඔවුන් දන්නේ නැත. ඔබේ කූඩාරම කූරුකූඥ,fly sheet,ground sheet සියල්ල සමග කිලෝ 5කට වඩා අඩු වෙනවා නම් හොදයි. නමුත් මා කලින් කී සමර් ටෙන්ට් බරින් අඩු ඒවාය. හොදින් වර්ෂාවෙන් ආරක්ෂාවන ආකාරයේ කූඩාරමක් කිලෝ 5කට වඩා බරය. එයකිලෝ 8කට වත් අඩු කර ගැනීමට උස්සහ කරන්න.
  • ප්‍රමාණයපුද්ගයන් 2, 4, 6, 8…ආදී ලෙසින් කූඩාරම් වල ප්‍රමාණය තීරණය කරයි. 6 දෙනෙක්ට ප්‍රමාණවත් කූඩාරමක්(උපරිම වර්ග අඩි 60ක්) වඩා සුදුසුය. (පාගමන් කණ්ඩායමකට සුදුසුම ප්‍රමාණය 6ත් 8ත් අතරය. ඊට වැඩි වෙනවා නම් කූඩාරම්දෙකක් ගෙන යාම වඩා සුදුසුය.)
  • හැඩයබොහෝ සම්ර් ටෙන්ට් හතරැස්ය. අපි ඒවාට ඉබ්බා කියන්නේ නිසයි. නමුත් කූඩාරම් දිගටි වෙනවා නම් වඩා සුදුසුයකැලයකකන්දක හරි හතරැස් ඉඩකට වඩා දිගටි ඉඩක් සොයා ගැනීම ඉතා පහසුය. නමුත් මේ දිගටි බව වැඩි වුණොත් වැඩේ කචල්ය. 3:4 අනුපාතයෙන් වනවා නම් සුදුසුය. කූඩාරම එතරම් උස විය යුතු නැත. උපරිම අඩි 5ක් ප්‍රමාණවත්ය.
  • මසා ඇති රෙද්දමෙය අනිවර්‍යයෙන්ම නොතෙමෙන එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් එහි ඝනකම ගැන සැලකිලිමත් වෙන්න. කවුළුවලට අමතරව දැල් ඇත්නම් එය ගත්තොත් ඔබට ඉන්න වෙන්නේ තෙමෙමින් බව මතක තබා ගන්නඕනාට වඩා ඝණකම් රෙදි ඇති කූඩාරම් බර බැවින් කූඩාරමේ බරත් සලකා බලා කූඩාරම තෝරා ගන්න.
  • කූරුදැන් බොහොමයක් ඇත්තේ ෆයිබර් බටයි. ඉතා සිහින් කූරු බරින අඩු නමුත් ඉතා ඉක්මනින් කුඩු පට්ටම් විය හැකකූඩාරමේ ප්‍රමාණය සලකා බලා කූරු ගන්න. (බොහෝ විට කූඩාරමත් සමග එන කූරු කූඩාරමට සෑහේ) කූඩාරමට ඇත්තේ යකඩ කූරු නම් ගැටලුවක් මතු වෙනවා ඇත. ඉක්මනින් මල බැදීමත් එකක් කැඩුනොත් සාදා ගැනීමට ඇති අපහසුවත් අලුත් කූරුසොයා ගැනීමේ අපහසුවත් ඔබට ඇති වනවා ඇත.
  • කූඥ – (මේ වචනය හරි නේද?:P) කූඩාරමේ හැඩය පවත්වා ගැනීමට අවම කූඥ 4ක් අවශ්‍ය වේ. ඊට අමතරව fly sheet එකට අවශ්‍ය කූඥ 4ක් පමණ තිබිය හැක. ඉතා බර හා දිග කූඥ වැඩක් නැත. එමෙන්ම සැහැල්ලු ඇලුමිනියම් කූඤත් වැඩක් නැත. සමර්ටෙන්ට් වල ඇත්තේ මේ සරල කූඥයි. ඒවා රළු පොළවකදී නැමී කැඩී යා හැක.
  • මිලලංකාවේ තෙත් කලාපයේ පාගමන් වලට නුසුදුසු සමර් ටෙන්ට් එකක් ඔබට 10කට වඩා අඩු ගණනකට ගත හැක. නමුත් මා ඉහත කී දේවල් ඇතුළත් කූඩාරමක් රුපියල් 30000කට වැඩිය. රුපියල් 30000කට ඔබ ගන්නා අගනා කූඩාරම කැලයේ මඩ ගොහොරුවක ගසා තැබීමට සිදුවනවා ඇත. කූඩාරම් පරිස්සම් කිරීමට ඉතා අපහසුය. ඉරෙන්නේ නැතිව පාවිච්චි කල කූඩාරමක්මට හමු වී නැත. බොහෝ කූඩාරම් වල මැහුම් කාලයත් සමග දිරා යයි. මේ නිසා රුපියල් 15000කට වඩා වියදම් නොකරන්න.

අනෙකුත්බොහොමයක් සෝබන කූඩාරම් දැන් වෙළද පොළේ ඇත. කාමර සහිතනොයෙක් විකාර හැඩඉදිරියේ ඉස්තෝප්පුවක් සහිත කූඩාරම් ගැනීම මම නම් අනුමත කරන්නේ නැත. ඉහත මුල් කරුණු සපුරන්නේ නැත්නම් වෙන මොනා තිබ්බත් වැඩක් නැත.

.ලිරූපයේ ඇති ආකාරයේ කූඩාරමක් නම් සුදුසුය. ගාන තමා ප්‍රශ්නෙ.

Advertisements

උඩ මළුව

මීට සතියකට කලින් මම ලියන්න සිටි මාතෘකාව මෙය නොවේ. එය බෑන සමනල වී පසුව කුණුදිය පර්වතය විය. එතනින් සීත ගඟුල වී අවසානයේ උඩ මළුව ලෙස වෙනස් විය. වචන 500කට වඩා දීරඝ ලිපි ලිවිමට මා අකමැති නමුත් වචන 2500කට කිට්ටුවන්න මෙය ලියන්නේ ඔබව දැනුවත් කිරීමටය. මෙවැනි අවාසනාවන්ත සිදුවිම් නැවත නොවීමටයි. මෙය අපගේ පළමු අවාසනාවන්ත අත්දැකීම නොවේ. වරක් මාළිබඬ ඇලි 7 තරණය කිරීමට ගොස් දිය ඇල්ලක් අසල දොළ පාරක සිටි අපට භයානක අත්දැකිමක් ලැබුණි. යන විට හොදට තිබූ ගල්ගුහාව තුළින් රෑ වන විට වතුර ගලන්නත් දිය ඇල්ලෙන් විශාල සුළං සමග හිරිකඩ වැටීමත් නිසා අපි කුණාටුවකදී නැවක සිටින පුද්ගලයන් මෙන් රාත්‍රිය ගෙවුවෝය. එදින අපි ආ මාර්ගය යට වී තිබූ අතර වැස්ස නොපෑවුවොත් ගහක් දිගේ බඩ ගෑමට යෝජනා කළත් තත්වය සතුටු දායක වූ නිසා යහතින් ගෙදර ගියෙමු.

සිරිපාදය කරුණා කිරීමට වාරයක් හා අවාරයක් ඇති වුණේ ඇයි දැයි හරිම හේතුවක් මා නොදනී. අවාරයේ වර්ෂාව වැඩි වීමත්, අවුරුද්දේ කාලයක්වත් වන සතුන්ට නිදහසේ ඉන්ට සැලැස්විමත්, අඩු පිරිසක් වන්දනා කරන විට ඔවුන් මුණ ගැස්වීම වැඩි කිරීමත් යන හේතු ඒ සදහා පාදක වන්නට ඇත. අපි සිරීපාදය අවාරයේ වන්දනා කිරීමට සිතා නොසිටියෙමු. වතාවක් සිරීපා අවාරයේ වන්දනා කර ඇති අපට එය අවශ්‍යතාවයක් නොවීය. එහෙයින් සිරීපාදය අසල ඇති බෑන සමනල වැනි කන්දක් තරණය කිරීමට අපි සංවීධානය වුණි. යන්න පාරක් තොටක් නොදන්නා බැවින් කවදාවත් නැතිව සිතියම් 2ක් මිල දි ගතිමු. ගමන සදහා අවශ්‍ය බඩු බාහිර ආදිය රැස් කිරීමට මා සහභාගී නොවුයේ එය එතරම් දෙයක් නොවූ බැවින් මෙන්ම ඒ සදහා මිඩන්ගු කල හැකි කාලයක් මා සතු නොවූ බැවිනි.

අවාසනාව පටන් ගත්තේ යන්නත් කලින් යැයි දැන් මට හිතේ. ගමන අවන්නට මෙන් යෝජිත දිනය සතියෙන් සතිය වෙනස් වුණේ පිරීසේ කවුරුන්ට හෝ අත්‍යාවශ්‍ය වැඩ වැටීම නිසාය. අවසානයේ දෙදෙනෙකු මග හැර හෝ සැප් 9, 10, 11 දින වල යෑමට යෝජනා කර ගතිමු. 9 වෙනිදා 6 දෙනා 7ට මහරගම රවුන් කඩේ ගාවට සෙට් වූයේ වෙන්න යන විපත ගැන කිසිත් නොදැනය. රත්නපුර බසයක නැගී කුරුවිට තෙක් හිටගෙන ගොස් එතනින් එරත්නට පිටත් විය. අපේ කරුමෙට එරත්න රත්නපුර පාර පිළිසකර කරන බැවින් කිමි 1ක් පමණ වැඩිපුර පයින් යන්නට සිදුවිය. අතරමගදී සිරීපාදෙට යන පාර ඇසුව විට කාන්තාවන් දෙදෙනෙක් මූණට මූණ බලාගත්තේ අවාරයේ සිරිපාදෙ යන පිරිසක් අහලවාත් නැති මෙනි. කෙසේ හෝ සිරිපා මාර්ගයට ප්‍රවිෂ්ට වුණ විගස අපි ඇඳුම් මාරු කර දවල්ට කෑවෙමු. එතෙක් යා යුතු ස්ථානය ගැන කිසිවෙකුටත් නිශ්චිත අදහසක් තිබුණේ නැත. ගෙදරට සිරිපාදෙ යනවා කියා ආ පිරිස බෝහෝ විය. යන්න ආවේ බෑන සමනලය. කලින්දා ගූගල් මැප් බැලු මට පෙනී ගියේ එයට විශාල දුරක් යා යුතු බවය. දවස් 3ක් ඒ සදහා ප්‍රමාණවත් නොවේ. ඒ තරම් ලොකු නොවුණත් කුණුදිය පර්වතය එරත්න පාරට කිට්ටු බව එයින් පෙනුණි. යා යුතු පාර හරියටම නිශ්චිත කර ගැනීමට ගෙනා සිතියම් 2 දිග ඇර බැලුවෙමු. අපි කවදාවත් පා ගමන් සදහා සිතියම් රැගෙන ඇවිත් නැත. අවාසනාවට අවිස්සාවෙල්ල හා රත්නපුර යන මෙට්‍රික් සිතියම් දෙකේම සිරිපාදය නොවීය. එය ඇතිතේ නුවරඑළිය සිතියමේ විය යුතුයි. අවසානයේ මම කලින් දා හිතේ ඇදගත් කුණුදිය පර්වතය සොයා ගියෙමු.

ටික දුරක් යන විට කුණුදිය පර්වතය ලෙස සැලකිය හැකි කඳු 2ක් දර්ශනය විය. ගූගල් මැප් එකට අනුව මේ පාරේ හමුවන උසම කන්ද කුණුදිය පර්වතයයි. මට එතනින් පෙනුණ උසම කන්ද මේ කපේට අපිට නගින්න බැරි විශාල එකකි. එම නිසා එය අත හැර පාරට දකුණු අත පැත්තේ ගූගල් මැප් එකට අනුව තිබූ කුඩා කන්ද තරණය කිරීමට තිරණය කළේමු. වර්ණගල අම්බලම අසලට කන්ද ලගින් පෙනුණත් එය නැගිමට තව ටිකක් උඩට නෑගීමට සුදුසු බැවින් තව දුරක් ආ පාරේම ගමන් කළෙමු. එන්න එන්නම කන්ද පාරෙන් ඈත් වෙන බව අපිට පෙනුණෙන් පුරුදු පරිදි දිගාංසෙට ගමන් කිරීමට තීරණය කළෙමු. පාරත් කන්දත් අතර විශාල නිම්නයක් වුයෙන් උතුරු දිගාංශ 225 ට යුතු වුවත් පසුව 180ට යන්න කැලයට පැන්නෙමු. ටික දුරක් ගිය අපි නතර වුයේ තාප්පයක් වැනි නිම්නයකය. එතනින් බැසීමට තිබූ එකම ක්‍රමය ලෙස පෙනුණේ ගසක බඩ ගාගෙන බිමට බැසිමටය. අඩි 20ක් පමණ විශාල උසක් නොවූයෙන් එය ඉක්මනට බැස ඉතා ඉක්මනින් දොළ පාරට ප්‍රවිෂ්ට විය. අඩි 50ක් 60ක් පමණ වූ එම දොළ පාර අපේ ජීවිතේ අමතක නොවන දිනය ලබා දේවි යැයි අපි කෙලසකවත් නොසිතුවෙමු. වෙලාව 4 පමණ වූ බැවින් අපි නවතින්න තැන් සෙවුවෙමු. දොළ පාරේම පිහිටි වතුර පාරට අඩි 5ක් පමණ උසින් පිහිටි තරමක් ආනත නමුත් කූඩාරමක් ගැසීමට හැකි ගල් පොත්තක් මම යෝජනා කළෙමි. මාළිබඬ වූ අකරතැබ්බය සිහිකළ එකෙකු මෙම ස්ථානය ප්‍රතික්ෂේප කළේය. මෙය ඉතා ලස්සන ස්ථානයක් වීමත් තාප්පයක් මෙන් තිබූ නිම්නයේ මෙතරම් හොද ස්ථානයක් සොයා ගැනීමට අපහසු වීමත්, වතුර මට්ටමට අඩි 5ක් පමණ උසින් තිබීමත්, ඒ මට්ටමට වතුර ආවත් ඒ අසල ඇති තවත් අඩි 7ක් උස ගලක් උඩට නැග මොනා හරි කර ගැනීමට පුළුවන් වීමත් යන සාධාරණ හේතු මම ඉදිරිපත් කළෙමි. එයට ඇතැමුන්ගේ කැමැත්තක් නොතිබුණ හෙයින් 4.30 වන තෙක් නිම්නයේ කූඩාරමක් ගැසීමට සුදුසු ස්ථානයක් සොයා ගෑනිමට පිටත් වුණෙමු. කලින් ස්ථානය තරම් හොද නැති මුත් යම්තාක් දුරට හොද ස්ථානයක් අපිට හමුවුණි. පැල ගස් 2ක් 3ක් කපා එළි කර එතන සිටීමට පුළුවන් නමුත් එය එක පයින් ප්‍රතික්ෂේප වුයේ දොලපාරේ ගල්පොත්ත තරම් ආතල් නොවූ හෙයිනි.

ගල්පොත්ත වෙත ගොස් කූඩාරම අටවා ළගම ඇති අඩි 7ක් පමණ ගැඹුරු පිහිනුම් තටාකයක් ලෙස විශාලව සැදි තිබු දිය වළකින් නැවෙමු. එවිට පිහිනීමට නොදන්නා මල්ලි කෙනෙක් ගිලෙන්නට ගියේය. එහි ගිලිමට තරම් වතුර නෙවුයෙන් මම ඔහුට අත දුන් අතර මාව ඇදගෙනම ඔහු වල මැද්දට ගියේය. මට ඇප නැතිවන බව තේරුණෙන් මම එතන සිටි අනිත් එකාට අත පෑවෙමි. ඒකත් ඇදගෙන වල මැද්දට ආවෙන් පිනිමට එතරම් නොදත් ඔහු අප අතහැර ගොඩට පීනුවේය. මාව බදාගත් අනිකා මරබයෙන් දැගළුවෙන් මටත් පාලනය කිරීම අපහසු විය. වතුරින් උඩට මූහුණ දාගත් මට කඹයක් දානවා පෙනුණත් මට එය අල්ලන්න බැරි විය. අවසිහියෙන් අනෙකා අත හැරිය මා ගොඩට පිහිනුවෙමි. එවිට කඹය අල්ල ගත් අනෙකා ගොඩට පැමිණියේය. මැරෙන්න තරම් මහන්සි තිබුණත් එයින් බේරීමට පුළුවන් යන විශ්වාසය තිබූ නිසා මට එය ගාණක් නොවීය. අනෙකාටනම් මරණ බිය හොදට දැනී තිබුණි. පිහිනීමෙන් පසුව අපි කූඩාරමට වැද රෑට කන්ට පටන් ගතිමි.

කවදාවත් නැතුව අපි කූඩාරමේ සින්දු කිවෙමු. වෙන පා ගමන් වලදී පණ නැතුව කූඩාරම සාදා නිදා ගන්නා අපි අද වේලාසන කූඩාරම ගැසුහෙයින් තේකක් පවා සාදාගෙන බීවෙමු. වේලාසන නින්දට ගියහොත් පාන්දර සීතලට නැගිට දුක්වීදීමට සිදුවන බැවින් සින්දු කිවෙමු. 10ට පමණ පොඩි වැස්සක් වැටුණ අතර වතුර මට්ටම අඩි 2ක් පමණ නැගී ඇති බව දැක්කත් අපි 11ට පමණ සැකයෙන් නින්දට ගියෙමු. නමුත් අපිට නිදා ගත හැකි වුයේ 1 වන තෙක් පමණි. වතුර මට්ටම ගල්පොත්ත තෙක් ඇවිත් බව කෙළවර සිටින්නා ප්‍රකාශ කළහෙයින් සිතලේම එළියට ගොස් එය බැලුවෙමි. තත්වය දරුණු බව මට පළමු වරට තේරුණි. නමුත් එය නොපෙන්වා පඬුරක්වත් ගැට ගසමුදැයි යෝජනා කළෙමි. එවලේම මගේ සගයාගෙන් පඬුරක් ලැබුණ අතර එය කුඩාරමට ඇතුළෙන් මුදුනේ ගැට ගසා සමන් දේවාලයට ගොස් වැඳපුදා ගන්නා බවට භාර වීය. නමුත් වැස්ස අඩුවක් නැතුව වැටුණි. වතුර ගල්පොත්තට දැමුවොත් ඉතා ඉක්මනින්ම ගල්පොත්ත යට නොවන නිසා කූඩාරම ගලවා එය විනාඩි 5න් ඇසීරීමටත් බඩු ටික ගල්පොත්තට ගෙන ඒමටත් තීරණය කළෙමු. දැන් අපිට නින්දක් නොවූයෙන් කුණුදිය පර්වතය නැගීමට තරම් ශක්තියක් නැති බැවින් නැවත පාරට ගොස් සීතගඟුල අම්බලමට ගොස් රැයක් නතරවී ආතල් එකේ ආපස්සට පැමින ගෙදර යාමට මම යෝජනා කළෙම්. එයට කවුරුත් එකග විය. එක වරම කූඩාරම තුළට වතුර ගසනවා කී සැණෙන් මාත් තවකෙක්කුත් එළියට බැස එය පරීක්ෂා කළෙමු. තත්වය අසාධ්‍යබව තේරුණෙන් කූඩාරමින් එළියට බැසීමට අණ දී ගමන්මලු එළියට ඇද්දෙමු. කූඩාරම ගැලවීමට පටන්ගන්නවාත් සමග වතුර පාර තවත් වැඩි වූයෙන් කූඩාරම ගසාගෙන යන්ට වූයෙ දෙදෙනෙකු ඇතුළත සිටියදීමය. කූඩාරම අල්ල ගන්න අපි කොතරම් තැත් කළත් අපිට මුකුත් කීරීමට නොහැකි විය. ඇතුළත සිටින දෙදෙනා එළියට පැන ගත් අතර කූඩාරම එතන තීබු ගල් දෙඹුක්කාවක් තුළට ගියේය. එය සිරවී ඇති නිසා එහි ආශාව අතහැර ජීවිත ආශාව නිසා ගල්පොත්තට අඩි 7ක් පමණ උසින් තිබූ ගල් පර්වතයට ගොඩවිමු. එක පෙළට වාඩි ගමන්මලු උඩ වාඩි ගත් අප දැඩි වැස්සෙන් බේරීමට කළු ඉටි කොළයක් ඔසවා ගත්තෙමු.

විනාඩි 10ක් ඇතුළත ඉතා ශීඝ්‍රයෙන් වතුර පාර ඉහළ නැග්ග අතර මෙතනින් හැර බේරීමට හැකි ආකාරයක් ඇත්දැයි විදුලි පන්දමක් ගසා බැලුවෙමු. එය පමණක් හුදකලා වී තිබූ අතර වටේටම සැඩ වතුර පහර දිය ඇල්ලක් මෙන් ඉතා වේගයෙන් ගලා ගියෝය. අඩි 20ක් පමණ දුරින් ගොඩබිම වූවත් එය වෙත යාමට කිසිදු මාර්ගයක් අප සතු නොවීය. අඩි 7ක් වූ පර්වතයේ මුදුනේ සිටි මට වතුර පාරක් කකුලට වැදුණ විට මට මරණබිය පළවන පාරට ඇති විය. තුන් සරණය කවියක් කීමට ගත් නමුත් බිය නිසාම එය වැරදුණි. කට්ටයම බය වී ඇති බැවින් පිරිත්වත් කියමුද අසා කරණීයමෙත්ත සූත්‍රය කීමට පටන් ගත්තෙමි. බය නිසාම කට වෙව්ලන අතර කරණීයමෙත්ත සූත්‍රය මට කීප සැරයක්ම වැරදුණි. කවුරුන්හෝ භාරයක් වෙමු යැයි යෝජනා කළේය. මෙයින් කරදරයක් නොවුණහොත් අපි සියලුම සැලැස්මවල් අහෝසි කර නියමිත පරිදිම සිරීපාදෙට ගොස් වැදීමට භාර වුණෙමු. ඒත් වැස්සෙ කිසිදු අඩුවක් නොවීය. පාන්දර 3.30 වන විටත් වැස්ස වැඩිවීමක් මිස කිසිදු අඩු වීමක් නොවීය.

මට ගෙදර මතක් වුණි. ගෙදර බර කරගැසීමට ඉන්නේ මා යැයි අම්මා තාත්තා විශ්වාස කරයි. අවුරුදු ගාණක් මට උගන්වා මගේ මෝඩකමට මෙවන් ගමනක් පැමිණ මිය ගියහොත් පවුලට යන කලදසාව මොකක් වේවිද. වතුරට ගසාගෙන යන විට පීනනවාද නැතහොත් මැරෙන්නට දී බලන් ඉන්නවාද යැයි මම සිතුවෙමි. දැන්නම් ඇඩෙන්නටත් එයි. කවුරුත් අඩන්නෙ නැත. තවමත් නොනවත්වා පිරිත් කියයි. වතුර තිබහ බැවින් මගේ උගුර වේලි කතා කිරීමටත් නොහැකි තත්වයට පත් වී ඇත. වතුර මට්ටම අඩියක් පමණ සීමාවකට අපිට කොටුකළහොත් බියවූවන් දැගලිමට පටන්ගන්නවා ඇත. මා කොතරම් බය වුවද කියතොත් සමන් දෙවියන්ට කෑ ගසා කියා සිටියේ ආයෙත් මෙසේ මෝඩ වැඩ නොකරන බවත්, අනෙක් පුද්ගලයන්ද මෙවන් මෝඩවැඩ නොකරන්න දැනුවත් කරන බවත්, ගොඩගිය විට සිරීපාදෙය අනිවාර්යයෙන්ම වැද ගෙදර යන බවත්, එපමණක් නොව සෑම අවුරුද්දකම බාලදක්ෂ සමූහයත් සමග වාරයට සිරිපා කරුණා කරණ බවත්ය. තුන්සරණය සහිතව පන්සිල් ගෙන නැවත කරණීයමෙත්ත සූත්‍රය කිවෙමු.

ආශ්චර්ය යන වචනය මා විශ්වාස නොකළෙමි. නමුත් එම භාරය වී පැය කාලක් යන විට වැස්ස අඩු වී නැති විය. එළිවෙනකන් ගල්පිළිම ලෙස එකතැනම සිට පිරිත් කිය කියා සිටියෙමු. එළිය වැටෙන විට වතුර මට්ටම ගල්පොත්ත පෑදෙන්න අඩු වී තිබුණි. 7 පමණ වන විට ගසාගෙන ගිය කූඩාරම දැකීමට පුළුවන් විය. ගල්පොත්ත තරමක් පෑදුණ විට මම බැස වතුර බෝතලයට වතුර එකක් ගත්තෙමි. තද වතුර තිබහේ සිටි අපි මඩ වතුර බීවෙමු. කූඩාරම ගොඩ ගැනීමට උත්සහ කල පසු එය අපහසුවකින් තොරව ගැනීමට හැකි විය. හදිසියේ කූඩාරම ගැලවිම නිසා කූඩාරම් කූරු කැඩි තිබුණි. මම සිතුවේ වතුර පාරේ සැරට කූඩාරම සොයා ගෑනීමටවත් නොහැකි වේ කියයි. නමුත් එය එසේ නොවී තිබුණි. කූඩාරම සිරවී තිබුණේ එහි තිබු කුණු බෑගය නිසාය. කූඩාරම හා බඩු අසුරා අපි යන්ට ලැහැස්ති විය. ඒ වන විටත් යාමට තරම් පාර සුදුසු තත්වයේ නොතිබුණි. තවත් වතුර බසිනකන් සිටීමට යෝජනා විය. නමුත් එය ක්‍රියාත්මක නොවුනේ නැවත පොදයක් පටන් ගත් හෙයිනි. වැහි පොදයකට කල හැකි දේ දන්නා බැවින් අපි යෑමට පාරවල් සෙවුවෙමු. මාත් තව ජනාධිපති බාලදක්ෂයෙකුත් කඹයක් බැදගෙන පිටත් වුණේ අපි ආ පාර පරීක්ෂා කිරීමටයි. අමාරුවෙන් ගල් පොත්තකට නැගගත් මට පෙනුණේ දිය ඇල්ලක් ලෙස එන තැනකින් මැරු වීමට අපහසු බවයි. එය අතහැරි විට අනෙක් ලී පදක්කම් ධාරි බාලදක්ෂ නායකයා වතුර හරහා පිහිනිමට කඹයක් බැදගෙන උත්සහ කළේය. වතුර පාරේ සැඩබව කෙසේද කියතොත් කකුල දණහිසට පහළින් කඩාගෙන යන්නාක් ලෙස දැනුණ බව ඔහු මට පසුව පැවසීය. අපි සිටි ගල්පර්වතයට පිටුපසින් යෑමට ක්‍රමයක් ඇද්ද යන්න පරීක්ෂා කල අපිට එයත් නිෂ්ඵල බව තේරුණි. අවසානයේ තවත් ජනාධිපති බාලදක්ෂයෙක් මා උත්සහ කල දිය පාර තරණය කිරීමට යෝජනා කළේය. තවත් කිරීමට දෙයක් නොවූයෙන් වැස්ස නවතින තෙක් මෙතෙන සිටිනවාට වඩා තවත් උත්සහයක් දාන්න අවසර දුන්නෙමු. 5වන නීතිය ප්‍රයෝගික කිරීමට ඔහු කඹයක් බැද පිටත් විය. අපේ වාසනවාවට ඔහුට එතනින් පැන ගැනීමට හැකි විය. තව දුරටත් පාර නිවැරදි දැයි බැලීමට තවත් කෙනෙකුද පිටත් විය. ඔවුන් ගොස් ප්‍රකාශ කළේ පාර පැහැදිලිබවය. එකින් එක ගමන් මලු හා පුදුගලයන් එගොඩ කරීමට හැකි විය.

අපි එගොඩ වනවාත් සමගම වැස්ස අධික විය. එය නවතා තිබ්බේ අපිට එගොඩට යන්න මෙනි. එගොඩට ගිය වහාම අපි ආ මාර්ගයේම යුහුසුළුව ගමන් කළෙමු. පැමිණි ලෙසම ගසක බඩ ගෑමට අපිට ශක්තියක් නොවුයෙක් තවත් ඉදිරියට ගොස් කාණුවක් මෙන් දියපාරයක් දිගේ ඉහළට නැග්ගෙමු. වැස්සට තෙමී ගමන් මලු බර වී තිබුණ අතර පස මඩ වීම නිසා ලිස්සන සුලු විය. අපිට ඊළග බාධකය වූයේ කුණකටුවෙක්ය. මට ඉස්සරහින් යන්නාගේ කකුලට පෑගිමට ගොස් එයින් බේරි ඌ නැවතුණේ අපේ පාර හරහටය. ඒකව අරන් දෑමීමට අපිට පණක් නොවීය. කුඩා බෑගයක් තිබූ අයෙක් ඒකාව කෝට්ටකින් එහාට කර දමුයෙන් අපිට ඉදිරියට ගමන් කිරීමට පුළුවන් විය. ආ මාර්ගයේම ගමන් කල අපිට පාරට ඒමට හැකිවිය. නමුත් වැස්ස කිසිදු අඩුවක් නැතුව කඩන් හැළුණි. සෙරප්පු සියල්ල ගමන්මලු වල ගැට ගසා ඇති බැවින් පාවහන් රහිතවම අපි සිරිපාදය නැගීමට පිටත් විය. දහවල් 11.30 වන විට අපි සීතගඟල අසලට පැමිණියෙමු. අධික වර්ෂාව නිසා ශීත ගගුල ගොඩ ගලා තිබූ අතර පාරට වඩා අඩි 4ක් පමණ උඩින් ජලකද වේගයෙන් ඇදී ගියේය. හොදටම තෙත බරිත වී තිබු අපි සීතගඟුල අම්බලමේ නැවතී බිස්කට් කා දවල්ට උයන්න පටන් ගත්තෙමු. හැමතැනම වැල් ගැට ගසා ඇදුම් වේලෙන්න දැමු අතර පිරිසක් නිවා දමා තිබු ගිනිමැලයක් පත්තු කිරීමට සැරසුණි.

අපේ අපලය තවත් දිග බව තේරුණේ උයන්න ගිය විටයි. රැ කෑම වේල රොටි වු අතර ඒ සදහා ලුණු ගෙනවිත් තිබුණේ නැත. ඒ වෙනුවට අජිනමොටෝ ගෙනා බව කීවේ අපව ඇල්ලෙන් එතෙර කරන්න දායක වූ සොයුරාමය. එය කිසිවිටයත් ජනාධිපති බාලදක්ෂයෙක්කුගෙන් බලාපොරොත්තු වූ පිළිතුරක් නොවේ. ඔහුට බැණ අපි ලුණු හා පොල් නැතුව පාන්පිටි හා කිරිපිටි වලින් රොටි සෑදුවෙමු. අම්බලම තුළ කූඩාරම කූරු රහිතව එල්ලා ගැසූ අතර එයට එළිමට අම්බලමේ තිබු ෆයිබර් දොරවල් යොදා ගතිමු. අම්බලමට එහාපැත්තේ කඩයෙන් තවත් දොරක් සමුවූ අතර එය පිසදා ගැසු විට එළියට ආවේ අගල් 10ක් 12ක් විතර දිග ගරුඬෙකි. පත්තෑයන්ගෙ ලොකු එකා ගරුඬා ලෙස අසා තිබුණත් එතරම් විශාලවේයයි මා කිසිදා නොසිතුවෙමි. නැවතත් එළු දොරවල් ගසා කූඩාරම දැමූ අතර කූඩාරමට සතුන් ඒම වැළැක්වීමට භුමිතෙල් ඉරක් යැවුවෙමු. හවස 4 පමණ විට වැස්ස නැවතුන අතර වතුර මට්ටම සෑහෙන ලෙස අඩු විය. නමුත් එයින් මේ වෙලාවට පැනයාමට තරම් ශක්තියක් අප තුළ නොවීය. එම නිසා රෑට කා හොදට උණුසුම්ව නින්දට ගියෙමු.

පසුදා උදේ නැගිටි මට පෙනුණේ සීතගඟුල තරණය කිරීමට හැකි මට්ටමට පැමිණ ඇති බවයි. නැවත වැස්සක් පටන් ගතහොත් එය අසාර්ථක විය හැකි බැවින් අපි ඉක්මනින් උදේ කෑම සකසා ආහාරයට ගෙන පිටත් වුණෙමු. ඒ අවස්ථාව වන විට අවුරැල්ලක් පායා තිබුණි. හැරමිටිපාන අසල හමුදා කඳවුරේ ආපනශාලාවෙන් තේකක් පානය කිරිමට හැකි විය. පෙරදා කෑමට නොහැකිවූ රොටි කා තේ බිව් අපි යුහුසුළුව කන්ද නැගීමට පිටත් වුණෙමු. අධික සීතලේ සිටි අපිට නැවත වැස්ස බාධා කළේය. සුළං කපොල්ල හරියේදී වැස්ස අධිකව වැටුණි. කෙසේ හෝ දවල් 12.30 වන විට උඩමළුවට කරුණා කිරීමට අපිට හැකි විය. එහිදී මළුව භාරකරුගෙන් තේ වේලක් ලැබුණි. ප්‍රමාණවත් තරම් ආහාර නොලැබුණ බැවින් එය අපිට මහත් පිටුවහලක් විය. ඒය ඉවරවුන වහාම අපි පිටත් වුණේ ආ කාර්‍ය ඉෂ්ට කිරීමටයි. පද්මය අසලට ගිය අපි තිසරණ සහිත පන්සිල් සමාදන් වි කූඩාරමේ ගැටගෑසු පඬුර ගැට ගසා අපි භාරය ඔප්පු කල බව කීවේමු. තරුණයන් පිරිසක් මෙසේ භාර ඔප්පු කරන එක ලැජ්ජාවට කරුණක් ලෙස පෙනුණත් පෙර රා රාත්‍රිය අපිට අමතක නොවන බැවින් අපි නොපැකිලිව එය ඉටු කරෙමු. විගස හැටන් මාර්ගයෙන් බැස යාමට පටන් ගතිමු.

භාරයේ කොටසක් තවත් ඔප්පු කිරිමට ඇති නිසාදෝ අපිට තවත් කරදර ගාණකට මුහුණ දීමට විය. වර්ෂාව අඩු නොවීම, හැටන් වලට යාමට බස් නොවීම, නල්ලතන්නියේ ආහාර ගැනීමට කඩයක් නොවීම, හැටන් වල සිට කොළඹට හවස 6.30 න් පසු බස් නොවීම ආදී කරදර ගණනාවකට මුහුණ දුන්නෙමු. කොළඹට බසයක් ඇත්තේ පාන්දර එකකුත් ගාණකට වීම නිසා අපිට මගේ විශ්වවිද්‍යාලයේ දෙමළ සොයුරෙක් උදව් විය. ඔහුගේ ගෙදර ගොස් තේකක් බී නිදාගෙන කලට වෙලාවට බස්එකට ගොස් අපි ගෙදර යන විට පසු දා උදේ 7.30 පමණ විය. ගමන එසේ නිමා කළේ භාර වූ පරිදි එන අවුරුද්දේ වාරයට කට්ටියත් සමග සිරිපා එනබවට වූ පොරොන්දුවත් සිහියේ තබා ගනිමිනි.

ප.ලි – මෙය අවාරයේ සිරිපාදය කරුණා කිරීම පිළිබඳ මගේ මාර්කටින් පාරක් නොවේ. මෙවන් මෝඩකම් නැවත නොකිරිමට ඔබ වෙත කරන අවවාදයකි.

%d bloggers like this: