මා දුටු කඨින පෙරහර

දීපංකර බුදුන් කල
රිද්දි බිසව් හත් දෙනෙකි.
උස්සන්ගොඩද? කූරගලද? කෙසේ හෝ
ඔවුන් කපු වැව්වෝය, නෙළුවේාය,
කපු කැටුවෝය, විව්වෝය.
මුල්ම කඨින සිවුර මැසුවෝය, පිදුවෝය.
කල්ප ගාණක් ගත වුණි.
මහා භද්‍ර කල්පය වුණි.
ගෝතම බුදුන් පිරිනිවණින්
අවුරුදු දෙදෙහස් පන්සීයයක් ඉක්මුණි.
අදත් සිරිත පවතී.
කපු වවන්නේ තියා දකින්නවත් නැත.
කඩෙන් ගන්නා සිවුරක් ගෙදරක තබාගෙන,
දළදා පෙරහරක් ලෙසටම හිතාගෙන,
එකෙක් පරයා තව එකෙකුට නොදෙවෙනිව,
ඇත් අස් රිය පාබල පෙරට ගෙන,
යකඩ කටින් පිරිතක් දමාගෙන,
ඇහැරවන් ඉන්න මිනිසුන් නිවාඩුවේ නිදාගෙන,
අන්තිම හරියෙ පන්සලට කඩාගෙන බිදගෙන,
ගොස් පුදයි කඨින සිවුරක් පන්සලට.
නිධාන කතාවක් නොදත් මිනිසුන්
ඇහුවොත් කියාවි..
මේ අපේ සංස්කෘතිය බොලව්.

ප.ලි – අපි නොදන්න සංස්කෘතිය. අවුරුදු 5කට කලින් මල් පෙරහරක් පමණක් ගිය, දැන් චතුරංගනී සේනාවම එක් කරගෙන දුක්විදින.

Advertisements

අවසන් ලියුම

______________,
______________,
___________ පාර,
______________.
20__/__/__.

_______මෙනවිය,
_____________,
__________ පාර,
_____________.

හිතවත් මෙනවිය,

ඔබට කලින් දැනුම් දී තිබූ පරිදි 20__/__/__ දින සිට ඔබ කෙරෙහි මා හට පිළිබද සිතක් පහළ වී තිබුණි. ඒදා සිට මාස __ක් ඔබගේ හැසිරීම හා ගතිගුණ පරීක්ෂා කල අතර ඒ සියල්ලෙන් ඔබ විශිෂ්ට ලෙස සමත් වූ බව නැවත දැනුන් දෙන්නේ හද පිරි සතුටිනි.

ඔබ හට මා විසින් ලිඛිත පරීක්ෂණයකට අයදුම්පතක් එවූ අතර එයට ඔබ එකඟ වූ තැන් පටන් ඔබ හා මා අතර පැවැත්වූ සියලුම ලිඛිත හා වාචික පරීක්ෂණ වලින් ඔබේ සුදුසුකම් මනාව දක්වන ලදී. ඒ අනුව 20__/__/__ දින මා ඔබට අවසන් වාචික පරීක්ෂණයකට කැදවුවද එය කාරුණිකව ප්‍රතික්ෂේප කල බැවින් එය දින නියමයක් නැතුව කල් දැමුවෙමි. එයින් දින __කට පසුව එය නැවත පැවැත්වීමට යෝජනා කළත් එවැනි පරීක්ෂණ සදහා අකමැති බව ඔබ මට ලිඛිතව දැනුම් දුන් බැවින් එම පුරප්පාඩුව සදහා කෙරෙන බදාවා ගැනීම් නතර කරන ලදී. නමුත් 20__/__/__ දින හදිසියේ කැදවූ පරීක්ෂණයට ඔබ සහභාගී වු අතර එයින් ඔබ ප්‍රකාශ කර සිටියේ මෙම පුරප්පාඩුවට තමා අර්ථ විරහිත බවත් ඒ සදහා තමාට කල හැක්කක් නොමැති බවත්ය. ඒ කෙසේ වෙතත් නැවත දෙතුන් වරක් ඔබ මෙයට අකමැත්ත ප්‍රකාශ කිරීමත් ඔබ හා තිබූ සියලූම සංනිවේදන කටයුතු ඔබ විසින් වළක්වා තබූ බවත් සදහන් කරන්නේ හද බැදි දුකෙනි.

මෙසේ දිගින් දිගටම ඔබ හා කටයුතු කිරීමට අප ආයතනය අකමැති බැවින් මේ සදහා යොදා ගත් සියලූම මානව හා භෞතික සම්පත් නැවත කැදවනු ලැබේ. මේ ලිපිය ලැබී දින __ක් ඇතුළත ඔබ විසින් යහපත් ප්‍රතිචාරක් දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නොවුවහොත් මෙය සිදුකීරීමට නියමිත අතර එයට බාධා පැමිණවීම හෝ බාධා පැමිණවීමට අනුබල දීම හෝ සිදුකළහොත් අප ආයතනයේ ව්‍යවස්ථාවට අනුකූලව නීතිප්‍රකාරව නඩු පවරා අච්චු කරනු ලැබේ.

බෙහෙම ස්තුතියි!

මෙයට,
තාමත් සේවයේ නියතු,

__________________
මානව සම්පත් කළමනාකරු,
මගේ හිත.

ප.ලි – මෙය 20__/__/__ දින වෙනත් අයවලුන් කිහිප දෙනෙකු විසින් යෝජනා කරනු ලැබූවක් වන අතර මා විසින් 2012/10/29 දින ලියා ප්‍රසිද්ධ කරන ලදී.

පනස්වැන්න

මකුණුවැන්න කොළයක් දිග හරින්නාක් සේ මේ ඔබ වෙත දිග හරින්නේ මේ අඩවියේ පනස් වෙනි ලිපියයි. එන මසට අවුරුදු 2ක් සපිරෙන මෙයට ලැබුන ප්‍රතිචාර ගනන 150කට අදික වන අතර 7500කට අධික ගනනක් මෙය බලා ඇති බව දැනුන් දෙන්නේ සතුටිනි. බැලූ, ප්‍රතිචාර ලබා දුන් සියල්ලට තුති!

දැනට අවුරුදු දෙකකට පෙර කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යනායතනයේ Dimin Lab එකේ ප්‍රස්ද්ධ බොලොග් කරුවන්තිදෙනෙක් සමග වැඩ කිරීමට අවස්ථාව ලැබුණි. අවසන් වසර පුහුණු කිරීම් සදහා අපි එහි වැඩ සිටියත් ඔවුන්ට තිබූ සියලු රාජකාරී මගහැර හත්මාළුවක් සෑදීමට පටන් ගති. මටත් තිබුණ රාජකාරියත් කිරීමට අගක් මුලක් හිතා ගන්න බැරිව සිටි කාලයකි. සිණ්ඩියක් සෑදීමට සහයෝගය දීමට තරම් මට තාක්ෂණික දැනුමක් නොමැති වූ හෙයින් මටම කියා බොලොග් එකක් හැදීමට සිතුවෙමි. මෙයිට කලින් සින්දු ලිවීම සදහා බොලොග් එකක් සෑදුවත් අනිත් කිසිවක් එහි ලිවීමට නොහැකි වූ බැවින් එය හැර අලුත් බොලොග් එකක් ලෙස මෙය පටන්ගතිමි. බොලොග් එකක් සෑදීමට යා යුතු ලින්ක් එකේ සිට සියල්ලට උපදෙස් සැපයුවේ ඔවුන් තිදෙනා විසිනි. ඔවුන් තිදෙනාටම මගේ විශේෂ ස්තුතිය පිරිනමමි.

එක් දිනක ලැබ් එකේ එක්කෙනෙක්ගෙන් පටන් ගෙන සියල්ලටම ප්‍රචාරය කල ඒයට, ලැබුණ මා කැමතිම කමෙන්ට් එක “නම් නම් මරු” යන්නයි. සිංහල භාෂාව ගැන එතරම් හොද දැනීමක් නැති මම සරල සිංහලෙන් මෙම බොලොග් එක ලියාගෙන යමි. නමුත් මම මේ බොලොග් එකේ ලියන ලිපි කවුරුන් උදෙසා, කුමක් අරඹයා, කුමන අවස්ථාවක් ගැන කියනවාද කියා සීයයටසියක්ම දන්නේ මා පමණි. ඔබ මා ගැන දන්නා තරමින් මේ ලිපි තේරුන් ගත හැක. ඇතැම් ලිපි නම් තේරෙන්නේ මට පමණි. මා ඇසුරු කල අයගෙන් එක්කෙනෙකුගේ නමක් පමණක් එක ලිපියක සදහන් කර ඇත. මා වඩාත් ප්‍රස්ද්ධ වූයේ ‘මෘදුකවි’ ලිවීමෙන් කියායැයි මා දනිමි. මෘදු කවි 2 ලෙස වෙනත් බොලොග්කරුවෙකු කවි ටිකක් ලිවීමත් ඒ දෙකේම එකතුව සැමතැනම ව්‍යාප්ත වීමත් නිසා මාගේ ස්වර්ණමය යුගයක් ගෙවී ගියේය. තමාගේම කවි වෙනත් අයගෙන් තමාටම තැපෑලේ ලැබෙන විට සතුටු නොවන ලියුම් කරුවා කවුද. ඒ සියල්ලටම දායක වූ සැමට තුති. එදා වූ සිද්ධියක් නිසා පරණ සිදුවීම් ගැන එදාම ආ සිතුවිල්ලක් නිසා ලිවූ ‘ආ පයින් ගිය දුරක්’ ලිවුවෙමි. එතරම් දුරට නොසිතුවත් ඔබ එය වැළදගත් බැවින් එය මගේ කැමතිම ලිපිය විය. නමුත් මගේ හොදම ලිපිය ලෙස මා දකින්නේ ‘පැමිණීම’ ය.

ඔබ සියල්ල සතුටින් තැබිමට මා කැමතිය. නමුත් සියලු ලිපි ඒ සදහා නොවේ. ඔබට වැදගත් නැති මට පමණක් වැදගත් ලිපි මා ප්‍රචාරය නොකරයි. කවුරු මොනා කිව්වත් මම නම් බලන්නන් ගාන වැඩි වෙනවාට කැමතිය. මොන ජාතියක හෝ කමෙන්ට් එකක් වැටෙනවාට කැමතිය. ලිපියක් ලියා එය Facebook, Google +, Twitter යන්නේ ඔබා, සයිට් ස්ටැට් වෙත ගොස් එය රීෆ්‍රෙෂ් කරමින් බොලොග් එක බලන්නන් වැඩි වෙන හැටි මා බලන් ඉන්නේ පුදුම ආසාවකින්ය. (කලින් වැඩිමනක් ප්‍රචාරය වුණේ Google Buzz එකේය.) නමුත් මම කවදාවත් මෙය බලන්න, මෙය ෂෙයාර් කරන්න, මේකට කමෙන්ට් එකක් දාන්න ලෙස ඉල්ලා පච වී නැත. ඉදිරියටත් නැත. මම ලියාපදිංචි වුණේ එකම සින්ඩිකේටරයක පමණි. මාත් එක්ක වැඩ කරපු එවුන්ගේ නිර්මාණයක් වූ නිසා එහි ලියාපදිංචි වුණු අතර එයින් මගේ අඩවියට ආ සියල්ලන් වෙනුවෙන් එහි නිර්මාණකරුවන්ට ස්තූතිය පිරිනමමි. වෙනත් සිණ්ඩියන්ද මාව ලියාපදිංචි කර ඇති අතර ඔවුන්ටද මාගේ ස්තූතිය පිරි නමමි. එමෙන්ම මගේ බොලොග් එක ෆලෝ කර තමන්ගේ අඩවියේ ප්‍රචාරණය කරන කට්ටියටද මා ස්තුතිය පුදමි. “ඔයාගෙ බොලොග් එක නම් මරු” ලෙසින් හුගක් දෙනා මෙය වර්ණනා කරන විට මා ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ එයට ස්තුතියි කියනවාට වඩා කීමට යමක් නොතේරෙන හෙයිනි. මා කවදාවත් කමෙන්ට් එකක් මකා නැත. ඉදිරියට නම් එසේ නොවනු ඇත.

ලිපියක් ඕනාට වඩා දික් නොකරන ලෙසත්, පින්තූර හා වීඩියෝ දැමීම කියවනන් අපහසු තාවයට පත් කරන බව මට උපදෙස් දීඇත. නමුත් ඇතැම් කතා මේ කතාව මෙන්ම දික් වෙයි. නමුත් වචන 500කට වඩා දිග ලිපි තුන හතරක් පමණක් ලියා ඇත්තේ එය කොටස් වශයෙන් කඩා දැමීමට මගේ ඇති අකමැත්ත නිසයි. මාසයකට එක බැගින් ලිපි ලිවිය යුතුයි, ලිපි දෙකක් අතරපරතරය සමානව තබා ගත යුතුයි, ලෙස මා අසා තිබුණත් මට කල නොහැකි වැඩේ එයයි. සෑහෙන්න පයින් ඇවිදින මා ඇවිදිනවිටත්, කොච්චියක් එන තුරු බලාසිටින විටත්, කොච්චියේ හෝ බස් එකේ යන අතරතුරත් ගසනා මනෝ පාරවල් නිසා මගේ නිර්මාණ බිහිවේ. ඇතැම් මාස පාළුවට ගියත් අද ලිපියක් ලියා එන දවසේත් ලිපියක් ලිවීමට මට සිතුණොත් එය ලියමි. එකක් කලින් එකට වඩාවෙනස් කිරීමට මා සැම විටම උස්සහ කරමි. ඉදිරියට එසේ නොවනු ඇත. ලිපියක් ලිවීමට පටන් ගෙන එය තමත් ලස්සන කිරීමට එදාම ඉවර නොකිරීම මා කරන ලොකුම මෝඩ කමයි. අනිත් දවසේ එය ඉදිරියට ගෙන යාමට කිසිම කැමැත්තක් නොමැති නිසා වටිනා ලිපි රාශියක් ඔහේ සුරැකිව ඇත.

ලිපිය තවත් දිගු වන බැවින් නවතිමි. මෙතෙක් ආ ගමනේ උදව් කල සැමට මාගේ ස්තුතිය පිරි නමමින් සම්ප්‍රදායික ලෙසින්මෙයි අවසන් කරමි. ඔබ සැමට ජය!

ප. ලි – මොනා හරි කියාගන්න බැරි වුනානම් සමාවියන්. දැනට මතක ඔච්චරයි.

අට්ටාල කවි

කඳවුරු භූමියට ඇතුල්වන දෙරටුව සදහා මුර අට්ටාලයක් ගැසීම බාලදක්ෂයන් විසින් සම්ප්‍රදායික ලෙස සිදු කරයි. එම කටයුතත මුල් කරගෙන අනාදිමත් කාලයක් තිස්සෙ පරම්පරාවෙන් පරම්පරාවට ආ කවි විශේෂය අට්ටාල කවි නම්වේ.

තොරණ බදින්නන්ගේ මෙන්ම බාලදක්ෂයන්ගේද පූජනීය ගස පුවක් ගසයි. කඳවුරක් ආසන්න වෙන විට මාසයකට කලින් විතර ඔවුන් එකට අවශ්‍ය පුවක් ගස් හා බට ගස් සොයමින් ගම වටා ඇවිදියි. එසේ යාමට පෙර තමුන්ට හොද ගස් ලැබේවා! යැයි කියා රංවල දේවාලෙට භාරයක්වී යාම සිරිතයි. මෙසේ ගස් සොයමින් ඇවිදින්නන් කියන කවියකි මේ.

පුවක් ගසට අධිපති රංවල දෙයියා
පවක් නැතුව මොරපු ගස් දියල්ලා
පුවක්පිටියෙ දේවාලෙට පේ වෙල්ලා
වල්ලක පුවක් දෙනවා දෙයියන් පල්ලා

පුවක් ගස් තිබෙන හැම ගෙයකින්ම ගස් ලබා දෙන්නෙ නැත. ඇතැමුන් ඔවුන්ට බැණ එළවා ගනී. මේ එවන් සිද්ධියක් අරඹයා කී කවියකි.

ගෙඩි නැති පුවඟු ගස් හෙම මෙහෙ තියෙනවාද
ගෙඩියක් දෙකක් කෑවට බඩ පිරෙනවාද
විදුලි කොටපු පුවඟට ගෙඩි හැදෙනවාද
එහෙම ගහක් දුන්නොත් හෙණ ගහනවාද

දින කිහිපයක්ම වෙහෙස වී ගසක් සොයා ගැනීමට නොහැකි වූ විට ඇතැම් ප්‍රදේශ වල කපටිකමින් පුවක් ගස් කිහිපයක් කපා ගනී. (කපටිකමින්ද නොහැකි වූ විට හොරෙන් ගස් කපා ගනීමක්ද පසුකාලයේ සිදු වී ඇත.) වරක් මේ පුවක් ගස කපන්නද කියා අසා ඇත්තෙ ගසට කිසිම හිමිකමක් නැති ඒ අසල හිටි බීමත් මිනිසෙකිගෙනි. මල්ලි කපා ගන්න මල්ලි කී විගස කිසිවක් නොකියා හනික පුවක් ගස පෙරළා එහි කොටන් ඇදීම සිදු කර ඇත. එසේ කුඹුර දිගේ කොටන් අදින විට ගසේ ඇත්ත අයිතිකරුට බුදුබව පැතීමට බාලදක්ෂයන් අමතක නොකරයි.

ගහක් හොරෙන් කැපුවම පව් සිදුවෙනවා
මලක් දෙකක් තැලුවම පැණි බේරෙනවා
හනික තියන පය දැන් නම් ලිස්සනවා
ගහට අයිතිකරු අද හෙට බුදු වෙනවා

මුර අට්ටාලයට පුවක් ගස් පමණක් ප්‍රමාණවත් නැත. කහඋන වලින් එය වැඩ දැමීමක් සිදුකෙරේ. පුවක් ගසේ දුර්ලභ බව නිසා වර්තමානයේ වැඩිමනක් උණ භාවිතා කරයි. අවශ්‍ය උණ නෙලීමට යනවිට ද ඔවුන් මෙසේ කවි කියා තම වෙහෙස මහන්සිය මග හැර ගනී.

වස්දඬු හදන්නට බටගස් කපඤ්ඤයි
මැයි මස කූඩුවට බටලී පලඤ්ඤයි
සරුන්ගලේ බට පතුරින් හධඤ්ඤයි
පැලට බදින්නට මහඋණ නෙලඤ්ඤයි

වහලය සැදිමට පිඳුරු හෝ පොල්අතු භාවිතා කරයි. පොල්අතු වියිම ගැනුන්ගේ වැඩකි. නමුත් මුර අට්ටාලෙට අතුවියන්නෙ පිරිමිය. (ගැනුන් වියූ පොල් අතු මුර අට්ටා වහලයට දෑමීමට නුසුදුසු බව ඇතැම් පැරැන්නන් කියනවා මා අසා ඇත.) තමන්ට හැකිනම් අත්තක් දෙකක් වියළා දීමට ගෑනු ළමයින්ට ආරාධනා කරන්නට ඔවුන් මෙසේ මල්වාරම් කියති.

පොල්අතු කපන විට හිනැහෙන එහා වත්තෙ බිනරමලී
බංගලි වළලු පටලවලා හෙලේ රටා දැම්ම මලී
අත්ත වියන සද්දෙ නුඹට ගැලපෙනවා සමන්මලී
සද්දෙ නැතුව දෙකක් තුනක් වියළා දියන් සඳකොමලි

තොරන් සාදනවා මෙන්ම අට්ටාලය සෑදීමට පෙර මල්පැලක් සාදා බුදුන් දෙවියන් පිදීම සිදු කෙරේ. එසේ කරන ශාන්තිකර්ම ගී වල මෙම කවිය ඇතුළත්ය.

පළමුව බුදුන් වැද දෙවනුව දහම් වැද
තෙවනුව සඟුන් වැන්දෙමි මම මෙහෙම අද
මායා රටට අධිපති දුනුමුණ්ඩ වැද
ගහන මෙහෙව් අට්ටාලය රකිනු මැන

උදේ නැකතට පටන් ගන්නා අට්ටාල බැදිම පසුදින ආරම්ඹක උත්සවය පෙර සාදා නිම කල යුතුය. අට්ටාලය සෑදීම සර්වරාතිකව සිදුවන්නකි. අට්ටාලය උඩ සිටින්නා තම කාන්සිය පිළිබදව කඳවුරු භූමියට ඇසෙන්න මෙසේ අඬහැර පායි.

බඳින බඳින පැලැල්ල දැන් ලිහෙන්නා
නගින නගින පුවක් කණුව වැනෙන්නා
දකින දකින ලිප්වල දුම් දමන්නා
කොත්තමල්ලි නැද්ද මල්ලි අහන්නා

කඳවුරේ නිල පානය කොත්තමල්ලිය. ඉහත කවිය ඇසෙන ඇතින් පිහිටි කඳවුරු භූමියේ අට්ටාල බදින්නෙක් කියන්නෙ කොත්තමල්ලි වෙනුවට තේ බිහන් කියාය. අට්ටාල බැදීමේදී අවශ්‍යවන ශිල්පීය ක්‍රමයන්ද මෙම කවියේ ඇතුළත්ය.

වේළුණ ලනුකැරලි වතුරින් පොඟල්ලා
වැනෙන කණුවකට කඹයක් අදිල්ලා
ලාම්පු තෙල් ටිකක් ලිපකට දමල්ලා
කොත්තමල්ලි වෙනුවට තේ බීයල්ලා

පාන්දර වන විට මුර අට්ටාලයේ වැඩ ඉවර කරගෙන උදේ කඳවුරු ආරමභය වෙනුවෙන් ඔවුන් පිළිවෙලින් පෙළ ගැසෙත්. සර්වරාත්‍රිකව සිදුකළ වැඩේ අවසන් කර යන්නන් තම සතුට ප්‍රකාශ කිරීමට මෙසේ ගායනා සිදුකරයි.

තොරන් ගසන්නට දවසක නිදි මරන්නේ
මූණයි කටයි හෝදාගෙන පේවෙන්නේ
තොරන් ගහපු අත්වල කිලි ඇරගන්නේ
මෙදා කඳවුරත් මෙලෙසින් අරඹන්නේ

ප.ලි – ‘ප්‍රාග් බාලදක්ෂ ජනකවි’ යන මනඃකල්පිත කෘතියෙන් උපුටා ගන්නා ලදී.

%d bloggers like this: