තවත් පිටුවක්…

කොහෙම පටන් ගන්නද අවසානයක් මෙහෙම ලියන්න.
කොහොඹ ගහ යට අපේ කන්තෝරුවෙ කරපු දේවල් දෙයියනේ.
මුල මතක නැති වන තරමට අග හරිය මාර ජොලි.
උඹෙන් ඉගෙන ගත් දේ බෙහෙමයි.
අපි මැච් ගැහුවා, පිරිත් ඇහුවා, ට්‍රිප් ගියා කොච්චර සතුටුද?
ඒවායෙ වුන අවාසනාවන්ත සිද්ධි වලදීද්
අපෙ පිටිපස්සෙන් හෙවනැල්ල වගේ හිටිය වුන් දාල එන්ට වුනා.
මේකෙ ලිපි බලලාත් තෝ පල යන්න කියන්නෙ නැතිව
දිගටම ලියපන් කිව්ව ඒ මනු+ස්+සයාවත් තනිකරලා ආවා වගේ හිතෙනවා.
නෙත්ලෝල, කන්ලෝල, මනලෝල හැම ලෝලයකම අය
දාල එන එක ඉතින් ප්‍රිය විප්පයෝගම තමා.
ආයෙ ඉතින් නාවල පාරෙ කරක් ගහන්ට,
කොට්ටං ගහ යට බයිලා ගහන්ට,
තිත්ත මල් පේර කන්ට, කොට්ටම්බයක් තලන් කන්ට
ඔරුවෙ තණකොල අරං යන වුන් බලන්ට…
මෙලෝ දෙයක් නෑනෙ.
එනකොටත් ආයෙත් හැරිලා බැලුවෙ
තවත් පාළුවට යන අපේ මුල්ල දිහා
මම නම් ඉතින් එලියට බැහැලා ආවා.
වරදක් වුනානම් සමා වෙයන්.
උඹලාට ජය!

ප.ලි – දුකයි තමා. දුක්වෙන්න නම් හේතුද නැත්තෙ.

ආ පයින් ගිය දුරක්

අවුරුදු ගානකට පස්සෙ අම්මයි මායි පයින්ම ගෙදර ආවා. ඉස්සර මට මතකයි අම්මා එක්ක ඉස්කෝලෙට දුවනවා. අම්මා මගෙ අතින් අල්ලගෙන ඇදගෙන යන්නෙ. හතාමාරට පටන් ගන්න ඉස්කෝලෙට යන්න ගෙදරින් බහින්නෙ 7.15ට. මම පොඩි නිසා පැය කාලකින් එහෙට දුවන්න බෑ. බස් එකේ යන්නත් තව ටිකක් පස්සට යන්ට ඕන නිසා පයින්ම තමා ගියේ.

මම කවදාවත් පයින් යන්ට බෑ කියලා නෑ. ඒක අපෙ අම්මාගෙ පරම්පරාවෙන් එන දෙයක්. ආතා එක්ක නවරෝහලේ ඉදනුත් පයින් ආවා මතකයි මට. තාත්තා එක්ක බයිසිකලේ එන්නෙ නැති දවසට කඩේ ඉදලා බස් එකේ මහරගමට ඇවිල්ලා එතන ඉදන් පයින් එනවා ගෙදරට අම්මත් එක්ක. එහෙම එනකොට අම්මා කියනවා ‘පුතා හොදට ඉගෙනගෙන ශිෂ්‍යත්වෙ පාස් වෙලා රෝයල් එකට යන්න ඕනෙ. මයෙ පුතා ඉන්ජිනේරුවෙක්ම වෙන්න ඕනෙ’.මම ඒ දවස්වල දන්න ලොකුම ඉස්කෝලෙ කොළඹ රෝයල් එක. ඒකට යන්න මම කොච්චර ආසාවෙන් හිටියද.

කොහොම හරි ශිෂ්‍යත්වය නම් පාස් වුනා. ඒත් රෝයල් තියා මෙලෝ මගුලකට යන්න ලකුණු තිබ්බෙ නෑ. ඒත් අම්මාට සතුටුයි. මට අරන් දුන්නා ටී.වී එකක්. ඉස්සර බලන්න ඕනෙම එකක් තිබ්බොත් හැන්දි ආතාලෑ අහට ගිහින් තමා බැලුවෙ. ළිදක් කපන්න කලින් වතුර ගත්තෙත් එහෙන්. අපි ගෙදට්ට ලයිට් ගත්තාට පස්සෙ වැඩියෙන්ම සතුටු වුන දවස එදා වෙන්ට ඇති. ඒත් ඒ සතුට තිබ්බෙ ටික කාලයයි. ඊට අවුරුද්දකට විතර පස්සෙ නංගිගෙ කන විදින්න ගිය දවසෙ ඒක හොරු ගෙනිහින් තිබ්බා.

ඉන්ජිනේරු හීනෙ අම්මාගෙ හිතේ හැමදාම තිබ්බා. උසස්පෙලට වාණිජ්‍ය කරන්න යන්න ඇහුවම උඹ ගණන් කරන්නම ඕනෙ කිව්වෙ අම්මා. මට වාණිජ්‍ය කරන්නත් කිසිම ඕන කමක් තිබ්බෙ නැති නිසා මම ගණිතයම කලා. අම්මා ඇර අනිත් ඔක්කොම මට කිව්වෙ බාලදක්ෂ එක්ක ඕක කරගන්ට බැරි වේවි කියලා. මම දන්න අදුනන ඔක්කොම කට්ටිය ඕක පාස් වෙලා නැති නිසා පළවෙනි සැරේ B 1යි C 2යි ආවම මට හිතා ගන්න බැරිවුනා. කොටින්ම පළවෙනි වාරෙන් පස්සෙ කිසිම සබ්ජෙක්ට් එහෙකට ලකුණු 50ක වැඩිය ඇවිලලා නෑ. දෙවනි සැරේ අම්මා මට කෝල් කරලා රිසාල්ට් කියන කොට මම හිටියෙ මාතලේ. එදා අපෙ බාලදක්ෂයො 2වැනියා වෙලා හෙන සතුටින් හිටියෙ. අම්මා A 2යි B 1යි කියන කොට මගෙ සතුට ආයෙත් වැඩි වුනා.

ඉංජිනේරුවෙක් කිව්වාම අම්මා හිතේ තියාගෙන හිටියෙ කෝච්චි වල එන්ජින් හදන එකෙක්. නැත්නම් ලොකු බිල්ඩින් හදන එකෙක්. අන්තිමට ඉන්ජිනේරුවන්ගෙන් පොඩිම එකා කියන මෘදුකාංග ඉංජිනේරුවෙක් වුනා. මොකෙක් හරි පුතා ඉංජිනේරුවෙක් නිසා අම්මා කැමතියි. එහෙව් ඉංජිනේරු පුතා එක්ක අදත් අම්මා පයින් යනවා. කඩයක් ගාව නැවතුන අම්මා ඉස්සර වගේම  ‘අයිස් පලමක් අරං දෙනන්ද? ‘ කියලා ඇහුවා. ඉස්සර වගේමයි නේද.

ප.ලි – අපරාදෙ. මට ඒක අම්මාගෙන් අහන්න තිබ්බා.

ළමා කාලයට……

අද පොඩි ඉස්කෝලෙකට ගියා.
පොඩි එවුන් සම්බෝල කඩනවා. අල්ලන සෙල්ලම් කරනවා. අපිත් ඕවා කලානෙ.
උන් ගාථා කියනවා නෙමේ කෑ ගහනවා. ජාතික ගීය කියන්නෙ යුද්දෙට යන්න වගේ. හරිම අභිමානයෙන්.
මම නිදුක් වෙම්මා කියලා හයියෙන් මොර දීලා පුංච් ඇස් ඇරලා අපි දිහා බලනවා.
අද ඉදන් මාසයක් නිවාඩු විදුහල්පතිනිය කිව්වම තමා මතක් වුනේ මේ අගෝස්තු කියලා.
ඉක්මනට ගෙදර ගිහිල්ලා සරුංගල් හදන්න ඕනෙ.
වවුලෙක්වත් හදාගන්න බැරි අපි ඕවිටේ කරක්ගහලා මහා කිතුල්පිති හොයන්නෙ හරියට සරුංගල් හදන්න වගේ.
පොල් වෙලා හැලිලා යන හින්දා හොරෙන් තැඹිලි කඩලා හිල් කරගෙන බීපු හැටි
තට්ට තනියමේ ගිහිල්ලා ගස්වල ගෙඩි ඔක්කොම ළමයින්ටයි සත්තුන්ටයි කියලා හිතල හොරෙන් ගෙඩි කාපු හැටි
කුඹුරෙ මඩ කාගෙන මාළු අල්ලපු හැටි
මී හරක් නාවන ඇලේ නාපු හැටි
පාරවල් ගානෙ පයිනුයි බයිසිකල් වලිනුයි රස්තියාදු ගහපු හැටි
මට ගොඩාක් දේවල් මතක් වුනා.
අපිට දැන් ඉතින් ඕවා කරන්න පුලුවන්ද?
අපි දැන් ඕවා කලොත් කුඩුකාරයෙක් පිස්සෙක් කියලා හිතයි.
මුන්ට නම් තව කොච්චර කල් තියෙනවද?
අම්මො තව දවස්  26යි.
අනුන්ගෙන් කාලා බීලා නිකන් ඉගෙන ගන්න තියෙන කාලය ඉවරවෙලා යනවා.
ඇමති කෙනෙක්ට වඩා ඉටුකරන්න යුතුකම් ගොඩක් තියෙනවා.
අච්චර ආතල් එකේ හිටපු අපි මොකට මෙච්චර ඉගෙනගෙන දුක්විදනවද මන්ද………..

මට හැදිච්ච නම්

ඉස්කෝලෙදි පන්තියෙදි බාලදක්‍ෂ වලදි කැම්පස් එකේදි මට නම් හැදුනා. ලියලම බලන්න ඕනෙ කීයක් දැනට නම් හැදිලද කියලා.

දිවුල් – නම දිනුක නිසා 4 වසරෙදි ලගම යාළුවො ටිකක් දැම්මෙ. එච්චර ප්‍රසිද්ද වුනේ නෑ
මන්දයා – බාලදක්‍ෂ වලදි කරපු මන්ද වැඩ නිසා ප්‍රදීප් අයිය දැම්මෙ
ලෙඩා – බාලදක්‍ෂ වලදි තමා දැම්මෙ. මට හරියට මතක නෑග මට නෙමේද මන්ද.
මොඩ් ගොවියා – බාලදක්‍ෂ වලදි මොඩ්ගොවිය සින්දුව කියපු හින්ද.
මොඩා – කියන්න ලේසි නිසා මොඩ් ගොවියා මොඩා වුනා.
ඩිංඩියා – 9 වසරෙදි මගේ කටේ තිබ්බ  වචනයක් නිසා මමම දා ගත්ත එකක්. මොකක්ද කියල අහන්න එපා.
පුස්තකාලෙ  – විද්‍යාව පන්තියට කතන්දර පොතක් ගෙනල්ලා මාට්ටු වෙලා සර් උපහාරයක් විදිහට නම දැම්මෙ.
පිස්සා – ධර්මපාලෙදි මම කරන පිස්සු වැඩ නිසා යාළුවො දාන්න ඇති.
අමතකයි – කැම්පස් රුග් එකේදි මුලින්ම දාපු නම.
බෙලෙක්කයා – මගේ කටහඬ නිසා ප්‍රභාත් අයිය දැම්මෙ.
ටකරමා – බෙලෙක්කයා කියන එක මතක නැති නිසා සමහරු කිව්වා.
බොලොක්කයා – ඉස්සල්ල වගේම තමා.
පෙරේතයා – ටින් ටින්ට මතක නැතුව අහුව නම.
ජස්ටින් ටින් බෙලෙක්ස් – නිකම්ම බෙලෙක්කයා කියන එක කැත නිසා කවුරුහරි දැම්ම
ජස්ටින් – ඉස්සල්ල එක කියවන්න අමාරු නිසා කොට කරල කිව්වා.
ටින් බෙලෙක්ස් – ඉස්සල්ල සීන් එකම තමා
බෙලෙක්ස් – අරකම තමා
බීබෙලෙක්කයා – gmail වල එකවුන්ට් එකක් හදන්න bbelekkaya කියන එක ගානට සමබර හින්ද මම දැම්මෙ.
බෙකී – කැබ්බද කොහෙදෝ කියනව අහල තියෙනවා
මහරජ බාලදක්‍ෂයා – කැම්පස් එකේදි කොහොඹ ගහකින් වැටීම සම්බන්දයෙන්  ගෞරව නාමයක් ලෙස ලැබුන එකක් .
මහරජ – පස්සෙ මෙහෙම පොඩි වුනා.
කඩප්පුලියා – මම ච්න්තිගෙ සින්දු අහන හින්දා දොරයද කොහෙදො කිව්වෙ

තව මට කියන නම් තයනවනම් කියන්න. ඔයගොල්ලො මට කියන්නෙ මොන නමද?

%d bloggers like this: