The සම්මුඛ පරීක්ෂණය

සම්මුඛ පරීක්ෂණ නම් ඉතින් අපි වගේ කට්ටියට හැමදාමනෙ. ඔය අතරෙ පත්තරේකින් ආවා කියහන්කො මාත් එක්ක කතා කරන්න. උන්දැ එක්ක කතා කරපු එක මං ලියාගත්ත විදිහ මේ.

මා = මාධ්‍යවේදියා;
ම = මම;

මා – අද මාත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නෙ ලංකාවෙ ලොකු සමාගමක ජේෂ්ඨ මෘදුකාංග ඉන්ජිනේරුවෙක්. ආයුබෝවන් දිනුක.
ම – ආයිබෝවන්!
මා – සම්පූර්ණ නම් කිව්වනම්.
ම – රාජපක්ෂ පතිරගේ දොන් දිනුක තිලංග පෙරේරා.
මා – දිග වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?
ම – අම්මා දාපු නමනෙ. වාසගම දාපු එකානම් මට තාම හම්බවුණේ නෑ. අපෙ තාත්තගෙ තාත්තටත් ඒක තිබ්බා.
මා – දිනුක ඉපදුණේ කොහෙද?
ම – ඉස්පිරිතාලෙ.
මා – නෑ මං ඇහුවෙ ඉස්පිරිතාලෙ කොහෙද කියලා.
ම – ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටෙ නව රෝහලේදි
මා – ඒ කියන්නෙ දිනුකගෙ ගම කෝට්ටෙ?
ම – නෑ මහරගම. මහරගම තියෙන්නෙ පිළිකා රෝහල විතරයිනෙ.
මා – මේ දවස් වල මොකද කරන්නෙ?
ම – Angular වලින් ව්‍යාපෘතියක් කරනවා. තව මාස 3, 4කින් ඔයාලාට බලා ගන්න පුළුවන් වේවි. ඒ මදිවට පශ්චාත් උපාධියක් කරනවා. ඒක නම් අවුරුදු ගානකින්වත් මට බලාගන්න බැරි වෙයි වගේ.
මා – දැන් PHP කරන්නෙ නැද්ද?
ම – නෑ. මං ටික කාලෙකට PHP වලින් ඈත් වෙලා Angular වලට බැස්සා. අවස්ථාවක් ලැබුණොත් ආයෙ PHP වලට බහිනවා. ඒත් දැන් අපිට කවුරුත් ඒවාට කතා කරන්නෙ නෑ. ඒවා කරන්න ගොඩක් අය ඉන්නවානෙ. ECTA ආවම කරන්නම වෙන එකක් නෑ.
මා – කොහොමද මේ කේෂේත්‍රයට සම්බන්ධ වුණේ.
ම – උපාධියක් කරලා තමා ආවේ. දැන් හිතෙනවා උසස්පෙල කලෙත් අපරාදෙ කියලා.
මා – ලැබෙන හැම ව්‍යාපෘතියක්ම ඔබ භාර ගන්නවාද?
ම – පිස්සු හැදෙයි. හොදට හිතලා බලලා තමා. හොදයි කියලා හිතෙන ව්‍යාපෘති බාරගන්නවා.
මා – විවේක කාලෙදි මොකද කරන්නෙ.
ම – අපිට ඉතින් විවේක කාලයක් නැති තරම්. ඔෆිස් වෙලාවෙ facebook හරි youtube හරි ගියොත් තමා. ගෙදර එන්නෙ නිදාගන්න බලාගෙන.
මා – දිනුක මොනාද වැඩිය කන්න කැමති?
ම – සයිවර් කෑම වලට තමා. ඉදලා හිටලා වඩයක් ගෙඩියක් කාලා පේලේන්ටියක් බීලා එනවා. ඉස්සරහට නම් ECTA ආවාම සයිවර්ම තමා කන්න වෙන්නෙ.
මා – ජනප්‍රිය වෙන්න ආස නැද්ද?
ම – අපෝ නෑ. තව වැඩ ටිකක් වැඩි වෙලා තියෙන නිදහසත් නැතිවෙන පොටක් ඕක. මේ ඉන්න විදිහ හොදා.
මා – ඉතින් මොනාද ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ? මොනවද බලාපොරොත්තු?
ම – මොනා කරන්නද මන්දා අප්පා. හරි අවිනිශ්චිතයි. මේ කේෂේත්‍රයෙන් අයින් වෙලා වෙන මොනා හරි කරන්න තිබ්බා නම් හොදයි. ECTA ආවොත් මොනා වේවිද දන්නෙ නෑ.
මා – අලුතෙන් කේෂේත්‍රයට එන එයට කියන්න තියෙන්නෙ මොකක්ද?
ම – තමන්ට තියෙන හැකියාව තේරුම්ගන්න. කුලීවැඩ, වඩුවැඩ,  මේසන් බාස්ලටත් අද හොදට ගෙවනවා. ගෙදරටම වෙලා මොනා හරි කරන්න පුළුවන්නම් හොදයි. මං කියන්නේ freelance වගේ ඒවා නෙමේ. කඩදාසි උර අලවනවා, හතු වවනවා වගේ ස්වයං රැකියාවක් කරන්න පුළුවන්නම් හොදයි.
මා – අන්තිමට මොනාද රසිකයන්ට කියන්න තියෙන්නෙ.
ම – ECTA/CIPA එපා කියලා තමා.

ප.ලි –

කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
සිනා ‍රැල් නැගේ ගිගිරි නදින රේණු සැලී නිරන්තරේ
සදා කල් අඞා වැළපීමයි කැලෑ මලේ කතන්දරේ

Advertisements

තොටියෙක්මි

පීනාගෙන යන්න ගඟට ඇයව,
මා පාරුවට නග්ගා ගත්තෙමි.
ඇයට ගගේ වගතුග කියා දුනිමි.
ජලයෙන් පෙණ පිඩු එන ලස්සන,
ගල්වල වැදී ජලයෙන් එන සිලි සිලි සද්දය,
හිටිගමන් උඩ පනින මාළු ගැන,
මැණ්ගිරි ඩිඟිකෝ කවි මෙන්ම
ජලයේ ගැඹුරු තැන් ගැනද ඇයට කියා දුනිමි.
ජලයේ සිටින නපුරු සතුන් ගැන කියා දුනිමි.
උන්ගෙන් බේරෙන්න කියා දුනිමි.
උන්ගෙන් බේරෙන ආකාරය දැන් මමත් නොදනිමි.
ඇයත් මමත් තාමත් ගගේ යමු.
පාරුවේ බොහෝ අය සමග දැන් හිතවත්ය.
මා ඇයව පාරුවට ගන්න අත දුන් කෙනා පමණි.
පාරුවේ තොටියා මමයැයි ඇය සිතනවාද මම නොදනිමි.

මම ඇයට පෙම් නොකළේමි.
ඇය මට පෙම් කල බව මා සිතා සිටියෙමි.
මම එය සිත සිතා කල් ගත කළෙමි.
මුකුත් නොකළෙමි.
ඇය මට පෙම් කර නැත.
හිතට දුකක් නැතිමුත් එය සිත සිතා කල් ගත කරමි.
මුකුත් නොකරමි.
නොදැනුවත්වම මම ඇයට පෙම් කර ඇත.

.ලිගඟත් කවදා හරි මුහුදට වැටෙනවා ඇත. එතකම් යමි.

ඉරිදාට…

අද දවසත් පුළුවන් ඉක්මනට ගෙවිලා යාවි.
ඇයි මං ඉරිදට මෙච්චර ආදරේ
සතියෙ දවස් පහට අච්චර අකමැති?
කොයි දවසටත් පැය 60යි. හෝරා 24.
ඒත් මට ඒක තේරෙන්නෙ නැති හැටි.
මංම මවාගත්ත ලෝකයේ
සතියෙ දවස් 5 මමම අකමැති වෙලා.
ඉරිදට විතරක් කැමති වෙලා.
කොච්චර වැඩ තිබ්බත්
ඉරිදා තියෙන නිහඩ බවට තනිකමට
මන් හරිම ආසයි.
මං කැමති හින්දම ඉරිදා මාව දාලා යනවා.
සඳුදා අඟහරුවාදා මගෙ වටේ කරකැවෙනවා.
ඉරිදට අකමැති අයත් ඇති.
හුගක් අය වගේ,  මං තාම බලන් ඉන්නෙ සිකුරාදා එනකන්.

.ලිඇවිල්ලා ඒකත් ඉවර වෙනකන්.

මෙහෙම බැරිද?

දෙයියනේ කියලා ජීවත් වෙන්න
රට්ටුන්ගෙන් කතා හදා ගන්නෙ නැතුව මැරිලා යන්න
හුගක් ඉගෙන ගෙන රස්සාවක් කරන්න ගත්තා.
තව ඉගෙන ගන්න ඕනෙලු
අරක කියවන්න ඕනෙලු
හැම වෙලාවෙම හිතන්න ඕනෙ
අර විභාගෙ කළොත් ගොඩලු
පශ්චාත් උපාධියක් නැත්නම් වැඩක් නෑලු
මැරෙනකන් ඉගෙනගන්න ඕනෙලු
එහෙම නැතුව බැරිද?

කැමති දේ විතරක් ඉගෙනගන්න
ඒ පින්මෙන්ම රස්සාවක් කරන්න
ඒ කැමති දේ කෙනෙක්ට කියලා දෙන්න
අලුත් අවුරුද්ද ජයටම කන්න
මාස හය හතක් නිවාඩු ගන්න
කුඹුක් ගහක් යට නිදාගන්න
නියරක වාඩි වෙලා හුළං වදිද්දි,
කල්පනා ලෝකෙ තනිවෙන්න
ගමේ ගොඩේ ඇවිදින්න
අත්තා කෙනෙක්ගෙ කතාවක් අහන්න
අම්බලමෙදි කවියක් කියන්න
හවසට කඩමණ්ඩියෙ දාම් අදින්න
හත්දවසෙ දෙවොල් මඩුවක නැටුම් බලන්න
පැලක නිදිමරන්න
කොල්ලො එක්ක කැලේ පනින්න
කෙල්ලෙක් එක්ක කතා කරන්න
ප්‍රශ්න ආවාම හිතලා මතලා
ඕන මගුලක් වෙච්චාවෙ කියලා මහන වෙන්න
සංසාරෙම දුකක් වෙලත්
නිවන දුරයි මේ
උපාධියක් හින්දා

ප.ලි – මේවා හිතලා තියෙන රස්සවත් නැතිවෙයිද මන්දා.

කන්තෝරුවේදී ජාවකිරි සාදා ගැනීම

අවශ්‍ය ද්‍රව්‍ය –

  • ජාවා කෝපි සෑහෙන්න
  • පිටිකිරි නොසෑහෙන්න
  • සීනි කන පැලෙන්න
  • කෝප්පයක්
  • කිරි පෙරනයක්
  • ජොග්ගුවක්
  • තව කෝප්පයක්

සාදන ආකාරය  –

මුලින්ම කොප්පයට උණු වතුර දාගන්න. (උණු වතුර ලිස්ට් එකේ නෑ. උණු වතුර නැතුව කොපි හදන්න බෑ කියලා ඕන මොඩයෙක්ට තේරෙනවානෙ.) ඊට පස්සෙ කිරිපිටි හැදි 2ක් දාන්න. සුදු පාට ආවෙ නැත්නම් තව හැන්දක් දාන්න. ඒත් පාට ආවෙ නැත්නම් ඔබට කොප්පය හැඳි ගෑමට අමතක වී ඇත. එය හැඳි ගාන විට පිටි කැටි ගැසී ඇති බව ඔබට පෙනී යනවා ඇත. සලිත නොවන්න. කැටි ගැසුන පිටි ප්‍රමාණයට හරියන්න තව කිරිපිටි හැඳි දෙක තුනක් දමන්න.

දැන් ජාවා කෝපි දමන්න. කොපි වැඩි වුන විට එක කළු පාටට හැරී කිරිකෝපි වල නියම පාට නොලැබී යා හැක. එය ප්‍රකෘති තත්වයට ගැනීමට තව පිටිකිරි හැන්දක් පමණ දමන්න. දැන් සීනි දමන්න. සීනි දමන විට කෝප්පය ඉතිරී යන බවක් ඔබට දිස්වෙනු ඇත. එයට බිය නොවන්න. කොප්පයෙන් ටිකක් සින්ක් එකට හලන්න. දැන් සීනි හැදි තුන හතරක් දාන්න.

කිරිපිටි කැටී ගැසුන විට එය හැන්දෙන් ඉවත්කිරීම අපහසු බව ඔබට දැනෙනු ඇත. එයට කිරිගොට්ට බාවිත කරන්න. කිරිගොට්ට අනෙක් කෝප්පය මත තබා කිරිටික එයට දැමිය යුතුය. කොප්පයකින් තවත් කොප්පයකට ද්‍රවයක් දැමීම ඉතා අපහසුබව ඔබට පෙනීයනු ඇත. එයට ජොග්ගුවක් පාවිච්චි කරන්න. දෙවනි කොප්පය දැමූ ජාවාකිරි එක දැන් පානයට සුදුසුය.

අවවාදයයි  –  ඔබ මෙතෙක් බාවිත කර උපකරණ හෝදන්න. භාජන වසා තබන්න.

උපදේශක  –  ඉමාර්කටින්අයි කුස්සියෙ ප්‍රධාන සූපවේදි කේ.පී මහතා

ප.ලි  – බැරි කිරි නොහදන් අඹරෝ

%d bloggers like this: