අනේ මෝඩයො

‘අපේ හැම එකාම අපි ගොඩ දානවා’
එහෙම කිව්වම අපි රුවටුනා බන්.
අපිත් හිතාගත්තා අපේ එවුනුත් අපිව ගොඩදාවි කියලා,
කවුරු හරි කුප්පියක් දානකන් උඹයි මායි බලන්හිටියා.
කවුරුත් එහෙම එන්නෙ නෑ කියලා හිතුනම,
අපි කුප්පි හිඟා කන්න ගියා.
දන්නෙ නෑ කියන කට්ටිය අතරෙ
දන්න එක්කෙනෙක් මට හම්බවුනා.
මම තනියම කුප්පිය දාගද්දි
උඹ එන්නෙ නැතුව බලන් හිටියා.
මම ඇවිල්ලා කුප්පිය දාද්දි
උඹට මුකුත් තේරුනේ නෑ.
දැන් පරක්කු වැඩී කියලා උඹ කිව්වා.
මාත් කුප්පි දැම්මෙ
උඹව ගොඩ දානවාට වඩා
මට මතක හිටින්න කියලා
මගෙ හිත තාම දොස් කියනවා.
මගේ උවමනාවට විභාගෙට දැම්මට
උඹ අසනීපවුනේ උඹේ කරුමෙට.
මහ එවුන්ගෙ තරහ උඹේ අතේ ගියෙත් උඹේම කරුමෙට
එන මාසෙ මට උපාධිය ලැබෙද්දි
ගෙදරට වෙලා ඉන්න එක
උඹට කම්ක් නැතුව ඇති.
අපේ අම්මලා තාත්තලා එක්ක
උඹගෙ අම්මටයි තාත්තටයි
වාඩිවෙන්න බැරි වුන එකට
උඹට දුක නැතුව ඇති.
දැන් ඉතින් වෙසක් පෝයට දුක නැතිකරන්න
සිල්ගන්නවත් පලයන්.

ප.ලි – මට කුප්පි දාපු කෙනත් ගෙදර කියලයි ආරංචි. මේ ඔක්කොම වුනේ මගේ කරුමෙටද?

Advertisements

ඇබෑර්තුවක් ඇත

“O/L ගණන් මතකත් නෑ බන්.”
“මොකෝ මෙහෙ ආවෙ අත උස්සලයැ ?”
එහෙම කිව්වට දැන් ඉතින් කොච්චර කාලෙකට කලින්ද ?
ජ්‍යාමිතිය, ලගුගණක, ප්‍රස්ථාර…. අම්මෝ කැම්පස් එකේ නම්බුව ?
අපි උඹල ගාවට ආවෙ කොයි වෙලාවෙ සායම දිය වේවිද කියලා තියෙන පට්ට බයෙන්.
එකෙක් මැද තියාගෙන, අපි වටේට
රෑ පුරාවට දාගත්ත කුප්පි අපරාදෙ බන්.

“2යි 4යි කීයද?” “5යි.”
“ඈ පහයි?” “අඃ 4යි.”
“හම්. කමක් නෑ. මෙහෙම කරමු. මේ චෝක් කැට 5ක් දකුණට ගන්න……”

අනේ… මන් මේවා කොහොම ඉවසන්නද ?
උඹනම් හිනා වෙනවා.
අපිට ඇඩෙනවා බන්.

“අරුන් අහන ප්‍රශ්න වලට මට ඇපත් නෑ.
අපි හදන්න කලින් උන් උත්තරෙත් කියනවා”
ඒ කිව්වෙත් උඹලගෙ එවුන් ගැනනෙ බන්.
එකම ගමේ උඹලා වෙනස් වුණෙ කොහොමද ?
උඹලයි අපියි වෙනස් වුණේ රැපියල් කීයෙන්ද ?

“අපි තාම ඉගෙන ගන්නෙ ඔයගොල්ලොන්ගෙ අම්මලා තාත්තලාගෙ සල්ලි වලින්.
ඒ වෙනුවෙන් මේ රටට යමක් කරන්න තමා අපි ආවෙ…..”
අපේ එකෙක්ගෙ සුන්දර තෙල උඹට මතකද ?

උඹලට අමතක වුණත් අපෙ එවුන්ටනම් තාමත් මතකයි බන්.
සර්ල වෙන්නෙ නැතුව උඹලා ගාවටම ඇවිල්ලා,
මේසය උඩ ලැගගෙන උඹලාට ගනින්න ඉගැන්නුවා.
පුළුවන් එවුන් බැරි එවුන් කියලා උඹලව අපේ ලේසියට බෙදුවට .
උඹ හිටියෙ විශේෂ බලකායෙ මචං.

අඩුවක් නොකර අපිට සලකලා,
අපිව දාන්න බයිසිකල් වලින් ඇවිල්ලා,
බස් හෝල්ට් එකේ දන ගහලා වැන්දා මතකද ?
කඳුළු එන්න කලින් හිනාවෙලා උඹලගෙ ඔළුව අත ගැවම
උඹ අහපු ගොන් ප්‍රශ්නය මතකද?
“ඔහෙලා ආයේ එනපාරත් එනවැයි අයියෙ ?”

ප.ලි – උඹලාට උගන්නපු ඉගැන්විල්ල ඉවසීමෙන් අපෙ මල්ලිට ඉගැන්නුවනම් එකත් මේ පාර A/L කරනවා.

ඉවරායි

අපිට කියලා තිබ්බ යුතුකම් හා වගකීම් අහවරයි.
තව දවස් 2යි.
එන අවුරුද්දෙත් මේ වගේම එකක් මේ විදිහටම තියේවි.
අපේ එවුන් ලස්සන ඇඳුම් ඇදලා එදාටත් ඒවි.
අවිල්ල කාල බීල යාවි.
අර මෙලෝ රහක් නැති DJ එකේ දාඩිය දානකන් නටාවි.
ඕන්නම් වලියක් දෙකක් දා ගනීවි.
මහන්සියි කියලා යන්න යාවි.

අමතක කරන්න එපා.
ඒ අන්තිම දවස.
එදා NAT එකේ එකට බැනුම් අහපු අපි
KG Hall එකෙන් හරි Audi යෙන් හරි
එලියට බැහැලා යන්නම යාවි.
“මම යන්නම්” කියලා කියන්නවත් ඔයාට අමතක වේවි.
මේ පුංචි රටේ කවදා හරි හමු වේවි කියලා කිව්වට
අපි ආයේ හම්බවෙන්නෙ නෑ හලෝ.

ප.ලි – Alumina එකටවත් එන්න. ඔය ලස්සන මූණ ඉදලා හිටලවත් බලා ගන්න. එන්නං .

වැස්සට තෙමිලා

ලංකාවට හරි වැස්ස.
මුළු කොළඹම යට වෙලා.
UCSC එකත් යටවෙලා ඇති.
වැස්සට යට වුනාම එහෙ මරු.
lectures නෑ.
Audi යයි W002 එකයි වතුරට යට වෙනවනේ.
3rd year lab වහන එක තමා ඉවසන්න බැරි.
අමාරුවෙන් පීනලා ගිහිල්ල
දවල්ට Art එකෙන් හරි Science එකෙන් හරි කලා එනවා.
බාගෙට තෙමී තෙමී එක කුඩේ ආපු හැටි……
සීතලට තියෙන ආදරේ තවත් වැඩි වෙනවා.
අනේ ඒ ලස්සන දවස්.
වැඩි කාලයක් නෑ.
දැනට මාස 3, 4කට කලින්.
ඒත් දැන්.
වටේම යටවෙලා.
වැස්සටවත් යට වෙන්නෙ නැති නාවල පාර….

ප.ලි – මේක වැස්සටවත් කැම්පස් ආපු නැති උන්ට.

සරසවි අටුවා

බැජ් පිට් එක නැමැති
දුක නැති කිරීමේ මාර්ගය සදහා
රැග‍් එක නැමැති යාගය කරන
ශිෂ්‍ය සංගමය වැනි මිෂනාරී
ආගම් බොහෝ ඇත.
එයින් මිදුන
අලයන් නැමැති ප්‍රඥාවන්තයන්
අනාගතය නැමැති සත්‍ය දැක
පාඩම් කිරිම නැමැති සීලය හා
විභාගය නැමැති භාවනාව පුහුණු කර
උපාධිය ගැනීම නැමැති නිර්වාණය
ලබාගනී.

– සරසවි අටුවා –

ප.ලි – බුදුදහමට අනුව නිවන් දකින පිරිස් බුදු, පසේ බුදු හා මහ රහත් ලෙසින් වන අතර  මෙය උක්ත ලිපිය හා සම්බන්ද නොවේ.

%d bloggers like this: