මිය යන රටක සිට

දීර්ඝ ලිපියක් ලියන්නේ හිතේ ඇති තරහ හා කලකීරීමට මැඩ පවත්වා ගැනීමටයි. මෙයට තර්ක විතර්ක බලාපොරොත්තු නොවේ.

මා වෙන රටක වෙන ජාතියක සිටියේ නම් මෙතෙක් දුක් නොවනු ඇත. මා දුක්වන්නේ රට වැසියා නොහොබිනා දේවල් කරන නිසාවත් ඔවුන් නිකරුණේ පව් සිද්ධ කරන නිසාවත් නොවේ. මේ සියල්ලම පිටරුටියන්ගේ උවමනාවට ඔවුන්ගේ බත බුලත සරු කිරීමට අපි කරනා කත් ඇදීම නිසාවෙනි. තමන්ගෙ සල්ලි නම් අවැඩය සිදුවන්නේත් තමන්ට නම් අනිත් එවුන්ට ඇති අමාරුව කුමක්දැයි දැන් දැන් නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නකි. සියලු පව් වැඩ, තර්ක ඉදිරිපත් කර ඒවා හොද වැඩ හා කල යුතු වැඩ කිරීම, ඒවා සංස්කෘතියේ අංගයක් කිරීම දැන් සිරිතක්ව සිටී. මේවායින් ජාතියක් ලෙස අපි සදාචාරයක් නැති වුන් ලෙස පහතට වැටෙන අතර ඒවා කිරීමට පිටරටට සල්ලි යවන බැවින් ආර්ථික අතින්ද අපි පහළට වැටෙනු ඇත.

ස්ප්‍රයිස් ප්‍රපෝසල් එකක් දැක සියල්ල එහි හොද නරක ගැන කතිකාවතක් පටන් ගෙන ඇත. උන් දෙන්නට හොදයි නම් අපිට මොකද යැයි කීමට හැක. සිතිය හැක. නමුත් අනාගතයේ එය ව්‍සංගතයක් මෙන් හැම තැනම පැතිරී අති දුෂ්කර පෙදෙස්වලට ඔය විෂබීජය යා හැකිය. නොයෙක් ව්‍යාපාරිකයින්, වැඩසටහන් අධ්‍යක්ෂකයන්, නැටුම් කණ්ඩායම් මෙයින් හොදට හම්බකරනවා ඇත. මේවා සංස්කෘතියට එක් කරන්නට වැඩිම දායකත්වය දෙන්නේ ඔවුන්ය. පැකේජ් එකට ප්‍රී ශූට් එක නිකන් දෙන්නේත්, තැන්කියු කාර්ඩ් නිකන් දෙන්නේත් මේවා සමාජ ගත කර එවා සමාජයේ අවශ්‍යතාවයක් කිරීමටයි. අද සමාජයට විහිළුවක් වන මෙවැනි දේවල් හෙට පරපුරට අනිවාර්‍ය දේවල් වන බව කාටවත් තේරෙන්නේ නැත.

ලංකාවේ පරිපාලන කේෂත්‍රයට පුහුණු කාලය තුළ මත්පැන් පානයට, රාත්‍රී සමාජ ශාලාවලට යාමට පුරුදු කරන්නේ ඇයි දැයි මට ප්‍රශ්නයකි. රජයේ උසස් නිලධාරීන්ද ඒවා වැරදි ලෙස සලකන්නේ නැත්නම් වත්මනේ මත්පැන් පානය, දුම්වැටි බීම සාමාන්‍ය දෙයක් වුණා මෙන් අනාගතයේ රාත්‍රී සමාජ ශාලාවලට යාමත් සාමාන්‍ය දෙයක් වනු ඇත. දැනටමත් එය සාමාන්‍ය දෙයක් දැයි මම නොදනිමි. කාන්තාවක් මත්පැන් බොන එක දැනටත් සමාජයේ පිළිකුල් කරයි. මා දන්නා තරමින් මා විෂ්‍ය විද්‍යාලයේ සිටි කාලයේ කෙල්ලන් මත්පැන් ගත්තේ නැත. දෙතුන් දෙනෙක් අප්‍රසද්ධියේ ගත්තා විය හැක. නමුත් දැන් ඔවුන්ගෙන මත්පැන් නොබොන අය ඉන්නවාදැයි මා නොදනී. තම දරුවන්ට මත්පැන් දී සමාජ ශාලාවලට යන පිටරැටියන් මෙන් අනාගතයේ අප මව්වරුත් කරනවා ඇත. මෙතරම් කෙටි කාලයක් තුළ වූ වෙනස්කම් දරා ගත නොහැකි තරම්ය.

මේ පරිගණකයට ඇබ්බැහි වූ මා වුණත් එහි එක්තරා කොටස් කාරයෙකි. නැවත කියන්නේ අපිට මූලික අවශ්‍යතාවයන් අමතක වී ඇති අතර නව අවශ්‍යතාවයන් අපට හදුන්වා දෙමින් තිබේ. අපිව සදාචාරාත්මක් අතින්ද ආර්ථක අතින්ද පහළට දැමීමට සියලු කටයුතු සිදුවේ.

ප.ලි – අනවශ්‍ය උවමනා සමාජගත කිරීමට මූලින්ම දායකත්වය දක්වන පිරිසට සාප කරමි. පසුගාමීන්ට සාප නොකරන්නේ මමත් ඔවුන් අතර වන බැවිනි.

 

Advertisements

මා දුටු කඨින පෙරහර

දීපංකර බුදුන් කල
රිද්දි බිසව් හත් දෙනෙකි.
උස්සන්ගොඩද? කූරගලද? කෙසේ හෝ
ඔවුන් කපු වැව්වෝය, නෙළුවේාය,
කපු කැටුවෝය, විව්වෝය.
මුල්ම කඨින සිවුර මැසුවෝය, පිදුවෝය.
කල්ප ගාණක් ගත වුණි.
මහා භද්‍ර කල්පය වුණි.
ගෝතම බුදුන් පිරිනිවණින්
අවුරුදු දෙදෙහස් පන්සීයයක් ඉක්මුණි.
අදත් සිරිත පවතී.
කපු වවන්නේ තියා දකින්නවත් නැත.
කඩෙන් ගන්නා සිවුරක් ගෙදරක තබාගෙන,
දළදා පෙරහරක් ලෙසටම හිතාගෙන,
එකෙක් පරයා තව එකෙකුට නොදෙවෙනිව,
ඇත් අස් රිය පාබල පෙරට ගෙන,
යකඩ කටින් පිරිතක් දමාගෙන,
ඇහැරවන් ඉන්න මිනිසුන් නිවාඩුවේ නිදාගෙන,
අන්තිම හරියෙ පන්සලට කඩාගෙන බිදගෙන,
ගොස් පුදයි කඨින සිවුරක් පන්සලට.
නිධාන කතාවක් නොදත් මිනිසුන්
ඇහුවොත් කියාවි..
මේ අපේ සංස්කෘතිය බොලව්.

ප.ලි – අපි නොදන්න සංස්කෘතිය. අවුරුදු 5කට කලින් මල් පෙරහරක් පමණක් ගිය, දැන් චතුරංගනී සේනාවම එක් කරගෙන දුක්විදින.

The සම්මුඛ පරීක්ෂණය

සම්මුඛ පරීක්ෂණ නම් ඉතින් අපි වගේ කට්ටියට හැමදාමනෙ. ඔය අතරෙ පත්තරේකින් ආවා කියහන්කො මාත් එක්ක කතා කරන්න. උන්දැ එක්ක කතා කරපු එක මං ලියාගත්ත විදිහ මේ.

මා = මාධ්‍යවේදියා;
ම = මම;

මා – අද මාත් එක්ක කතා කරන්න ඇවිල්ලා ඉන්නෙ ලංකාවෙ ලොකු සමාගමක ජේෂ්ඨ මෘදුකාංග ඉන්ජිනේරුවෙක්. ආයුබෝවන් දිනුක.
ම – ආයිබෝවන්!
මා – සම්පූර්ණ නම් කිව්වනම්.
ම – රාජපක්ෂ පතිරගේ දොන් දිනුක තිලංග පෙරේරා.
මා – දිග වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?
ම – අම්මා දාපු නමනෙ. වාසගම දාපු එකානම් මට තාම හම්බවුණේ නෑ. අපෙ තාත්තගෙ තාත්තටත් ඒක තිබ්බා.
මා – දිනුක ඉපදුණේ කොහෙද?
ම – ඉස්පිරිතාලෙ.
මා – නෑ මං ඇහුවෙ ඉස්පිරිතාලෙ කොහෙද කියලා.
ම – ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටෙ නව රෝහලේදි
මා – ඒ කියන්නෙ දිනුකගෙ ගම කෝට්ටෙ?
ම – නෑ මහරගම. මහරගම තියෙන්නෙ පිළිකා රෝහල විතරයිනෙ.
මා – මේ දවස් වල මොකද කරන්නෙ?
ම – Angular වලින් ව්‍යාපෘතියක් කරනවා. තව මාස 3, 4කින් ඔයාලාට බලා ගන්න පුළුවන් වේවි. ඒ මදිවට පශ්චාත් උපාධියක් කරනවා. ඒක නම් අවුරුදු ගානකින්වත් මට බලාගන්න බැරි වෙයි වගේ.
මා – දැන් PHP කරන්නෙ නැද්ද?
ම – නෑ. මං ටික කාලෙකට PHP වලින් ඈත් වෙලා Angular වලට බැස්සා. අවස්ථාවක් ලැබුණොත් ආයෙ PHP වලට බහිනවා. ඒත් දැන් අපිට කවුරුත් ඒවාට කතා කරන්නෙ නෑ. ඒවා කරන්න ගොඩක් අය ඉන්නවානෙ. ECTA ආවම කරන්නම වෙන එකක් නෑ.
මා – කොහොමද මේ කේෂේත්‍රයට සම්බන්ධ වුණේ.
ම – උපාධියක් කරලා තමා ආවේ. දැන් හිතෙනවා උසස්පෙල කලෙත් අපරාදෙ කියලා.
මා – ලැබෙන හැම ව්‍යාපෘතියක්ම ඔබ භාර ගන්නවාද?
ම – පිස්සු හැදෙයි. හොදට හිතලා බලලා තමා. හොදයි කියලා හිතෙන ව්‍යාපෘති බාරගන්නවා.
මා – විවේක කාලෙදි මොකද කරන්නෙ.
ම – අපිට ඉතින් විවේක කාලයක් නැති තරම්. ඔෆිස් වෙලාවෙ facebook හරි youtube හරි ගියොත් තමා. ගෙදර එන්නෙ නිදාගන්න බලාගෙන.
මා – දිනුක මොනාද වැඩිය කන්න කැමති?
ම – සයිවර් කෑම වලට තමා. ඉදලා හිටලා වඩයක් ගෙඩියක් කාලා පේලේන්ටියක් බීලා එනවා. ඉස්සරහට නම් ECTA ආවාම සයිවර්ම තමා කන්න වෙන්නෙ.
මා – ජනප්‍රිය වෙන්න ආස නැද්ද?
ම – අපෝ නෑ. තව වැඩ ටිකක් වැඩි වෙලා තියෙන නිදහසත් නැතිවෙන පොටක් ඕක. මේ ඉන්න විදිහ හොදා.
මා – ඉතින් මොනාද ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ? මොනවද බලාපොරොත්තු?
ම – මොනා කරන්නද මන්දා අප්පා. හරි අවිනිශ්චිතයි. මේ කේෂේත්‍රයෙන් අයින් වෙලා වෙන මොනා හරි කරන්න තිබ්බා නම් හොදයි. ECTA ආවොත් මොනා වේවිද දන්නෙ නෑ.
මා – අලුතෙන් කේෂේත්‍රයට එන එයට කියන්න තියෙන්නෙ මොකක්ද?
ම – තමන්ට තියෙන හැකියාව තේරුම්ගන්න. කුලීවැඩ, වඩුවැඩ,  මේසන් බාස්ලටත් අද හොදට ගෙවනවා. ගෙදරටම වෙලා මොනා හරි කරන්න පුළුවන්නම් හොදයි. මං කියන්නේ freelance වගේ ඒවා නෙමේ. කඩදාසි උර අලවනවා, හතු වවනවා වගේ ස්වයං රැකියාවක් කරන්න පුළුවන්නම් හොදයි.
මා – අන්තිමට මොනාද රසිකයන්ට කියන්න තියෙන්නෙ.
ම – ECTA/CIPA එපා කියලා තමා.

ප.ලි –

කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ
අමා ලොල් බමර පිරිස ඇදේ මලින් මලට හිමින් සැරේ
සිනා ‍රැල් නැගේ ගිගිරි නදින රේණු සැලී නිරන්තරේ
සදා කල් අඞා වැළපීමයි කැලෑ මලේ කතන්දරේ

ඒ කාලෙ සිද්ධ වෙච්ච කතාවක් මේ

පොඩි කතාවක් මතක් වුණා. ඔන්න යටගිය දවස බරණැස් නුවර තිබ්බ රටේ එක රජ කෙනෙක් රජකම් කරගෙන යනවා. (දැන්අහන්න එපා බ්‍රහ්මදත්තද කියලා. එයා නෙමේ.) ඉතින් මේ රටේ හැමෝම කළේ ගොවිතැන. එදා වේල කාලා ඉන්න ගොවියන්ට සල්ලි ඕන වුණේ ඇදුමක් ගන්න, ආයුධයක් හදාගන්න, තොරොම්බල් කෑල්ලක් ගන්න වගේ දේවල් වලට විතරයි. උඩට අඳින එක රජතුමා තහනම් කරලා තිබ්බ නිසා ඇදුම් වලටත් වැඩිය වියදමක් නෑ. රජතුමාගේ නීති තමා නීති. ඒවා කොහෙවත් පොතක ලියලා නෑ. එතුමාට හිතුණ විදිහට තමා තීන්දු දෙන්නෙ. සමහරකට මේකෙන් අසාධාරණයක් නොවුනාම නෙමේ. රටේ කසාද බඳින්න පුළුවන් රජතුමාට විතරයි. ඒක නිසා රජතුමාට දෙතුන් දෙනෙක්ම හිටියා. රජතුමාට රටේ දෙතුන් පලක මාළිගා තිබ්බා. වෙන මිනිස්සුන්ට මාළිගා වගේ ලොකු ගෙවල් හදන්න බෑ. කටුමැටි ගෙවල් තමා ඒගොල්ලො හැදුවෙ. අඩුගානෙ සුදු හුණුගාන්නවත් දුන්නෙ නෑලු. රජාට යන්න දෝලාව, අස්සයො, අලි වගේ වාහාන තිබ්බා. මිනිස්සු ගියෙ පයින්ම තමා. මොනා වුණත් ඉතින් රජානෙ කියලා මිනිස්සු ඕවා වැඩිය හිතන්න ගියෙ නෑ. කාලා බීලා හිටියා.

ඔන්න දැන් තමා කතාවෙ හොදම කොටහ. මේ රටට හුගාක් දුරින් තියන රටක නැවක් කුණාටුවකට අහුවෙලා හෙම්බත් වෙලා මේ රටට පා වෙලා ආවා. ඒ නැවියො දැක්ක රට්ටු ඒයාලාට හොදට සැලකුවා. ටිකක් විපරම් කරලා බලපු නැවියන්ට තේරුණාමේ රටේ ඉන්නෙ දුෂ්ට රජ කෙනෙක් කියලා. එක නැවියෙක් ගමරාලට කරුණු පැහැදිලා කළා. මෙහෙ හරියට නීතියක් නෑ. එයාට විතරයි මාළිගා. එයාට හොදයි කියලා හිතෙන නීති. එයා වගේ ලස්සනට අදින්න ඔහේලා කැමති නැද්ද? උඹලා හැමදාම ගොවිතැන් කරලා හිටියොත් ළමයින්ටත් ඔහොම තමා ඉන්න වෙන්නෙ. එහෙම නෙමේ උඹලාත් දියුණු වෙන්න බලපන්. එතකොට අනාගතේ උඹලාටත් දෝලාවක යන්න පුළුවන් වේවි කියලා කිව්වා. ගමරාලටත් තේරුණා මේ රජා ඉන්නකන් මුකුත් කරන්න වෙන්නෙ නෑ කියලා. ගමරාල මේක ගම මහගේට කිව්වා. ගම මහගේ කෝරළේගෙ නෝනාට කිව්වා. ඔහොම ඔහොම මුලු රටම මේ දුෂ්ට රජාගෙ දුෂ්ට කම් දැනගත්තා. වෙන මොනා වෙන්නද? මිනිස්සු කැරැල්ලක් ගහලා රජාව අල්ලලා මැරුවා.

එදයින් පස්සෙ ඔක්කොම වෙනස් වුණා. රජා කියන නමම අයින් කරලා ජනාධිපති කියලා ඔක්කොම කැමති එක්කෙනෙක් පත්කළා. දැන් නීති තියෙන්නෙ පොතේ තියන ඒවා විතරයි. ඕන කෙනෙක්ට නීතියෙන් එක්කෙනෙක් කසාද බදින්න පුළුවන්. ඕනකෙනෙක්ට තම හැකි පමණින් ගෙයක් හදාගන්න පුළුවන්. තමන්ට කැමති විදිහට අදින්න පුළුවන්. වාහනයක් ගන්න පුලුවන්.

දැන් ඉතින් ගෙයක් හදන්න ගොවිතැන් කරලා මදි. සල්ලි හොයාගන්න මිනිස්සු වෙන රස්සා කරන්න පටන් ගත්තා. එකෙක් ලොකු ගෙයක් හැදුවාම අනිකා ඊට වඩා ලොකුවාට හැදුවා. එක ගේක මගුලක් කන්න ගිය ගානට වඩා අනිත් ගෙදර මගුල් කෑවා. පුලු පුළුවන් විදිහට ලොකු ලොකු වාහාන ගත්තා. සල්ලි මදිවෙනකොට සල්ලි තියෙන කට්ටියගෙන් පොලියට ගත්තා. ඒ සල්ලිගෙවන්න ආයෙ රස්සා කළා. පස්සෙ කාලෙක මිනිස්සුන්ට තේරුණා රස්සාවෙන් එන පඩියට කවදාවත් ජීවත් වෙන්න බෑ කියලා. මිනිස්සු උත්ඝෝෂණ කරන්න ගත්තා ජනාධිපති ඉස්සරහ. අනේ ඔය ඇති කතාව. ඉතින් ඒ මිනිස්සු හුගාක් කල් සතුටින් ජීවත් වුණා.

ප.ලි – මෙච්චර කියලත් එපා වුනේ නැත්නම්, වෙන වැඩක් නැත්නම් උක්ත රජු හා වර්තමාන ජනාධිපති විමසන්න.

Be a කෝටිපති

මහ පට්ට පාන්දර මෙහෙමත් හිතුනා.

උදේට කන්නෙ ගෙදරින්නෙ. අම්මා හදපු හොද්දක් එක්ක මොනා හරි ගිලිනවා. නැත්නම් ගෙනල්ලා දෙන බනිස් ගෙඩියක් ගිලලා දානවා. එහෙමත් නැත්නම් කොහෙන් හරි කන්න වෙනවා. කොහොමත් උදේ වේලට රු60ක් වත් යනවා. රවුම් වෙන්ට රු50ක් දාමුකො.

දවල්ට කන්නෙ ඉතින් කඩෙන්නෙ. අයියාගෙ කඩෙන් කෑවොත් රු80යි. එහෙ මෙහෙ ගියොත් රු150ක් වෙන වෙලාවලුත් තියෙනවා. ඒකත් රු100යි කියලා කියමුකො.

රූට ආයෙ අනිවා ගෙදරින්. එකට ඉතින් රු100ක්ම දාමුකො.

එතකොට දවසකට රු250ක් විතර යනවා. සතියකට රු1000ක් කියන්නකො ගණන් හදන්න ලේසි වෙන්න. එතකොට මාසෙකට රු4000යි. මාස 12කට රු48000යි. ඒකත් රවුන් වෙන්න රු50000යි කියමුකො. කෝටියක් හොයන්න අවුරුදු 200ක් ඉන්න වෙනවා.

මොන මගුලක්ද? අවුරුදු 200ක් බඩගින්නෙ ඉදලත් කෝටිපතියෙක් වෙන්න බෑනෙ. වෙලාවට කන එක අත ඇරියෙ නැත්තෙ.

ප.ලි – නැගිට්ටයින් පස්සෙ තමා තේරුනේ ගාන වැරදියි කියලා.

හොදම යාළුවා

හීනෙන් මොකට පෙනුනද මන්දා…
දැක්ක විදිහට ඔහේට වඩා මම උසයි.
උඹ වෙනස් වෙලාම නෑ.
උඹව වෙනස් නොකර තියාගන්න මම කොච්චර බැලුවද?
උඹ නිසා මම කොච්චර වෙනස් වුනාද?
සල්ලි වලට මිනිස්සු වෙනස් වෙනවා කියලා
තාමත් පිලිගන්න මම කැමති නෑ.
අඹ ගස උඩ හොරෙන් තැඹිලි බීපු හැටි…
වෙලේ සරුංගල් ඇරපු හැටි…
ඇලේ මාලු අල්ලපු හැටි…
උඹට දැන් මතකද මන්දා.
දෙල්ගහවත්තෙ ඕවිටේ හැම ගහකටම…
පමුණුවෙ හැම පාරකටම…
ඇලේ හැම දියබරියෙක්ටම වගේම
පතිරගොඩ වෙලේ බෝක්කුවටත්
අපේ සුවඳ මතක ඇති.
ගමටම කියල යන්න යද්දි
ගේ ඉස්සරහ හිටපු
දුප්පත් කොල්ලාව අමතක වුනාද?
පොසොන් මාසෙ ලංකාවට ආපු කෙනාගෙ රහස කියන්න
පෝයට වරෙන් දන්සල් වදින්න.

ප.ලි – හැම රහසක්ම දැන ගත්තු උඹට මේ රහස විතරක් නොකියා ඉන්න එක මාර වදයක් මචං.

%d bloggers like this: