ඇබෑර්තුවක් ඇත

“O/L ගණන් මතකත් නෑ බන්.”
“මොකෝ මෙහෙ ආවෙ අත උස්සලයැ ?”
එහෙම කිව්වට දැන් ඉතින් කොච්චර කාලෙකට කලින්ද ?
ජ්‍යාමිතිය, ලගුගණක, ප්‍රස්ථාර…. අම්මෝ කැම්පස් එකේ නම්බුව ?
අපි උඹල ගාවට ආවෙ කොයි වෙලාවෙ සායම දිය වේවිද කියලා තියෙන පට්ට බයෙන්.
එකෙක් මැද තියාගෙන, අපි වටේට
රෑ පුරාවට දාගත්ත කුප්පි අපරාදෙ බන්.

“2යි 4යි කීයද?” “5යි.”
“ඈ පහයි?” “අඃ 4යි.”
“හම්. කමක් නෑ. මෙහෙම කරමු. මේ චෝක් කැට 5ක් දකුණට ගන්න……”

අනේ… මන් මේවා කොහොම ඉවසන්නද ?
උඹනම් හිනා වෙනවා.
අපිට ඇඩෙනවා බන්.

“අරුන් අහන ප්‍රශ්න වලට මට ඇපත් නෑ.
අපි හදන්න කලින් උන් උත්තරෙත් කියනවා”
ඒ කිව්වෙත් උඹලගෙ එවුන් ගැනනෙ බන්.
එකම ගමේ උඹලා වෙනස් වුණෙ කොහොමද ?
උඹලයි අපියි වෙනස් වුණේ රැපියල් කීයෙන්ද ?

“අපි තාම ඉගෙන ගන්නෙ ඔයගොල්ලොන්ගෙ අම්මලා තාත්තලාගෙ සල්ලි වලින්.
ඒ වෙනුවෙන් මේ රටට යමක් කරන්න තමා අපි ආවෙ…..”
අපේ එකෙක්ගෙ සුන්දර තෙල උඹට මතකද ?

උඹලට අමතක වුණත් අපෙ එවුන්ටනම් තාමත් මතකයි බන්.
සර්ල වෙන්නෙ නැතුව උඹලා ගාවටම ඇවිල්ලා,
මේසය උඩ ලැගගෙන උඹලාට ගනින්න ඉගැන්නුවා.
පුළුවන් එවුන් බැරි එවුන් කියලා උඹලව අපේ ලේසියට බෙදුවට .
උඹ හිටියෙ විශේෂ බලකායෙ මචං.

අඩුවක් නොකර අපිට සලකලා,
අපිව දාන්න බයිසිකල් වලින් ඇවිල්ලා,
බස් හෝල්ට් එකේ දන ගහලා වැන්දා මතකද ?
කඳුළු එන්න කලින් හිනාවෙලා උඹලගෙ ඔළුව අත ගැවම
උඹ අහපු ගොන් ප්‍රශ්නය මතකද?
“ඔහෙලා ආයේ එනපාරත් එනවැයි අයියෙ ?”

ප.ලි – උඹලාට උගන්නපු ඉගැන්විල්ල ඉවසීමෙන් අපෙ මල්ලිට ඉගැන්නුවනම් එකත් මේ පාර A/L කරනවා.

Advertisements

%d bloggers like this: