අවසන් ලියුම

______________,
______________,
___________ පාර,
______________.
20__/__/__.

_______මෙනවිය,
_____________,
__________ පාර,
_____________.

හිතවත් මෙනවිය,

ඔබට කලින් දැනුම් දී තිබූ පරිදි 20__/__/__ දින සිට ඔබ කෙරෙහි මා හට පිළිබද සිතක් පහළ වී තිබුණි. ඒදා සිට මාස __ක් ඔබගේ හැසිරීම හා ගතිගුණ පරීක්ෂා කල අතර ඒ සියල්ලෙන් ඔබ විශිෂ්ට ලෙස සමත් වූ බව නැවත දැනුන් දෙන්නේ හද පිරි සතුටිනි.

ඔබ හට මා විසින් ලිඛිත පරීක්ෂණයකට අයදුම්පතක් එවූ අතර එයට ඔබ එකඟ වූ තැන් පටන් ඔබ හා මා අතර පැවැත්වූ සියලුම ලිඛිත හා වාචික පරීක්ෂණ වලින් ඔබේ සුදුසුකම් මනාව දක්වන ලදී. ඒ අනුව 20__/__/__ දින මා ඔබට අවසන් වාචික පරීක්ෂණයකට කැදවුවද එය කාරුණිකව ප්‍රතික්ෂේප කල බැවින් එය දින නියමයක් නැතුව කල් දැමුවෙමි. එයින් දින __කට පසුව එය නැවත පැවැත්වීමට යෝජනා කළත් එවැනි පරීක්ෂණ සදහා අකමැති බව ඔබ මට ලිඛිතව දැනුම් දුන් බැවින් එම පුරප්පාඩුව සදහා කෙරෙන බදාවා ගැනීම් නතර කරන ලදී. නමුත් 20__/__/__ දින හදිසියේ කැදවූ පරීක්ෂණයට ඔබ සහභාගී වු අතර එයින් ඔබ ප්‍රකාශ කර සිටියේ මෙම පුරප්පාඩුවට තමා අර්ථ විරහිත බවත් ඒ සදහා තමාට කල හැක්කක් නොමැති බවත්ය. ඒ කෙසේ වෙතත් නැවත දෙතුන් වරක් ඔබ මෙයට අකමැත්ත ප්‍රකාශ කිරීමත් ඔබ හා තිබූ සියලූම සංනිවේදන කටයුතු ඔබ විසින් වළක්වා තබූ බවත් සදහන් කරන්නේ හද බැදි දුකෙනි.

මෙසේ දිගින් දිගටම ඔබ හා කටයුතු කිරීමට අප ආයතනය අකමැති බැවින් මේ සදහා යොදා ගත් සියලූම මානව හා භෞතික සම්පත් නැවත කැදවනු ලැබේ. මේ ලිපිය ලැබී දින __ක් ඇතුළත ඔබ විසින් යහපත් ප්‍රතිචාරක් දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නොවුවහොත් මෙය සිදුකීරීමට නියමිත අතර එයට බාධා පැමිණවීම හෝ බාධා පැමිණවීමට අනුබල දීම හෝ සිදුකළහොත් අප ආයතනයේ ව්‍යවස්ථාවට අනුකූලව නීතිප්‍රකාරව නඩු පවරා අච්චු කරනු ලැබේ.

බෙහෙම ස්තුතියි!

මෙයට,
තාමත් සේවයේ නියතු,

__________________
මානව සම්පත් කළමනාකරු,
මගේ හිත.

ප.ලි – මෙය 20__/__/__ දින වෙනත් අයවලුන් කිහිප දෙනෙකු විසින් යෝජනා කරනු ලැබූවක් වන අතර මා විසින් 2012/10/29 දින ලියා ප්‍රසිද්ධ කරන ලදී.

කවලම් අච්චාරු

වෙන වෙනම ලියන්න තිබ්බ ඒවා එකතු කරලා එකක් ලියන්න හිතුනා.

——————————————————

පහත සදහන් පුද්ගලයන් ශ්‍රි ලංකාවේ බල ප්‍රදේශයට ඇතුල් වුනහොත් වහාම අත් අඩංගුවට ගෙන දස වස දිලා කනට ගහලා පයින් ගහන්න ඕනෙ.

1. GTalk එකේ ඉන්විසිබල් කෑල්ල හදපු එකා
2. Internet Explora හොයා ගත්ත එකා
3. ඩෙනිම් කලිසමට බොත්තම් දාපු එකා

——————————————————

ගත කල කාලය තුල මම දුටු චාටර්ම ගස් ටික පහතින් දැක්වේ. ඔබ අකමැතිම ගස යටින් ඉරක් අදින්න.

අ) සයන්ස් බවන ගාව කෝන් ගස (ගෙඩි තිබ්බට පොල්ලක්වත් ගහන්න බැරි වුන නිසා)
ආ) සයන්ස් එකේ නුග ගස (අම්මානෙකට ලස්සනට ගෙඩි ආවට කන්න බැරි නිසා)
ඇ) ඇණ උයනෙ ජෑම් ගස (කොච්චර ගෙඩි ආවත් මම කන්න යනකොට ගෙඩි නැති නිසා)
ඉ) භික්ෂු මධ්‍යස්ථානයේ සංඝා වාසය අසල පිණි ජම්බු ගස (ලස්සනට ගෙඩි ආවට එක ගෙඩියක්වත් කඩා ගන්න බැරි නිසා)
ඊ) ලීඩ්ස් එකේ තියෙන මාදං ගස (කන්න පුලුවන් විදිහට අත පාත ගෙඩි ආවෙ නැති නිසා)
උ) ජනාධිපතිය ඉස්සරහ තිබ්බ තැඹිලි ගස (ගෙඩි කඩා ගන්න පුලුවන් වුනාට ගෙඩි නැති නිසා)

——————————————————

චාල්ස් ඩාවින්ගේ සාපේක්ෂතා වාදය බොරු බව ඔප්පු කිරීමට මෙම වාක්‍යයෙන් පුලුවන.

-පට්ට ගඳ තැනක සිට(මරදානෙ වැසිකිලි වල) ගඳ නැති තැනකට ආ කෙනෙකුට එතැනින් සුවදක් නොදැනේ.-

——————————————————

අසම්පූර්ණ කවිය සම්පූර්ණ කර ලිව්වෙමි

සුවඳැල් කෙතට ඇතිය උඹෙ ඇල්මක්
ඒත් ගොයමෙන් නැහැ නේද බැල්මක්
වැඩක් නෑ තව එවන්නෑමයි සුලං රැල්ලක්
ආඩම්බරයි ලෝවාමහපායෙ කණු

——————————————————

ප.ලි – මේවා ඉතින් මෙහෙම ලියනවා මිසක්වා වෙන කොහොම ලියන්නද

දින පොතක කවි

හැම දාම අරන් යන දින පොතේ එහෙන් මෙහෙන් හොයා ගත්ත කවි ලියලා තිබ්බා. මේවා ඉතින් ජන කවිම නෙමේ.

මේක යාළුවෙක් කිව්වෙ. ඒකා නෙමේ කියලා තියෙන්නෙ. මතක විදිහට කොත්මලේ ගණිතයා හරි බරණ ගණිතයා හරි තමන්ගෙ ගෑනු ළමයට තමා කියලා තියෙන්නෙ.

තුන්පස සිසිලසෙහි දිසිවුවන පූරණ
තුනුවිසි සිව් කළා රතිමායම් නිපුණ
තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන
තුන් සතරෙන් එකක් හැර මාවත සිටින

මිනිහා ගණන්කාරයා නිසා ගණිතයෙන්ම තමා දීලා තියෙන්නෙ. තුන්පස (3 x 5 = 15) සිසිලසෙහි දිසිවුවන පූරණ කියන්නෙ පසළොස්වක දවසෙ පේන පූර්ණ චන්ද්‍රයට. තුන්විසි සිව් (3 x 20 + 4 = 64) කළා රතිමායම් නිපුණ කියන්නෙ ඉතින් හොදට 64 මායම් දන්නවා කියලනෙ. තුන් ඇස් දිනූ යස රුසිරැති අඟන කියන්නෙ තුන් කල් (ඒ කියන්නෙ අතීතය, අනාගතය හා වර්තමානය) වලීදිම ලස්සන ගැනු ළමයෙක් කියලා. තුන් සතරෙන් එකක් හැර (3 x 4 – 1 = 11 ) මාවත සිටින කියන්නෙ 11 වන රාශිය වන කුම්භ එහෙම නැත්නම් කළයක් අරන් පාරෙ ඉන්නවා කියන එකනෙ. අනිවා ගෑනු ළමයා මල සමයන් කියලා මාරු වේන්න ඇති.

වෙට්ට පිත්තල කට්ට තක්කඩි
තට්ට කට්ටඩි උන්නැහේ
පොට්ට මාමට බොන්න බැරුවට
නැට්ට නැති දෙහි හෙව්වනේ

මේක රබන් කවියක්. කියවන්න ටිකක් අමාරුයි වගේ නේ?

ගුරුන්ටත් අකුරු වරදී
ඉන් දොස්කීම වැරදී
තමන් හට නොවරදී
කියන අය හට නිතර වරදී

මේ කවිය වැඩියෙන්ම කියෙව්වෙ මම උසස්පෙළ ගණිතය පන්ති ගිය ගුරුතුමා තමා.

ඉවසන දනා රැපු යුදයට ජය කොඩිය
ඒ බව කී එකාගෙ කට කෑවත් මදිය
ඉක්මන් වුණ එකා ළග හිටියේ හත අටය
ඉවසපු නිසා මම තාමත් තනිකඩය

මේක නම් ඉතින් හොදට අහලා තියනවනේ. ඊළග කවිය ටිකක් විශේෂයි. මේක සිරස fm එකේ “අහන් ඉන්න” කියන වැඩ සටහනේ ගියෙ. මෙතනින් එහාට ඔක්කොම කවි ඒකෙන් තමා ඉස්සුවෙ.

ඉස්සර ගැමියො හුගක් හොද කවියො. එහෙම කවියෙක් හිටියා. මිනිහගෙ රස්සාව වෙළදාම. මිනිහා උඩිස්පත්තුවෙ වෙළදාමේ ගිහිල්ලා එනකොට මිනිහගෙ ගෑනි හාරිස්පත්තුවා කියලා වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහිල්ලා. තමාගෙ අම්මාම තමා ඉතින් උදව් කරලා තියෙන්නෙ. මිනිහට මාර කේන්තියි. මිනිහා හොද කවියා. ඒ නිසා මිනිහා තමන්ගෙ කේන්තිය පිට කළේ කවියෙන්.

උඩිස්පත්තුවේ මම වෙළදාමෙ ගියා
ගෙදර එනකොට මගෙ ගෑනි නෑ
අම්මාත් ඒකට උදව් කළා හාරිස්පත්තුවා අහුවුනොතින් මම මරං කනවා

මිනිහට යකා වැහිලා හිටිය නිසා පද ගැළපීම හරියට තිබ්බෙ නෑ. ඒ වුණාට මිනිහා කවියෙන් කිව්වා තමාගෙ කේන්තිය.

මේක අකුරු දෙකෙන් හදලා තියෙන කිවියක්. අකුරු දෙක පේනවනෙ.

වල්ලව වෙලේ වේ වැල්ලේ වවුල්ලූ
වේලවල වේල් වල විල්වල ලූල්ලූ
වැල්ලව වෙලේ වී වැව්වේ වාල්ලූ
වැල්වල වලව්වල ලලොලු ලෑලිලු

ඊළග කවියත් මලට කියපු කවියක්. මිනිහෙක් බත් කන්න ගියාම මාළු වෙනුවට ජාඩි තියල තියෙන්නෙ. මිනිහට යකා නැගල ඒක විසික් කරලා මෙහෙම අමුතු කවියක් කිව්වලු.

බයනු අල්තයනු කෑමට ගිය කලට
මායනු ළුයනු නැතිබව පෙනුණි කෑමට
ජායනු ඩියනු තම්බා තිබුණි කෑමට
වීයනු සියනු කර ආවෙමි මම පිලට

අන්තිම එක සරසවි කුරුටු ගියක් කියලා තමා කිව්වෙ. මොනා වුණත් තමා කැමති ගෑනු ළමයා ගැන කොල්ලෙක් මෙහෙම මේසෙක ලියලා තිබ්බලු.

මගේ අතින් වට ගත හැකි සිගිති ඉඟක් ඇත්තෙත් නැහැ
පිට මැද්දේ කඩා හැලෙන කෙස් කළඹක් ඇත්තෙත් නැහැ
මගේ හිතේ දුක නිවන්න මිහිරි හඩක් ඇත්තෙත් නැහැ
ඒ වුණාට මගේ හිතේ ඇයට තැනක් නැත්තෙත් නැහැ

තව කවි තියනවා. ඒවා ඉතින් පස්සෙ ලියන්නම්. ටිකක් සුන්ගාරාත්මක ඒවා නිසා ලියන්න මොකක්ද වගෙ. එහෙම කිව්වට වල් කවි නෙමේ. සිංහල පොතේ තිබ්බ කවි වලට වඩා වෙනස් මේ වගේ කවි තියනවනම් කියන්න. මම මේ වගේ ඒවට හරි ආසයි.

ප.ලි- මේ ලියපු කවි වල අයිතිකාරයො ඉන්නවනම් අනේ සමාවේන්න. මම මේවා විකුණන් කන්නෙ නෑනෙ.