අවුරුද්ද ගැන නොදන්න දේවල්

අරිසෙන් අහුබුදු සූරින්ට අනුව……..

අවුරුදු නම් විශේෂ දවසයි. සමකයට ඉර මුදුන් වන්නෙ මාර්තු 21 වන දිනයි. සමකයට අංසක 23 1/2ක් උතුරින් වූ කටක නැවැත්මට හෙවත් කර්කට නිවර්තනයට ඉර මුදුන් වන්නෙ ජුනි 21වැනිදාය. මේ ගමනට දින 92ක් වැයවේ. ලංකාව පිහිටා ඇත්තෙ උතුරු අංසක 5ත් 10ත් අතරේය. ඉපැරණි රජ දහනක් වූ කොග්ගලැ, වළස්ගල ඇත්තෙ හරියටම අංසක 6ක් සලකුණු වන තන්හියැ. (වා+අළ+අස්+ගල වළස්ගල වේ. වා නම් අවුරුද්දයි. වස්>වහ>වා වෙයි. අළ නම් ඉදිරිපත් කල යනුයි. අස් නම් අංසකයයි. ) එවිට අංසක 6ක් යෑමට ගතවන කාලය දින 23.48ක් ගනී. මාර්තු 21 සිට දින 23.48 ක් ගිය කල අප්රේල් 13 වැනි දින සවසයි. අවුරුදු උදාව ලෙස සිංහලයන් සලකන්නෙ මේ වෙසෙසි දවසයි.

හෙළ රැස එළු රැස වෙයි. සකු බසින් මේෂ රාශිය වන්නෙ එයයි. නිමි රැස මීන රාශිය වේ. අවුරුද්ද නිම වී හෙල රැසට එන දිනය අවුරුදු වේ. භාග්‍යයෙන් අග තැන් ගන්න මාසය බක් මස නම්වේ.

හැදුණු ලොව මුල්ම රජු මනු රජ අබිසෙස් ලබන්නෙ හෙළ අවුරුදු දිනකය. ඒ කි.පු 28200 වැන්නේය. අපේ පැරණි පොත පතේ එන නකත් කෙළි නමින් හැදින්වෙන්නෙ අවුරුදු උලෙළම විය හැකිය. සිංහළ අවුරුද්ද සිංහළ-හින්දු අවුරුද්දක් බවට පත් කැරුණේ 1885 මාර්තු 17 වන දින නිකුත් කැරුණු රජයේ ගැසට් පතිනි. එසේ කැරුණේ පොන්නම්බලම් රාමනාදන් වැනි දෙමල නායකයන් සැනසිම පිණිස උපායක් ලෙසිනි. එය සිංහළ-දෙමල අවුරුද්ද ලෙස නිල කැරුණ් 1984 දී ජේ.ආර් ජයවර්ධන රජය විසිනි.

ප.ලි – අරිසෙන් අහුබුදු ශුරීන්ගේ ‘හෙළ අවුරුදු වග’ නම් කෘතියෙ පරිදි මා විසින් කපා කොටා මෙසේ සකසා ලියන ලදී.