දූවිලි

මට හරි යන කර පටියක් ගන්න බැරි වුන නිසාම සුපිරි වෙළද සැලෙන් එලියට බැහැලා වට පිටේ කඩ වල කර පටි බල බලා ආවා. පාර අයිනෙ පඩිපෙලක් යට පුංචි කඩයක මට ඕන දේ තියනවා මන් යන්තන් දැක්ක නිසා ගොඩ වැදුනා. ඕන දේවල් අරගෙන එලියට බහිනකොට ඇගේ වැදුනෙ පුංචි කෙලි පැටියෙක්. මගෙ හිත අතීතයට ගියා. මගේ අතීතය ඇගේ වර්තමානය වෙලා. සෙල්ලම් බත් උයන්න බෝනික්කො නලවන්න ගෙදරට වෙලා ඉන්නෙ නැතිව ඇය පාරෙ වාහන දිහා බලන් ඉන්නවා. වාහන වල යන පොඩි උන් දිහ බලන් ඉන්නවා. ඇගේ අනාගතය ගොඩ දාන්න අම්මයි තාත්තයි පාරෙ මිනිස්සුන්ට බාල්දු වෙනවා. දුවේ! උඹ කවදා හරි ලොකු වේවි. උඹේ වයසෙ වුන් පාසල ඇරිලා ගෙදර යනකොට උඹට කඩයට එන්න වේවි. අම්මා තාත්තා නැති වෙලාවට වෙළදම් කරන්න වේවි. අනිත් වුන් සෙල්ලම් කරනකොට උඹට වාහන ගනින සෙල්ලම විතරක් කර කර ඉන්න වේවි. වේලක් දෙකක් නොකා ඉන්න වේවි. දස බිම්බර මාර සෙනග උඹව කන්න හදාවි. පාරෙ දූවිල්ලෙක් උඹ වැහිලාම යාවි. ඒ දූවිල්ල පිහගෙන ඉගෙනගෙන ලෝකය දිණුවොත්. උඹේ ළමයින්ට ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා සෙල්ලම් කරන්න පුලුවන් වේවි. අද උඹ බලන් ඉන්න වාහනේක යන්න පුලුවන් වේවි. ඒ වාහනෙන් සුපිරි වෙළද සැල් වලට යන්න පුලුවන් වේවි. ඒකට ගියාම තමන්ගෙ කඩේ ආයෙත් මතක් වුනොත් දුවගෙන වරෙන් ඒ ලෑලි කඩයකට.

ප.ලි – ආදරය කරපන් උඹ හුස්ම ගත් දූවිල්ලට.

Leave a comment